මුලතිව් බොදු උරුමය වනසන අන්තවාදී කරුමය

(27.01.2019 – divaina.com)

ක‍්‍රි:පූ: 3 වන සියවසේ සිදු වූ මහින්දාගමනයෙන් පසු බුදු දහම රට තුළ ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වූ අතර අනුරාධපුර රාජධානිය පුරා ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය හේතු කොටගෙන ඉදි වූ විහාර ආරාම ප‍්‍රමාණාත්මකව ඉතා විශාලය. අනුරාධපුර රාජධානියේ උත්තර පස්සෙහි එනම් උතුරු පළාතේ රාජ්‍ය පාලනය පිළිබඳව ඉතා නිවැරදි වැදගත් තොරතුරු වල්ලිපුරම් රන්පතෙහි සඳහන්ව ඇත. එහි සඳහන් පරිදි මෙම ප‍්‍රදේශ අනුරාධපුර රාජධානියේ පාලකයා යටතේ පැවතුනි. එමෙන්ම වව්නියා පෙරියකුලම් ශිලා ලිපියෙහි දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන සමය පිළිබඳ වැදගත් තොරතුරු සඳහන් වේ. වර්තමානයේ මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ආසන්න කිරිඉබ්බන් වැවට සමීපයේ ගජබාපුර ග‍්‍රාමයේ ලෙන් ලිපියෙහි සඳහන් තොරතුරුවලට අනුව ක‍්‍රි: පූ: දෙවන, තුන්වන සියවස්හි මෙම ප‍්‍රදේශයේ පැවති ජනාවාසකරණය පිළිබඳවත් බෞද්ධ සිද්ධස්ථානවල විකාශනය පිළිබඳවත් ඉඟි සැපයේ. එමෙන්ම ක‍්‍රි: ව: 04 ට අයත් වූ තෝනිගල සෙල් ලිපිය මෙන්ම III වන මිහිඳු රජුගේ ශිලා ලිපි අධ්‍යයනය කිරීමෙන් මුලතිව් දිස්ත‍්‍රික්කය පුරා පිහිටි බෞද්ධ උරුමය පිළිබඳව වඩාත් හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.

වර්තමානයේ උත්තරපස්ස යාපනය, මුලතිව්, වව්නියා, කිළිනොච්චිය, මන්නාරම ලෙස බෙදා වෙන් කළ ද අතීතයේ මෙම සෑම දිස්ත‍්‍රික්කයක් පුරාම තිබෙන නෂ්ඨාවශේෂ බෞද්ධ උරුමයන් පිළිබඳව වඩාත් පැහැදිලි නිගමනයන්ට එළඹීමේ අවස්ථාව උදාකර දෙයි. තවමත් නිශ්චිතව හඳුනා නොගත් සිද්ධස්ථාන දහස් ගණනකි.

සීගිරි ගී හි ද කෝකිලායි ප‍්‍රදේශය ‘කොකෙළද’ යනුවෙන් සඳහන් වීමෙන් එදා පැවති සිංහල ජනාවාස පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

එමෙන්ම මෙම ප‍්‍රදේශ මෙතෙක් නිශ්චිතව හඳුනා නොගත් වරායන් සමූහයකි. අතීතයේ අනුරාධපුර රාජධානියේ භාණ්ඩාගාරය මුලතිව් හි පැවති බව ජනප‍්‍රවාදයයි. ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය, සී.ඩබ්ලිව්. නිකලස් මහතාගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය, පී. වීරසිංහ මහතාගේ නාගයන්ගේ පා සටහන් හා වව්නියා දිස්ත‍්‍රික්කයේ පුරාවස්තු, එල්ලාවල මේධානන්ද හිමියන්ගේ සිංහල බෞද්ධ උරුමය, සිරිල් මැතිව් මහතාගේ රජරට ශිෂ්ටාචාරය හා නිරිතදිග රාජධානි, ඉන්දකීර්ති සිරිවීරයන්ගේ ගවේශණ වාර්තාව ඇතුළු ඉහත කෘති පරිශීලනය කිරීමෙන් මෙම පුදබිම පිළිබඳව වඩාත් නිරවුල් මෙන්ම පැහැදිලි තොරතුරු ලබා ගත හැකිය. එමෙන්ම 2014.06.04 සිට 06.07 දක්වා කාලය ඇතුළත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත කරනු ලැබූ විධිමත් ස්ථානීය පරීක්ෂණ වාර්තාව වඩාත් නිරවුල් මෙන්ම පැහැදිලි දත්ත ලබා ගැනීමට අවස්ථාව උදාකර ඇත.

අතීතයේදී ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව පැහැදිලිව හඳුනා ගැනීම සඳහා දිවයින වටා වෙරළ තීරයේ උස් කඳු මුදුන්හී ස්ථූප තනවා ඇත. මෙය බෞද්ධ රාජ්‍යයක් බව නාවිකයන්හට ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වන්නට සැලැස්වීමට රාජ්‍ය පාලකයින් උත්සාහ ගෙන ඇත. පූර්ව ඓතිහාසික මහා ශිලා සංස්කෘතියට අයත් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ද පංචායතනයන්ගෙන් සමන්විත මුහුදු මහා විහාරයකි. මුහුදු මට්ටමෙන් මීටර් 21 උසින් පිහිටි කඳුගැටයක් මත මෙම විහාරය ඉදිකර ඇත. හේමමාලා හා දන්ත කුමරු දළදා වහන්සේ වැඩම කරන ලද්දේ ලංකා තොටුපළ වෙතය. ඒ නයාරු තොටුපළ බවට කරනු ලැබෙන සමීක්ෂණ වාර්තා ඇත.

මෙම විහාර භූමියෙහි තැනින් තැන විසිරී ඇති නෂ්ඨාවශේෂයන්ට අනුව ස්ථූපය, බෝධිඝරය, පොහොය ගෙය, සන්නිපාත ශාලාව හා විහාරගෙයි ගොඩනැගිලිවල පාදම් හා කුඩුම්බිගල් මෙන්ම මෙහි ඇති පොකුණ ආරාම සංකීර්ණයක නිවැරදි තොරතුරු හෙළි කරයි. අක්කර 58 පුරා විහිදි ගිය මෙම පූජා භූමිය පුරාවිද්‍යා සංරක්ෂණ භූමියකි. අක්කර 1800 කින් යුතු මුලතිව් මහා වනය පාමුල පිහිටි මේ පුදබිම අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් මේ වන විට මහා පරිමාණයෙන් විනාශයට පත්වී ඇත. මුලතිව් කෝකිලායි මාර්ගය ඉදිකිරීමේදී මෙම පුදබිම දෙකඩ කොට මෙම නව මාවත ඉදිකර ඇත. එමෙන්ම අත්තනෝමතික ලෙස පස් කැපීම හේතුකොටගෙන වටිනා පුරාවස්තු ගණනාවක් විනාශ වීමට ලක්වී ඇති අතර පස් ස්ථරයන් නිශ්චිත නිගමනයන්ට අපහසු බව පුරාවිද්‍යාඥයින්ගේ මතය බවට පත්වී ඇත.

ශ‍්‍රී ලංකා රජය විසින් ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය මගින් දියත් කරනු ලැබූ මානුෂීය මෙහෙයුම් මගින් දශක ගණනාවක් උතුරේ පැවති ම්ලේච්ඡ ත‍්‍රස්ත ක‍්‍රියාවන් සහමුලින්ම නිමාකර දමන්නට වූවා පමණක් නොව උතුර නැවත පුනරුත්ථාපනය කටයුතු කිරීමේ අවශ්‍ය පියවර රජය මගින් ප‍්‍රතිපත්තිමය තීන්දුවක් මත ගෙන තිබේ. මේ අනුව සෑම ජන කොට්ඨාසයක්ම සතු පැරණි උරුමයන් යළි ගොඩ නැගීමට කටයුතු කරමින් පවතී. මෙවන් අවස්ථාවක ඓතිහාසික නිවැරදි මූලාශ‍්‍ර මත පිහිටා සෑම ජාතියකම ආගමික ලබ්ධිය වැඩිදියුණු කරගැනීම සඳහා පූජනීය ස්ථාන පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. මේ හේතුවෙන් උතුරේ ඉදිවෙන හින්දු, බෞද්ධ ආගමික ස්ථාන ගණනාවකි. අතීතයේ පටන් සොළී, ද්‍රවිඩ වැනි විවිධ ජාතීන් අතර සිදු වූ ගැටුම් හමුවේ වුව මෙම බෞද්ධ විහාර ආරාම සුරැකිව පැවතුන අතර නූතනයේ මුග්ධ දේශපාලකයින්ගේ ආත්මාර්ථකාමි පටු බලලෝභී අවස්ථාවාදී ක‍්‍රියාකාරකම් හේතුකොටගෙන අර්ථ ශූන්‍ය ගැටුම් නිර්මාණය කරමින් ජාතීන් අතර පවතින සාමය සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කිරීම සෑම ජන කොට්ඨාසයක් මගින්ම හෙළා දැක ඇත.

පසුගිය ජනවාරි 23 වන දින අත්තනෝමතික ලෙස ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට කඩාවැදුණ පළාත් දේශපාලනඥයින් යැයි කියාගන්නා අවස්ථාවාදී බලලෝභීන් විසින් ගැටුමක් නිර්මාණය කරන්නට යෙදුනේ සත්පුරුෂ බෞද්ධ බැතිමතුන්නේ වන්දනාමානය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කළ මොහොතකය. සදාචාරාත්මක මාධ්‍ය කලාවෙන් බැහැරව කටයුතු කරන්නට යෙදුණු ඇතුම් ද්‍රවිඩ පුවත්පත් වාර්තාකරුවන් පිළිබඳව ඇති වූයේ බලවත් කනගාටුවකි. මේ සියලු ක‍්‍රියාකාරකම් හමුවේ වඩාත් අසරණ වන්නේ අහිංසක ගැමියන් පමණි. මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සාමයේත් සංහිඳියාවේත් නැවුම් මාවත බව සතුටින් යුතුව සටහන් තබනු වටී.

mula2
mula1
mula3
mulathiw3

– පුණ්‍යා ඒකනායක

+++++++++++++++++++++++++++++++++++++

‘ඔරුමිත්තනාඩු පොලිසිය’ වැඩ අරඹයි

(27.01.2019 – divaina.com)

දළදා වහන්සේ වැඩම කරවමින් පැමිණි දන්ත හේමමාලා යුවළ මුල්වරට ලැගුම් ගත් තැන යැයි ජනප‍්‍රවාද ගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට පසුගියදා ටී. එන්. ඒ දේශපාලන අංශයෙන් බලහත්කාරකමක් සිදු විය. ගුරුකන්ද රජමහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන්ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප‍්‍රතිෂ්ඨාපනය වීම ඊට හේතුවය. දුරුතු මස තෛපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දරා ඇත.

මෙම සිද්ධියෙන් පසු එතැනට කඩා වැදුණු ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත‍්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලිවල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන්ගෙන් විමසා ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම අතරතුර උතුරේ ගංවතුරෙන් අනාථ වූ දෙමළ ජනතාවට සහනාධාර ලබා දීමට පැමිණි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු බෞද්ධ උපාසක උපාසිකා කණ්ඩායමක්ද උදෑසන ආහාර ගැනීමට මෙහි ළඟා වී තිබේ. මෙම කණ්ඩායම සමග එක්ව පැමිණි මවුබිම මාධ්‍යවේදී සපුමල් ජයසේන මහතාද එහි විය. විහාරස්ථානයේ සිදු වූ බලහත්කාරකම් ඔවුන් ඇස් පණාපිට දුටු අතර වහාම එහි අසල තිබෙන හමුදා කඳවුරේ අණදෙන නිලධාරීන් මැදිහත්ව මෙම කණ්ඩායම එතනින් ඉවත් කළ බවටද මාධ්‍යවේදීන්ට ඡුායාරූප ගැනීමට පවා ඉඩ නොදුන් බවටද වාර්තා වේ.

මෙවැනි සිදු වීමක් දකුණේ සිදු වූවා නම් රජයේ මැති ඇමතිවරු බොහෝ දෙනකු එම සිදු වීමට එරෙහිව ප‍්‍රකාශ නිකුත් කිරීමට පැකිලෙන්නේ නැත. එසේම පොලිසිය වහාම මැදිහත්ව ගැටුමට මැදිහත් වූවන් අත්අඩංගුවට ගැනීමට උසාවි නියෝග ගනී. නැතිනම් තහනම් නියෝග ගැනීමට පමා නොවේ. කූරගල උද්ඝෝෂණය, මාවනැල්ල උද්ඝෝෂණය අවස්ථාවලදී පොලිසිය ගත් ක්ෂණික ක‍්‍රියාමාර්ග රාශියක් ගැන වාර්තා ඇත. දිගන ඇති වූ ගිනි තැබීම් සහ කෝලාහලයේ දී අමිත් වීරසිංහ ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වන්නේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පනත යටතේ ජාතිවාදය ඇවිස්සීමේ වරදකටයි. සෑහෙන කලක් මේ පිරිසට ඇප නොමැතිව බන්ධනාගාරගත කොට තිබූ ආකාරයද සිහිපත් වේ. එහෙත් ගුරුකන්ද රජමහා විහාරයේ ඇති වූ ජාතිවාදී ගැටුම පොලිසිය විසින් දැක තිබෙන්නේ සාමය කඩ වීමේ අවස්ථාවක් ලෙසටයි. මෙම ගැටුම සම්බන්ධව විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් කට උත්තර ලබා ගත් මුලතිව් පොලිසිය බී වාර්තාවක් ගොනුකර දෙපාර්ශ්වයම 29 වැනිදා උසාවියට කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබේ. කෝලාහලයක් සාමය කඩ වීමක් යනු සාමාන්‍යයෙන් සමථ මණ්ඩලයක විසඳා ගැනීමට හැකි ප‍්‍රශ්නයකි. එහෙත් මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ එය නොවේ. බලහත්කාරයෙන් ඇතිකළ ජාතිවාදී සහ ආගම් වාදී ගැටුමකි. මේ සම්බන්ධව නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා විමසීමේ දී ඔහු පවසා ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පනත යටතේ නඩු දැමීමට නම් නීතිපති විමසිය යුතු බවයි. එහෙත් අප දන්නා පරිදි දිගන සිද්දියේදී පොලිසිය විසින් නීතිපති විමසා නැත.

ජනවාරි මස 27 වන දින මෙම විහාරයේ අභිනව පිළිමවහන්සේ නිරාවරණය කරලීමේ උත්සවය යෙදී තිබුණි. එම උත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමියන්ට ද අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියන්ටද ලේඛකාධිකාරී අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියන්ටද ඇරයුම් කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් ඒ අතර වහා ක‍්‍රියාත්මක වෙමින් ජනවාරි 29 වැනිදාට වන කැඳවීම අවලංගු කරමින් 24 වැනිදා උසාවියට කැඳවිය හැකි වන පරිදි මෝසමක් ගොනු කරගෙන තිබේ. මෙම ක‍්‍රියාන්විතයේ අරමුණ වන්නට ඇත්තේ පිළිම වහන්සේ නිරාවරණය කරලීමේ උත්සවයට තහනම් නියෝග ගැනීමයි. පොලිසියද ටී. එන්. ඒ. මන්ත‍්‍රීවරුන්ට චෝදනා ගොනු නොකරම සාමය කඩවීමේ බී වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙවැනි තත්ත්වකට මග හදන්නටයි. මීට පෙරද මුලතිව් කුරුඳු මලේ පුරාවිද්‍යා ස්ථානයට ගිය පුරාවිද්‍යා කණ්ඩායමකට සහ සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය ශාන්තබෝධි හිමියන්ට මුලතිව් පොලිසිය විසින් උසාවිය මගින් තහනම් නියෝග ගෙන තිබුණි. එම සිද්ධියට ද මුල් වූයේ රවිහරන් මන්ත‍්‍රීවරයාමය. ඔහු ස්වාමීන් වහන්සේට බාධාකරමින් ජාතිවාදී ලෙසට හැසිරී තිබුණි. කෙසේ වෙතත් 27 වැනිදාට යෙදී තිබුණු පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය වහා වෙනස් කොට මෙම මස විසිතුන් වන දිනට එම උත්සවය ගනිමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නායක හිමියන් ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය අතින් පිළිම වහන්සේ විවෘත කරන්නට යෙදුණු බවද මෙහිදී සඳහන් කළ යුතුය.

යෝජිත නව ව්‍යවස්ථාව සඳහා සකස්ව තිබෙන පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පතේ නීතිය සහ සාමය කොටසේ 254 වගන්තිය ප‍්‍රකාරව පළාත් බද පොලිසියක් සහ ජාතික පොලිසියක් නිර්මාණය වේ. එවිට පළාත් නමයකට පොලිසි කොටස් නවයක්ද අග නගරයට එක් පොලිසියක්ද වශයෙන් කොටස් දහයකට කැඩෙනු ඇත. ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ඒකීය රට ‘ඔරුමිත්ත නාඩුවක්’ වශයෙන් නම්කර ඇති පොලිසි දහයක් නිර්මාණය වන විට ඔරුමිත්තනාඩුව ට පිළි ගැනීමක් සහ නීතිමය වටිනාකමක් හිමිවේ. දැන් මුලතිවු ගුරුකන්ද විහාරයේ ඇති වූ සිද්ධිය පොලිසිය මගින් කළමනාකරණය කරන්නේ ද රටේ මූලික නීතියට පටහැනිව පළාත් බද පොලිසියක් ලෙසටයි. පොලිසියට අණ දෙන්නේද උපදෙස් දෙන්නේද නීතිය අතට ගෙන කටයුතු කරන්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ය. පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද හිමියන් විසින් කොළඹ පොලිස් මූලස්ථානයේ මේ සම්බන්ධව ගොනුකළ පැමිණිල්ලද කොළඹ ජාතික පොලිසිය විසින් මේ වනතුරුම විභාගයට ගෙන නොමැත. එහෙයින් ව්‍යවස්ථා ලියවිල්ල සම්මත කර ගැනීමට ද ප‍්‍රථම මේ ක‍්‍රියාත්මක වන්නේ උතුරේ පළාත් බද පොලිස් නීතිය බව පැහැදිලිව කිව හැකි වී තිබේ. සුමන්තිරන් මහතාගේ සන්ධානය රටටම සර්ව සාධාරණ නීතිය ක‍්‍රියාත්මක කරන්නේ එලෙසය.

පොලිසිය බිහි වන්නේ බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය අනුව ඔවුන්ගේ තිඹිරි ගෙයක බැවින් එහි හැඩය වටිනාකම් සහ සම්ප‍්‍රදායයන් කෙරෙහි දේශීයත්වයක් අතැයි පවසන්නට නොහැකිය. පොලිස් නම් ඉංග‍්‍රීසි වචනය සකස් වීමට ගැනෙන මුල් අකුරු වල වගන්ති අරුත අනුව එහි මහාර්ඝ වැදගත්කමක් තිබුණද යටත් විජිත සමයේ සිටම පොලිසිය ක‍්‍රියාත්මක වූ ආකාරය දෙස බලන කල්හි එම ආයතනයේ මූලික අරමුණු වලින් ඉවත් වී දේශපාලන පක්ෂපාතීත්තවය උදෙසාම ක‍්‍රියාත්මක වී ඇති බව පෙන්වා දිය හැකිය. දැන් එහි ජාතික වටිනාකමද අහෝසි වී වර්ගවාදී පළාත් බද පොලිසියක් තත්ත්වයට වැටී තිබේ. යහපාලන රජයේ ව්‍යවස්ථාමය විප්ලවය මගින් අරමුණු කරගන්නේ මෙවැනි වර්ගවාදී පෙරළියක් නම් මුළු රටටම පළාත් බද පාතාලයන් ගේ පිහිට පමණක් ඉතුරු වන බව පැවසිය යුතුයි.

– මතුගම සෙනෙවිරුවන්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *