කින්නියා රත්වෙයි – නාවිකයින් හා ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්

(29.01.2019 – 14:46 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිකුණාමලය කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගංමෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ගඟට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.

අද (29) පෙරවරුවේ මෙම වැටලීම සිදුකෙරුණේ නාවික හමුදාව විසිනි.

මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දූෂණ මැඩපැවැත්වීමට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය දින කිහිපය පුරා කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ මෙහෙයුම් සිදුකොට ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගංමෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අද උදෑසනද නාවික හමුදාව තවත් මෙහෙයුමක් දියත් කළේය.

එහිදී වැලි ගොඩදමමින් සිටි බව කියන පුද්ගලයින් නාවික හමුදා නිලධාරීන් දැක පළා යාමට උත්සාහ කර ඇති අතර ඉන් දෙදෙනකු ගඟට පැන පිහිනා පළා යාමට උත්සාහ කිරීමේදී අතුරුදන්ව තිබේ.

මේ හේතුවෙන් අවට සිටි පිරිස් හා වැටලීම සඳහා පැමිණි නාවික හමුදා නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා නාවික හමුදාව අහසට වෙඩි ප්‍රහාර එල්ල කළ බව නාවික හමුදාව සඳහන් කළේය.

අනතුරුව කින්නියා පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ සිද්ධිය පාලනය කිරීමට පියවර ගත්තේය.

මෙම මෙහෙයුම අතරතුර ගඟට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනා සොයා නාවික හමුදාව පොලීසිය හා එක්ව මේ වන විටත් මෙහෙයුමක් දියත් කර තිබේ.

මේ අතර වැලි ජාවාරම්කරුවන්ගේ ප්‍රහාර වලින් නාවික හමුදා නිලධාරීන් 12 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර ඉන් බරපතල තත්ත්වයේ පසුවූ නාවික හමුදා නිලධාරීන් සිව්දෙනෙකු ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ සෙසු නිලධාරීන් නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බව නාවික හමුදා ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා අද දෙරණට සඳහන් කළේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *