රහස් මෙහෙයුමකට ආ කොටියෙක්

(04.01.2019 – mawbima.lk)

බෝම්බ හතරක් පිස්තෝලයක් හා තවත් යුද උපකරණ මල්ලක් රැගෙන පැමිණි සැකකරුවා යාපනය මහනුවර ඒ-9 මාර්ගයට පැමිණීමට උත්සාහ කොට ඇත්තේ විශාල අපරාධයක් සිදුකිරීමට බවට වවුනියාවේ ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

වවුනියාව, පුලියන්කුලම, පූදුර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු පුලියන්කුලම පොලිසිය දැක දමාගිය බෑගයක තිබී අත්බෝම්බ හතරක්, නවීන පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ තොගයක් හමුවූයේ පෙරේදා (2 දා) උදෑසනය.

වවුනියාව ආරක්ෂක අංශ පැවැසුවේ සැකකරු දමාගිය බෑගය තුළ තිබී සොයාගත් දුරකථන දෙක තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ තිබී ඇති බව සොයාගෙන ඇති අතර, සූර්ය කෝෂ මඟින් දුරකථන චාර්ජ් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද සොයාගෙන ඇති බවයි. සැකකරු සතුව තිබූ පිස්තෝලය පොලිසිය සොයාගන්නා අවස්ථාවේ වෙඩි තැබීමට සූදානම් කොට තිබී ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත. ආරක්ෂක අංශ පැවැසුවේ පුලියන්කුලම, පූදුර් නාගතම්පිරාන් කෝවිල මාර්ගයේ නාඳුනන පුද්ගලයකු බෑගයක් රැගෙන ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යෑමේදී සැකකරු බෑගය දමා කැලෑවට පලාගොස් ඇති බවයි.

සොයාගත් අත්බෝම්බ එල්.ටී.ටී.ඊ. සංවිධානය නිෂ්පාදනය කළ වර්ගයේ අත්බෝම්බ වන බවද පොලිසිය මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය කොටගෙන ඇත. සොයාගත් පිස්තෝලය හා පතරොම් ඉතා නවීන තත්ත්වයේ පවතින බවද ආරක්ෂක අංශ පවසයි.

සැකකරුගේ ගමන්මල්ල තුළ, මාලිමාවක්, සූර්ය කෝෂ දුරකථන චාර්ජරයක්, මදුරු නාශක ආලේපනයක්, අධිප්‍රෝටීන පෙති බවට සැකකරන පෙති විශේෂයක්, වේදනානාශක බෙහෙත් පෙති, දත් බුරුසුවක්, දත් බෙහෙත් හා සරම් කිහිපයක් තිබී ඇති බවද ආරක්ෂක අංශ පැවැසීය.

සැකකරු සොයා පුලියන්කුලම පොලිස් නිලධාරීන් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් ඇතුළු නිලධාරීන් 500 කට ආසන්න පිරිසක් පූදුර් කැලෑව පීරා පරීක්ෂා කරනු ලැබීය.

පූදුර් ප්‍රදේශය ආශ්‍රිතව කැලෑව තුළ පැරැණි එල්.ටී.ටී.ඊ. කඳවුරු පැවැති බව ආරක්ෂක අංශ පැවැසීය.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ
මඩුකන්ද – දීපාල් බණ්ඩාර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *