මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

(18.01.2019 – 09:31 +0530 – sinhala.adaderana.lk)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කෙරුණි.

කොළඹ 07, මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට අද පෙරවරු 9 ට පමණ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පොදු ජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස්, ගාමිණී ලොකුගේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර හා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියේය.

මීට පෙර විපක්ෂ නායක ධුරය දරන ලැබුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා විසින් වන අතර ඔහු මෙතෙක් විපක්ෂ නායක කාර්යාලය බාර දී නොතිබුණ බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය දා කථානායකවරයා විසින් විපක්ෂ නායක ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමත් සමඟ අද දිනයේ දී ඔහු සිය නිල කාර්යාලයේ දී මෙලෙස ධූරයේ වැඩ භාරගනු ලැබීය.

රාජකාරී කටයුතු ආරම්භ කිරීමේන් අනතුරුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, වසර 4 කට පසුව තමා මුළු මහත් දිවයිනටම විපක්ෂ නායකවරයා වශයෙන් පත්ව ඇති බවත් මින් ඉදිරියට උතුර, නැගෙනහිර පමණක් නොව ලංකාවේ සියලු දෙනාගේ ප්‍රශ්න විසඳීමට තමා කැප වෙන බවත්ය.

අද වන විට ප්‍රජාතන්ත්‍රවාදයට බොහෝ බාධා එල්ල වී ඇති අතර, ‘සේනා’ දළඹුවාගේ ව්‍යසනය මේ වන විට දැවැන්ත ගැටළුවක් වී ඇති බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.

*****************************************

සේනා දළඹුවා මර්දනයට කෘමීන් බෝකර මුදා හැරීමේ පර්යේෂණ සිදු කරනවා

(18.01.2019 – 20:00 +0530 – sinhala.adaderana.lk)

දේශිය බඩ ඉරිඟු වගාව ඇතුළු වගාවන් රැසකට දැඩි ලෙස හානි කරමින් රට පුරා පැතිර යමින් පවතින සේනා දළඹුවා පාලනය කිරීමට ඒ සඳහා ඇති සියලු උපක්‍රම භාවිතා කර රටේ සියලු ගොවීන් නිලධාරින් ඇතුළු සියලු දෙනා එක වර ක්‍රියාත්මක විය යුතු බව උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ එස්.එස්. වැලිගමගේ මහතා පැවසීය.

පේරාදෙණිය ගන්නෝරුව පිහිටි පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී අද (18) පැවැති වැඩමුළුවක ප්‍රධාන දේශණය පවත්වමින් ඒ මහතා එසේ පැවසීය.

සේනා දළඹුවා පාලනය කිරීම සම්බන්ධයෙන් හා එහි හානිය සම්බන්ධයෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ රජයේ නිලධාරින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්විණ.

මෙහිදී වැඩි දුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් කීට විද්‍යාඥ එස්.එස් වැලිගමගේ මහතා මෙසේද සඳහන් කළේය.

සේනා දළඹුවා ලංකාවෙන් වාර්තා වී මේ වන විට මාස තුනක් හතරක් පමණ ගත වෙලා තිබෙන බවත් මෙම දළඹුවා ප්‍රධාන වශයෙන් හානි කරන්නේ තෘණ කුලයේ ශාඛවලට බවත් විශේෂයෙන් බඩ ඉරිඟු සහ වී වැනි ශාඛවලට බවත් ඒ මහතා පැවසීය.

එසේම වෙනත් බෝග වර්ග සියයකට පමණ හානි කිරීමට වුවද මෙම දළඹුවාට හැකියාව තිබෙන බවත් විශේෂයෙන්ම, සැඟව සිට ආහාර ගනිමින් ශාඛය විනාශ කිරීමේ හැකියාව දළඹුවාට තිබෙන බවත් පැවසීය.

ඔහු පැවසූවේ මේ දළඹුවා විනාශ කිරීම සඳහා උපයෝගී කර ගත හැකි සියලු උපක්‍රම උපයෝගී කර ගත යුතු බවයි.

මෙම සේනා දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට විවිධ උපක්‍රම රැසක් හොයා ගෙන තිබෙන බවත් තවත් උපක්‍රම පිළිබඳව පර්යේෂණ පවත්වමින් තිබෙන බවත් ඒ මහතා කීය.

එම උපක්‍රම අතර ප්‍රමාද වී වගා නොකිරීම සහ සාමූහිකව වගාව ආරම්භ කිරීම, ප්‍රමාද වී වගාව ආරම්භ කිරීමෙන් හානිය වැඩි වන බවත් බීජ ප්‍රතිකර්ම යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවද ඒ මහතා කීය.

වගාව සඳහා යූරියා වැනි පොහොර වැඩියෙන් භාවිතා කිරීමෙන් වැළකී නිර්දේශිත පොහොර ප්‍රමාණය පමණක් භාවිත කිරීම සහ කෘමි නාශක වර්ග 13 ක නිර්දේශ ලබා දී තිබෙන බවත් කී ඒ මහතා වඩාත් පරීක්ෂාවෙන් සිට ආරම්භක අවස්ථාවේදීම දළඹුවා විනාශ කර දැමීමත් බිත්තර විනාශ කිරීමත් වඩාත් සුදුසු බවත් කීය.

ෆැරමෝන උගුල මගින් දළඹුවා විනාශ කිරිමද කළ හැකි බව ඒ මහතා ප්‍රකාශ කලේය.

මේ සියල්ලට අමතරව ජෛව පාලනය මගින් මේ දළඹුවා පාලනය කිරීම සඳහා මේ වන විට පර්යේෂණ පවත්වමින් සිටින බවද ඒ මහතා කීය.

මෙම දළඹුවාව විනාශ කළ හැකි කෘමින් බෝකර මුදා හැරීම සඳහා මෙම පර්යේෂණ සිදු කරන බවද කීට විද්‍යාඥ එස්.එස් වැලිගමගේ මහතා පැවසීය ෴

++++++++++++++++++++++++

18.01.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *