ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි – ගෝඨාභය රාජපක්‍ෂ

(13.01.2019 – 22:15 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණයට ඔබ ලෑස්තියි නම් මාත් ලෑස්තියි… නොනවතින අත්පොලසන් ජයඝෝෂා මැද වියත්මග ඇමතු ගෝඨාගේ දේශණය මෙන්න…

ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

වියත්මග සංවිධානයේ 2019 වසරේ පළමු හමුව අමතමින් එසේ කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය :

‘‘බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන මතයේ සිටිනවා. සමාජයේ බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හදුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි අර්ථකතනයක් කරගෙන තිබෙනවා. නමුත් අපේ රට අනිකුත් රටවල් වගේම ඉදිරියට ගෙන යෑමට නම් ශ‍්‍රී ලාංකිකයි කියන ප‍්‍රතිපත්තිය තහවුරු කර ගැනීම අවශ්‍යයි. මේ ජාතිකත්වය කියන ප‍්‍රතිපත්තිය සෑම කෙනෙක් අතරට ගෙන යාම අත්‍යවශ්‍යයි.

දැන් අලුත් ව්‍යවස්ථාව ගැන විවිධ අදහස් මතු වෙනවා. ව්‍යවස්ථාවක් අවශ්‍ය ද නැද්ද කියන සංකල්පය ජනතාව තුළට රැගෙන යා යුතුයි. ශ‍්‍රී ලාංකිකයි කියන ජාතිකත්වය ජනතාව තුළට රැගෙන යෑමට වෘත්තිකයන්ට විශාල වගකීමක් තිබෙනවා. දුප්පත්කම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ලෝකය තුළට බටහිර ගෙන යන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තිබෙන්නේ පුද්ගල අයිතිවාසිකමයි. සෑම රටකම වසර විස්සක් යන තුරුත් අපිව බලා ගන්නේ දෙමාපියන්. රට ගැන වසර විස්සක් යන විට අපේ ඇඟට දැනිලා ඉවරයි. ඉතිහාසයත් එහෙමයි අමතක කරන්න බැහැ.

ආසියාවේ දියුණු සෑම රටකම නායකයන් ජාතිකත්වය ජනතාව තුළ රැගෙන ගිහින් තිබෙනවා. ඒ නිසයි එම රටවල් දියුණු වෙලා තිබෙන්නේ. පිටරට ජීවත් වන පිරිස් රටේ ජනතාවට වඩා රට ගැන හැඟීමක් තිබෙනවා. වෘත්තිකයන් වශයෙන් අපේ අයිතිවාසිකම් හඳුනාගත යුතුයි. එසේ වුවහොත් අපි අපේ ඉලක්කයට යන්න පුළුවන්කම තිබෙනවා. මේ වසර වැදගත් වසරක්. ජනාධිපතිවරණයක් තිබෙන්නට අවශ්‍යයි. ඔබත් ලෑස්ති නම් මමත් ඒකට ලෑස්තියි.’’

චමින්ද කරුණාරත්න
GR Media

*****************************************

මීපිටියේ වෙලකට වායු බැලුනයක් කඩා පාත්වෙයි

(14.01.2019 – mawbima.lk)

කණ්ඩලම වායු බැලුන් අංගණයෙන් විදේශිකයන් 14 දෙනකු රැගෙන ගුවන් ගත වූ වායු බැලුනයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා ‍දොඩම්ගස්ලන්ද – මීපිටිය ප්‍රදේශයේ වෙල්යායකට ගොඩ බැස්සවීම නිසා ජීවිත හානියකින් තොරව විදේශිකයන් බේරා ගැනීමට හැකිව තිබේ.

ඇමෙරිකානු හා ස්විට්සර්ලන්ත ජාතිකයන් 9 දෙනකුත්, ශ්‍රී ලාංකිකයන් සිවු දෙනකුත් මෙම වායු බැලුන් සවාරියට එක් වී ඇත. සිදු වූ අනතුර හේතුවෙන් බැලුනයට පමණක් හානි සිදුව තිබේ. කණ්ඩලම සිට කුරුණෑගල දෙසට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මෙම බැලුනයේ ගෑස් අවසන් වීම නිසා එහි නියාමකයා බැලුනය මීපිටිය ප්‍රදේශයේ වෙල් යායකට ගොඩ බැස්සවීමට කටයුතු කර තිබේ. බැලුනය ගොඩබැස් වූ ස්ථානය තරමක අනාරක්ෂිත ස්ථානයක් වූ බැවින් අවට ගස්වල පැටලීමෙන් බැලුනයට පමණක් හානි සිදුව තිබේ.

අනතුරින් පසුව විදේශිකයන් පිරිස ආරක්ෂා සහිතව ගොඩිබිම් මාර්ගයෙන් යළිත් කණ්ඩලම ප්‍රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටල් වෙත පිටත් කර හැරීමට ගොකරැල්ල පොලිසිය විසින් කටයුතු යොදා තිබිණි.

කඩා වැටුණු වායු බැලුනයට අයත් සමාගමේ කාර්මිකයන් විසින් ඊයේ දහවල් අදාළ ස්ථානයට පැමිණ එහි කොටස් ගලවා කඩා වැටුණු බැලුනය ඉවත් කිරීමට කටයුතු කර ඇත. සිද්ධියෙන්, මීපිටිය මාරලන්ද වෙල්යායේ පූදින ගොයම් සහිත කුඹුරු විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබිණි.

මෙකී හානිය සම්බන්ධයෙන් කුඹුරු හිමියන් හා වායු බැලුනය හිමිකාර සමාගමේ නිලධාරීන් සමඟ ඇතිවූ සාකච්ඡාවකින් පසුව අදාළ සමාගම විසින් කුඹුරුවල සිදුවී ඇති හානිය වෙනුවෙන් රු. 7000 ක මුදලක් පමණක් ගෙවීමට කටයුතු කර ඇති අතර ගොවීන් එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් අදාළ නිලධාරීන්ට සිය විරෝධය දක්වා තිබේ. ඒ අනුව කුඹුරුවලට සිදුවූ හානිය ගොවිජන සේවා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් තක්සේරු කොට ඉතිරි වන්දි මුදල් ගෙවීමේ එකඟතාවකට පැමිණීමෙන් පසුව තත්ත්වය සමථයකට පත්ව තිබේ.

සිදුවූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් එකී සමාගම පවසන්නේ සිදුවී ඇත්තේ කාර්මික දෝෂයක් නොව බැලුනය ගොඩබැස්සවීමක් බවයි.

එහෙත් ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ වායු බැලුනය ඉතාමත් අනාරක්ෂිත අන්දමින් අවට ගස්කොළන්වල ගැටීමත් සමඟ කුඹුරට කඩා වැටුණු බවයි ෴

++++++++++++++++++++++++

https://www.facebook.com/nethfm/videos/2434556089918802/
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *