වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය පිටුපස පිළිම වන්දනාව හෙළාදකින දෙදෙනෙක්

(18.01.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk)

වනාතවිල්ලුව ප්‍රදේශයේ වළදමා තිබියදී සොයා ගැනුණු පුපුරණ ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කර තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ මීට සති කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධියෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් ලබා දුන් තොරතුරු මතයි.

වනාතවිල්ලුව මංගලපුර කරඩිපූවල්හි ලැක්ටෝවත්ත නමින් හැඳින්වෙන ප්‍රදේශයේ නිවසක් ආශ්‍රිතව වළලා තිබියදී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 ක් සහ ඒවා පිපිරවීමට අවශ්‍ය ඩෙටනේටර් 100 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17) පස්වරුවේ සිය බාරයට ගනු ලැබුවේය.

එම පුපුරණ ද්‍රව්‍ය ද සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඉකුත් දෙසැම්බර් මස අවසාන සතියේදී මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කිහිපයකට හානි සිදු කිරීමේ සිද්ධීන් වාර්තා වූ අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ ද උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණි.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර වැඩිදුර විමර්ශනවලදී ඊට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වාලච්චේන ප්‍රදේශයේදීය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර මොවුන් දෙදෙනා පිළිම වන්දනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අන්තවාදී අදහස් දරන්නන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලැබී තිබුණේ එලෙස අවසන් වරට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100 ත් සමඟ ඩෙටනේටර් 100 ක් ද එම ස්ථානයේම තිබියදී සොයා ගැනීම නිසා, ඒවා පිපිරවීම් 100 ක් සිදු කිරීම සඳහා භාවිත කිරීමට සැලසුම් කරන ලද ඒවා විය හැකි බවට පරීක්ෂණවලදී අවධානය යොමුවී තිබේ.

මෑතකදී විදේශයකින් ගෙන්වන ලද එම පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන සඳහා දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *