ව්‍යවස්ථාව ගැන බොරු කියා මහා විහාරය රැවටීමට පුළුවන්ද ?

(13.01.2019 – divaina.com)

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තවමත් සකස් කර නොමැති බව ජනාධිපති තුමා ප‍්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව පැත්තෙන් ද ලැබෙන්නේ ද එම උත්තරයයි. චම්පික ඇමතිවරයා පවසන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමට මන්ත‍්‍රීවරු 225 දෙනාම එකඟ වූ අතර පක්ෂ කීපයකින් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා යෝජනා නවයක් අතුරු කමිටු වාර්තා හරහා ඉදිරිපත් කර ඇති බවයි. ඒවා පාර්ලිමේන්තුවේ විවාද කොට අවසාන කෙටුම්පත සාදන බවද ඔහු පවසා ඇත. 2015 දී යහපාලන ආණ්ඩුව පත් වූ දා සිටම ඔවුන් ගේ මූලික අභිප‍්‍රාය වී තිබුණේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට සම්මත කර ගැනීමයි.

රටේ වෙනත් ප‍්‍රශ්න කොතෙක් තිබුණද ආර්ථිකය කඩා වැටුණද ස්වභාවික විපත් පැන නැගුනද ඒවා ප‍්‍රමුඛ තැනට ගන්නට යහපාලකයන් උනන්දු වී නැත. ඔක්තෝබර් 26 බල පෙරළියට පදනම් වූ එක් කාරණයක් වන්නේ ව්‍යවස්ථාව හරහා රට බෙදෙන ක‍්‍රියාවලිය වුවත් නැවත බලයට පත් වූ දා සිටම ඔවුන් ගේ ප‍්‍රධාන ප‍්‍රකාශය වී ඇත්තේ පෙබරවාරි 04 වැනිදාට ප‍්‍රථම නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කරන බවයි. මෙහිදී ජනතාවට ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ පාර්ලිමේන්තු ගැට යොදා ගනිමින් කාටත් හැංගි හොරා අවසාන කෙටුම්පත සම්මත කර ගැනීමට තිබෙන ඉඩකඩ ගැනයි.

රටේ කොටසක් වෙන්කර ගෙන වෙනම පාලනයක් ගෙන යෑම පිණිස ප‍්‍රභාකරන් විසින් මෙහෙයවූ ජන ඝාතක යුද්ධය ප‍්‍රධාන වශයෙන් සිංහලයන්ට එරෙහි වූවක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වූ සිංහලයන් එළවා දමා බියට පත් කර ඔවුන් පදිංචි වූ ඉඩම් කොටි මහ විරු පවුල්වලට බෙදා දී තනි දෙමළ ප‍්‍රදේශයක් බවට පත් කර ගැනීමේ අදිටන රටේ ආරක්‍ෂකයන් වන ත‍්‍රිවිධ හමුදාව මුල් වී පරාජය කළ ආකාරය අපි දනිමු. එහෙත් එහි ජීවත් වූ සිංහල සුළුතරයට සාධාරණයක් ඉටු නොවීය. ඉඩම් සම්පූර්ණයෙන්ම ආපසු නොලැබිණි. ඇතැම් විට පදිංචියට යන්නට පාලකයන් ගෙන් අවසර නොලැබිණි. ඒ වෙනුවට උතුරේ අවතැන් වූ දෙමළ සහ මුස්ලිම් ජනතාවට සිය ඉඩම් ආපසු ලැබිණි. හමුදාව විසින් පරිහරණය කළ ඉඩම්ද නිදහස් කෙරිණි. ඒ අතරේ විදෙස් සමාගම් වලට ඉඩම් පවරාදෙන ඉඩම් කොල්ලයක්ද ඇරඹිණි. යහපාලන රජය බලයට පත් වූ පසු ඉඩම් ගැනීමට විදේශිකයන්ට තිබූ යම් යම් සීමාවන්ද ඉවත් කෙරුණි. මෙහි අරමුණ කුමක්ද භූමිය පිළිබඳ සාධකය කේන්ද්‍රකොට විදේශිකයන්ට එම ඉඩම් අත්පත් කර ගැනීමට ඉඩ හැරීමයි. සිංහල බහුතරය එහි විසීමෙන් ඇතිවන බාධාව දෙමළ දේශපාලනඥයන් ගේ උසි ගැන්වීමෙන් ඉවත් කරනු ලැබූ පසු උතුරු සහ නැගෙනහිර සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාව යොදා ගෙන ඔවුන්ගේ නව යටත් විජිත ව්‍යාපෘති ඉදිරියට ගෙන යා හැකිය. බෞද්ධ වෙහෙර විහාරවලට නව පණක් දී නැවත ගොඩ නංවන ලද්දේ හමුදාව විසිනි. පෙර කී නව යටත් විජිත ව්‍යාපෘති වලට ඒවා බාධාවක් වෙයි. එසේම දෙමළ ජනතාව ඉදිරියේ දී ක‍්‍රිස්තියානි කර ගැනීමටද බාධාවක් වෙයි. හින්දු ජනතාව සහ බෞද්ධයන් එකට එක් වුවහොත් සීමා පැනවෙන බව ඔවුහු දනිති.

රටේ ව්‍යවස්ථාව තුළ ඒකීය බව එක වගන්තියකින් තබා ගෙන අනෙක් පනත් මගින් සහ චක‍්‍ර ලේඛන මගින් බලහත්කාරයෙන් භූමිය බෙදා දැක්වීම නව යටත් විජිත උපායයි. ව්‍යවස්ථා ප‍්‍රතිපාදන එහෙ මෙහෙ කර ගැන්ම කාරක සභා අවස්ථාවලදී අමාරු කාරණයක් නොවන බව කීප වරක්ම යහපාලන රජය පෙන්වා දී ඇත. එවිට සිංහලයා රවටා ඒකීය බෝඞ් ලෑල්ල තබා මදය වෙනස් කර ගැනීමට පුළුවන. කොයිතරම් පක්‍ෂ යෝජනා සහ මහජන අදහස් පැමිණියද ජයම්පතී වික‍්‍රමරත්න උත්සාහ කරන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හංගා ඉදිරිපත් කිරීමටයි. ජිනීවා යෝජනා වලින් රජයේ අත් කරකවා ඇත්තේ උතුර සහ නැගෙනහිර බෙදා වෙන්කරලීමේ කටයුත්ත බාධාවකින් තොරව කර ගැනීමටයි. එසේ කර නැතැයි ජනපතිවරයා පුන පුනා පැවසුවද ඔහුත් වංචනිකයෙකු බව අප කීප වරක් කියා ඇත. මේ දිගේලි කරන්නේ නව යටත් විජිත උපාය මාර්ගයයි. රනිල් වික‍්‍රමසිංහ අනුර දිසානායක එහි දාසයන් වෙති. සුමන්තිරන් එහි ප‍්‍රතිපත්ති සම්පාදකයෙකි.

අගමැතිවරයා ගේ නව ආණ්ඩුව පත්වීමෙන් පසු මහා විහාරයට ගොස් කළ පළමු ප‍්‍රකාශය නම් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන වගන්තිය ඉවත් කරන්නේ නැති බවයි. එහෙත් උතුර සහ නැගෙනහිර ස්වයං පාලනයකට මග විවර වුවහොත් උතුරේ බුද්ධ ශාසනය පවතින්නේ නැත. දැනටමත් එහි බුදු පිළිම තැබීමට සීමා පනවා ඇත. මුලතිව් කුරුඳුමලේ පුරාවිද්‍යා රක්‍ෂිතය මැනුම් කිරීමට ගිය පුරාවිද්‍යාවට ගෙම්බර් දමා පලවා හැර ඇත. මුලතිව් මහේස්ත‍්‍රාත් තමන්ට අයිති නැති ප‍්‍රතිපාදන වලින් පුරා විද්‍යාව ප‍්‍රශ්න කරයි. ඒ අතරේ මුලතිව් අවට නෙදුන්කර්නි අවට මහවැලි ඉඩම්වල පදිංචි වන්නට සිටි සිංහලයන්ට මහවැලිය අයිති ජනපතිවරයා විසින් තහංචි පනවා ඇත. සිංහලයන්ට ඉඩම් ලබා නොදේ. ඒවායේ පන්සල් අලූත්වැඩියා කර ගන්නට ඉඩ නොදේ. ඩඞ්ලි- චෙල්වනායගම් ගිවිසුම යටතේ එවකට පැවති ආණ්ඩුව පිළිගත් තත්ත්වය නම් උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශවල උසාවි කටයුතු දෙමළ භාෂාවෙන් කළ යුතු ආකාරයයි. එය එලෙසම ඉටු විය. අදටත් උතුරේ හෝ නැගෙනහිර කිසිම උසාවියකින් සිංහල නඩු පිටපතක් ලබා ගැනීමට නොහැකිය. ඉඩම් රෙජිස්ට‍්‍රාර් විසින් නිකුත් කරන බොහෝ ලේඛන දෙමළෙන් පමණක් ලැබේ. එවිට මෙම පළාත්වල තිබෙන විහාරස්ථානයන්හි කටයුතු කිසිවක් සිංහල බසින් කරගෙන යෑමට ඉඩ සැලසෙන්නේ නැත. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ආදී රජයේ ආයතන විසින් කරගෙන යන කටයුතු සිංහල ඉංග‍්‍රීසි සහ දෙමළ බසින් පවත්වාගෙන පැමිණියද නව ව්‍යවස්ථා යෝජනා පරිදි පළාත් සභා සමගාමී ලැයිස්තුව ඉවත් කළහොත් මධ්‍යම රජයේ රැහැන ලිහා වැටේ. එවිට ඓතිහාසික සිද්ධස්ථාන සියල්ල හින්දු හෝ මුස්ලිම් කෝවිල් සහ පල්ලි බවට පත්කර ගැනීමට කිසිම බාධාවක් නැත. පසුගිය දිනවල මුලතිව් අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ නීතිවේදීන්ගේ තර්කය වූයේ මේ සිද්ධස්ථාන සියල්ල හින්දු කෝවිල් බවයි.

අධිකරණ තීන්දුවකින් පසු බලය අත්හරින ලද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට අනතුරුව යළි පත්වූ රනිල් වික‍්‍රමසිංහ රජය අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරිය ලෙස විජයකලා මහේෂ්වරන් පත් කරගත්හ. ඇය පසුගිය කාලයේ දී ජාතිවාදී ප‍්‍රකාශ කරමින් හුරතල් වූ හැටි අපට මතකය. අමිත් වීරසිංහට ක‍්‍රියාත්මක නීතිය ඇය වෙනුවෙන් බලපැවැත්වූයේ නැත. එසේම සිංහල බෞද්ධයන්ට ප‍්‍රසිද්ධියේ අභියෝග කරමින් සිටි අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් පිදුම් ලබා තිබේ. උතුරු පළාත දෙමළ පළාතක් ලෙසට පිළිගත්තා සේ එහි ආණ්ඩුකාර ලෙසට සුරේෂ් රාඝවන් මහතා පත් කර තිබේ. ඒ අතර උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් භික්‍ෂු විශ්වවිද්‍යාලයත් එයින් ඉවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. නමුත් පූනානි හි ශරියා විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇති බවද දැන ගන්නට ඇත. යහපාලන රජය බුද්ධ ශාසනයට ප‍්‍රමුඛස්ථානය හිමි කර දෙන්නේ එලෙසය. අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති බෞද්ධ විශ්වවිද්‍යාල තුළ සංහිඳියා වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කිරීමටත් ෂරියා ආයතන තුළ මූලධර්මවාදය ක‍්‍රියාත්මක කිරීමටත් දැන් හැකිය. එසේම විජයකලා මන්ත‍්‍රීවරිය ගේ බලපෑම් මත උතුරේ පාසල්වල ඉගැන්වෙන ඉතිහාසය ඊළාම් ඉතිහාසය වන්නටද ඉඩ ඇත. එවිට නාගදීපය නයිනතිවු ලෙසටද කදුරුගොඩ විහාරය කන්දරෝඩෙයි ලෙසටද දෙමළ ළමුන් ගේ මනස්වලට යෑමට ඉඩකඩක් විවර වේ.

අස්ගිරි මල්වතු උභය විහාරීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු එම විහාරයන්හි කාරක සංඝ සභාවන් හි ගෞරවනීය නායක හිමිවරුන්ට මේ යථාර්ථය තේරුම් ගැනීමට එතරම් අපහසු නැත. ඉතිහාසය පුරාවටම ජාතියේ ශාසනයේ මුර දෙවතාවුන් වහන්සේ වන එම උතුමන් සෘජුවම මේ ගැටලූ දේශපාලකයන් ගෙන් විමසන්නේ නම් තවදුරටත් රැවටීම්වලට ඉඩක් නැත. මේවාට ආණ්ඩු පක්‍ෂය විපක්‍ෂය කියා වෙනසක් නැත. ඒ සියල්ලන්ගේම මතය පැහැදිලිවම විමසිය යුතුය. රටේ ඒකීය බවත් විධායක ජනපති ධුරයත් බුද්ධ ශාසනයත් යනු වෙන් වෙන්ව පවතින දේ නොවේ. එකක් දුබල වුවහොත් අනෙක් සියල්ල කඩා වැටේ. පක්‍ෂ දේශපාලනය නොව දළදා වහන්සේ මුල් තැන්ලා සලකා රට එක්සේසත් කළ යුතු බව අප නිරතුරුවම ප‍්‍රකාශ කරන්නේ ඒ නිසයි.

– මතුගම සෙනෙවිරුවන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *