ගමන් මල්ල විසිකර පලාගිය සැකකරු එල්.ටී.ටී.ඊ. ප‍්‍රබල සාමාජිකයෙක්‌! පැමිණ ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන්ට පහරදීමකට

(13.01.2019 – divaina.com)

පසුගිය පළමුවැනිදා පුලියන්කුලම පොලිසියට හදිසි තොරතුරක් ලැබිණි. ඒ වවුනියාව, පුලියන්කුලම, පූතූර් නාගතම්පිරාන් කෝවිල මාර්ගයේ ගමන් මල්ලක් රැගත් නාඳුනන පුද්ගලයෙක් ගමන් කරමින් සිටින බවටය. තොරතුර ලද සැණින් ක‍්‍රියාත්මක වූ පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ ප‍්‍රදේශයට පිටත්ව ගියේය. පොලිස් ජීප් රථය දුටු සැණින් කලබලයට පත් වූ නාඳුනන පුද්ගලයා අතැති ගමන් මල්ල ද මාර්ගයෙන් ඉවතට විසි කර පලා ගියේය. පුලියන්කුලම් පොලිස් නිලධාරීන් ඔහුව ලුහුබැඳ ගිය ද ප‍්‍රදේශයේ අහුමුලූ හොඳින් දැන සිටි නාඳුනන පුද්ගලයා කැලෑ රොද අතර සැඟ වී ගියේය. පොලිස් නිලධාරීන් පිරිසක් අතරින් එක් සැකකරුවකු පලා යෑම ගැන අපට ඇත්තේ සැකයකි. ඇස්වලට වැලි ගසා සැකකරු පලා ගියේ නම් ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අපට ඇත්තේ විලිලැජ්ජාවකි.

පසුව පුලියන්කුලම පොලිස් නිලධාරීන් විසින් නාඳුනන පුද්ගලයා විසි කර දමා ගිය ගමන් මල්ල පරීක්‍ෂා කරන විට අත්බෝම්බ හතරක්, නවීන පන්නයේ මයික්‍රෝ පිස්තෝලයක් සහ පිස්තෝල උණ්ඩ තොගයක් හමු වී ඇත. ගිනි රත් වූ පොලිස් නිලධාරීන් තරමක් විශාල ගමන් මල්ල තවදුරටත් පරීක්‍ෂා කර ඇත. එම ගමන් මල්ල තුළ තිබූ නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථන දෙකක්, ජංගම දුරකථන උපාංග කොටස්, පිස්තෝලවලට යොදන ලිහිසි තෙල් සහ සූර්ය කෝෂ මගින් දුරකථන ආරෝපණය කිරීමට පාවිච්චි කරන උපකරණ කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එමෙන්ම මාලිමාවක්, මදුරු නාශක ආලේපනයක්, අධි ප්‍රෝටීන් සහිත පෙති විශේෂයක්, වේදනා නාශක බෙහෙත් පෙති, දත් බුරුසුවක්, දත් බෙහෙත් සහ සරම් කිහිපයක් ද එම ගමන් මල්ලේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ගමන් මල්ල පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එහි තිබී සොයාගත් ජංගම දුරකථන ක‍්‍රියාත්මක කර පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන්ට, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක‍්‍රියාකාරකම් සහිත වීඩියෝ දර්ශන කිහියක් ද දැකගැනීමට ලැබී ඇත. එමෙන්ම එම ගමන් මල්ලේ තිබී සොයාගත් පිස්තෝලය වෙඩි තැබීමට සූදානම් කර තිබූ බව ද පොලිස් පරීක්‍ෂණ හමුවේ අනාවරණය වී ඇත. එම ගමන් මල්ලේ තිබී සොයාගත් අත්බෝම්බ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නිෂ්පාදනය කළ වර්ගයේ අත්බෝම්බ බවද පොලිස් පරීක්‍ෂණ හමුවේ අනාවරණය වී ඇත. එමෙන්ම එම ගමන් මල්ලේ සඟවා තිබූ පිස්තෝලය සහ පතොරම් මෑතකාලීන නිෂ්පාදන බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගමන් මල්ල විසි කර පලා ගිය ප‍්‍රධාන සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ප‍්‍රබල සාමාජිකයකු වන ආනන්ද රාසා බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. මීට වසර අටකට ඉහතදී ආනන්ද රාසා එල්.ටී.ටී.ඊ. සැකකරුවකු ලෙස යාපනය බන්ධනාගාරයේ රඳවා සිටියදී පලා ගිය අයෙක් බව ද අනාවරණය කරගෙන ඇත. මේ සැකකරු ගිනි අවි සහ අත්බෝම්බ රැගෙන පැමිණ ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන්ට පහරදීමකට බව ද පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත. පසුව ක‍්‍රියාත්මක වූ පුලියන්කුලම පොලිසිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් ඇතුළුව පන්සියයකට අධික පිරිසකගෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් සැකකරු සොයා පූතූර් කැලෑව පීරමින් සෝදිසි මෙහෙයුම් දියත් කළහ. සැකකරුගේ ගමන් මල්ලේ තිබී සොයාගත් ජංගම දුරකථන වැඩිදුරටත් පරීක්‍ෂා කළහ. අනතුරුව එම ජංගම දුරකථනවලින් හෙළිකර ගත් තොරතුරුවලට අනුව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පසුව පුලියන්කුලම පොලිස් නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාගෙන් ප‍්‍රශ්න කර තොරතුරු රාශියක් අනාවරණය කරගෙන තිබිණි.

ගමන් මල්ල විසි කර පලා ගිය ප‍්‍රධාන සැකකරුට නවාතැන් පහසුකම් ලබාදී ඇත්තේ අත්අඩංගුවට පත් කාන්තාවය. ප‍්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් සහ දුරකථන පහසුකම් ලබාදී ඇත්තේ අනෙකුත් සැකකරුවන් දෙදෙනාය. ඔවුන්ගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව පුලියන්කුලම පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධව පසුගිය 06 වැනිදා සෝදිසි මෙහෙයුමක් දියත් කර ප‍්‍රධාන සැකකරු නතර වී සිටි කාන්තාවගේ නිවස සහ ඒ අවට ප‍්‍රදේශ පරීක්‍ෂා කරමින් දිරාපත් වෙමින් තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ සක‍්‍රීය තත්ත්වයෙන් තිබූ මිලි මීටර් හැට ප‍්‍රමාණයේ මෝටාර් උණ්ඩ දෙකක් සොයාගෙන ඇත. අනතුරුව ඔවුන් තිදෙනා වවුනියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය හැත්තෑ දෙකක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේ නියෝගය මත, වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව වාර්තා වේ. (මේ සටහන තබන මොහොත වන විට) එමෙන්ම ගමන් මල්ල විසි කර පලා ගිය ප‍්‍රධාන සැකකරු සහ ඔහුට නවාතැන් පහසුකම් ලබාදී තිබූ කාන්තාව වළපල්ලට ගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයට ජීවය ලබාදීමට උත්සාහ කර ඇති බවත් අනාවරණය වී ඇත. කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලින් ඔවුන්ගේ ගිණුම්වලට මුදල් ගෙන්වාගෙන ඇති බවත් පොලිස් පරීක්‍ෂණ හමුවේ අනාවරණය වී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ අඛණ්ඩව සිදුකෙරිණි. අත්අඩංගුවට පත් එම සැකකරුවන් තිදෙනාට අමතරව පලා ගිය ප‍්‍රධාන සැකකරුට සහාය දෙමින් සිටි තවත් පුද්ගලයකු වවුනියාව පොලිස් කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය 5 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ගමන් මල්ල මඟ දමා පලා ගිය ප‍්‍රධාන සැකකරුට සම්පත් දායකත්වය ලබාදුන් තවත් සැකකරුවන් දෙදෙනකු පසුගිය 08 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ පුවරසන්කුලම්හි පදිංචි සූරියබාලන් සහ හිටපු කොටි බුද්ධි අංශ සාමාජිකයකු වන තලෙයිසිංහම් යන පුද්ගලයන් දෙදෙනාය. කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ වවුනියාව ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් තලෙයිසිංහම් අත්අඩංගුවට ගන්නා අතරේ පුලියන්කුලම් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සූරියබාලන් අත්අඩංගුවට ගෙන ඇත. අනාවරණය කරගත් තොරතුරුවලට අනුව සූරියබාලන් නමැති තරුණයාගේ බැංකු ගිණුමකට යුරෝපීය රටකින් වරින් වර මුදල් ලැබී ඇත. ඔහු විසින් එම මුදල් ගමන් මල්ල විසි කර පලා ගිය හිටපු එල්.ටී.ටි.ඊ. සාමාජිකයා වන ආනන්ද රාසාට ලබා දී ඇති බවත් පොලිසිය විසින් සොයාගෙන ඇත. ගමන් මල්ල විසි කර පලාගිය ප‍්‍රධාන සැකකරු සොයා තවමත් පොලිස් පරීක්‍ෂණ සිදු කරමින් තිබේ.

සිහිබුද්ධියෙන් සිතන ඕනෑම කෙනෙකුට පෙළගැසෙන කතාව පැහැදිළිය. ගමන් මල්ල විසි කර පළා ගිය ආනන්ද රාසා සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන් කිහිපදෙනා ද වළපල්ලට ගිය එල්.ටී.ටී.ඊ.යට පණ දීමට කැපවී සිටිති. එහෙත් එම කාර්යය නිෂ්ඵල ප‍්‍රයත්නයක් බව නොතේරීම ඔවුන්ගේ කරුමයයි. මැරුණු සතෙකුට නැවත පණදීමට ලොව කිසිම ජගතෙක් නැත. එල්.ටී.ටී.ඊ. වැළලී දැන් අවුරුදු දහයකට ආසන්නය. එහෙත් පූතූර් වනාන්තරය ඇතුළේ මෙන්ම උතුර, නැගෙනහිර කැලෑ තුළ සැරිසරන, කඳවුරු බඳින කොටි අවතාර ගැන රටේ ආරක්‍ෂක අංශ මීට වඩා සැලකිලිමත් විය යුතුය.

අවි ආයුධ සහිත ගමන් මල්ලක මාලිමාවක්, ජංගම දුරකථන සහ ජංගම දුරකථන උපාංග කොටස්, සූර්යකෝෂ මාර්ගයන් දුරකථන ආරෝපණය කරන උපාංග, අධි ප්‍රෝටීන පෙති සහ සරම් ඇතුළු තවත් ද්‍රව්‍ය රැගෙන ආනන්ද රාසා කැලයට ගමන් කර ඇත්තේ ගිය පයින් නැවත එන්නට නොවේ. දින කිහිපයක් මහා කැලේ ගත කිරීමටය. එමෙන්ම ඔහු පමණක් මහා කැලේ නොසිටින බව අපගේ විශ්වාසයයි. ඔහු සමඟ තව පිරිසක් එකතුව කොටි මිනී වළ හැරීමට සැලසුම් කරන බව ද පැහැදිළිය. පිරිසකට සංවිධාන ගතවීමට පුලියන්කුලම ආරක්‍ෂිත කැලෑ ප‍්‍රදේශයක් බවද පැහැදිළිය. මඩු රක්‍ෂිතයට මායිම් වූ පුලියන්කුලම ප‍්‍රදේශයෙන් මුලතිව් ප‍්‍රදේශයට සහ විල්පත්තු රක්‍ෂිතයට ඉතා පහසුවෙන් ගමන් කළ හැකිය. එමෙන්ම සිලාවතුර අරිප්පු ප‍්‍රදේශවලින් මුහුද දෙසට ද ගමන් කළ හැකිය. සිලාවතුර මන්නාරම මුහුදු තීරයන් ඔස්සේ දැනටත් ඉන්දියාව සමඟ ඉතා පහසුවෙන් ගනුදෙනු සිදු වන බව වාර්තා වේ. පිටරටවලට පැන ගිය කොටි සහ මෙරටට ගෙන්වන මත්ද්‍රව්‍ය තොග බහුලව ගොඩබහින්නේ මේ ප‍්‍රදේශවලින් බවට තොරතුරු අනාවරණය වී ඇත. එහෙයින් පුලියන්කුලම ප‍්‍රදේශයේ රක්‍ෂිත මෙන්ම උතුරේ අනෙකුත් කැලෑ ප‍්‍රදේශවල සිදු වන රහස් ගනුදෙනු ගැන ආරක්‍ෂක අංශ දැඩි සේ අවධානයෙන් සිටිය යුතුය.

මිනී මරු පිරිබාහරන් ද කොටි සංවිධානය ගොඩනඟනු ලැබුවේ මල්ටි බැරල් අවි පාවිච්චි කර නොවේ. පිරිබාහරන් විසින් යාපනයේ හිටපු නගරාධිපති දොරේ අප්පාට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ස්වංක‍්‍රීය ගිනි අවිවලින් නොවේ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, සම සමාජ පක්‍ෂ දෙමළ දේශපාලන සාමාජිකයන් මරා දැමුවේ බර අවි පාවිච්චි කර නොවේ. මහ දවල් උතුරේ බැංකු කොල්ලකනු ලැබුවේ මයික්‍රෝ පිස්තෝල පෙන්නා බිය ගන්වා නොවේ. අසීරුවෙන් ඇහිද ගත් ආයුධ කෑලිවලිනි. සංවිධාන ගතවෙමින්, කොටි පැටව් කිරි පොවා හැඩි දැඩි කරනු ලැබුවේ ද ප‍්‍රභාකරන්ගේ මහ ගෙදර නොවේ. උතුරේ වනාන්තරවලය. එසේ කිරි පොවා හැඩි දැඩි වූ කොටි නඩය සහිත එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරට ලේ විලක් බවට පත් කරමින් ලොව දරුණුතම ත‍්‍රස්තවාදී කණ්ඩායම ලෙස ලෝක පූජිත විය. වේලුපිල්ලේ පිරිබාහරන් ලොව ම්ලේච්ඡතම කාලකණ්ණි ත‍්‍රස්තවාදී නායකයෙක් විය. එහෙයින් පූතූර් අතුරු මාර්ගයක දමා ගිය ගිනි අවි සහිත ගමන් මල්ල සහ එහි අයිතිකරු හිටපු කොටි සාමාජිකයකු වන ආනන්ද රාසා ඇතුළු කණ්ඩායමේ ක‍්‍රියාකාරකම් ගැන සැහැල්ලුවෙන් නොසිතිය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වැළලී ගියාට වෙඩි උණ්ඩයට බියේ පැන ගිය කොටි පිටරටවල සිටිති. කොටි සංවිධානයට සම්පත් දායකත්වය ලබාදුන් ජාත්‍යන්තර සංවිධාන, කොටි නඩය අදට ද සක‍්‍රීයයි. පූතූර් අතුරු මාර්ගයේ තිබී හමු වූ ආයුධ සහිත ගමන් මල්ලේ අයිතිකරු ආනන්ද රාසා ද පිටරටකට පැන ගොස් නැවත උතුරට පැමිණ සිටින්නෙකි. ඉන්දියාව හාරහා මන්නාරමට, යාපනයට ගොඩබහින්න වීසා අවශ්‍ය නැත. ධීවර බෝට්ටුවකට ගොඩ වී නිදහසේ පැමිණිය හැකිය. මානුෂීය මෙහෙයුමේ අවසාන කාලයේ පිටරටවලට පැන ගිය කොටි සාමාජිකයන් විශාල පිරිසක් මේ වන විට උතුරට පැමිණ සිටින බව වාර්තා වේ. පිටරට කොටි එජන්තවරුන් සමඟ ඔවුන් ගනුදෙනු කරන බව ද වාර්තා වේ. කොටි සංවිධානය සක‍්‍රීය කිරීමට පිටරට ඩොලර් උතුරට ගලාගෙන එන බව ද අනාවරණය වී ඇත. උතුරේ තැන, තැන පිරිබාහරන්ගේ මූසල උපත සමරන්නේ එල්.ටී.ටි.ඊ.ය වළෙන් නැඟිටින බවට කරන ඉඟි පළ කිරීමක් ලෙසය. පසුගිය දිනවල රාත‍්‍රි මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ බෙලි කපා ඝාතනය කර දැමීම ද එල්.ටී.ටී.ඊ. ය වළෙන් නැඟිටින බවට කරන ලද සංඥාවක් විය හැකිය. එහෙත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියන්නා සේ පුල්ලි සඟවා ගත් කොටින්ගේ ක‍්‍රියාකාරකම් ගැන අපේ හමුදාව අවධානයෙන් සිටින බව නිසැකය. නැවත උතුරු පොළොවේ ත‍්‍රස්තවාදී බිජු මුල් ඇදීමට පෙර වඳකර කරන බව ද නිසැකය.

උතුරේ තැන, තැනින් ආයුධ කෑලි මතුවීම සම්බන්ධයෙන් දකුණේ ජනතාව තැතිගැන්මක් ඇති කර ගත යුතු නැත. අප මේ සටහන තබන්නේ නැවත උතුරේ කෝලාහල ඇති වුණොත් මිය යන අසරණ දෙමළ තරුණයන් ගැන සිතාය. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට සහ උතුරේ රාජකාරියේ නිරතව සිටින හමුදාව අඩු කිරීමට උපදෙස් ලබාදෙන ඉහළ බලධාරීන්ට සහ නිලධාරීන්ට එහි විපාක රට නැවත යුද්ධයකට ඇද දැමීමට අනුබල දීමක් බව මතක් කරදීම සඳහාය.

• තරංග රත්නවීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Well this note should be directed to our chieftraitor the PM RW. His conspiraces with LTTE sympathising TNA and their joint plans to divide the country are the symptoms of terrorists presence among our own people. Therefore all other politicans loyal to the unitary Sri Lanka should join forces and kick out the green tigers out of our governance machinery and strengthen the presence of defence and security forces in the North and East, as well as general monitoring of terrorist accomplices elsewhere in the country.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *