මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

(29.01.2019 – 13:29 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු නොකළහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (28) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ මත පළ වනවා.

ඇතැමුන් ඡන්ද පැවැත්වීමට බල කරමින් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කියා සිටියේ.

කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 පෙබරවාරි මාසයේදී බවයි.

ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කියා සිටියා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය දැඩි අවදානයට යොමු විය යුත්තක් බවයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය මුහුණ දී ඇති අසීරුතාව මෙම ප්‍රකාශය තුළින් මනාව පිළිඹිබු කරන බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ඉල්ලා අස්වීම සඳහා නොවැම්බර් මාසය දක්වා බලා සිටීමට අවශ්‍ය නොවන බවයි.

ඒ තරමටම මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම මීට පෙර සිදුවිය යුතුව තිබූ බවයි ෴

++++++++++++++++++++++++

28.01.2019

++++++++++++++++++++++++

මැතිවරණ කොමසාරිස් පරක්කු වී හෝ සත්‍ය තේරුම් ගැනීම වැදගත්

(29.01.2019 – 18:29 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බවට මහින්ද දේශප්‍රිය මහතාට පැවසීමට තිබුණේ මීට පෙර බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

එතුමා මේ වන විට පරක්කු වැඩි බවත්, පරක්කු වී හෝ සත්‍ය තේරුම් ගැනීම වැදගත් බව ද අභයතිස්ස හිමියන් පැවසීය.

රටක ඡන්ද අයිතිය මංකොල්ල කනවා තරම් ජනතා පරමාධිපත්‍යයට හානි කරවීමක් තවත් නොමැති බව ද පැවසු උන්වහන්සේ මැතිවරණ කොමසාරිස්වරයා ගනු ලබන එම තීරණය ගැනීමට නොවැම්බර් මාසය තෙක් බලා සිටිය යුතු නොවන බවද සඳහන් කළේය.

එම තීරණය හෙට දිනයේ ම ගන්නේ නම් එය වටිනා බව ද උන්වහන්සේ පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණ කොමසාරිස්වරයා නොමැතිව ඡන්දයක් පැවැත්විය නොහැකි බවත්, එනිසා අදිසි හස්තයකින් එතුමාව ක්‍රියාත්මක කරනවා ද යන්න ගැටළුවක් බව ද පැවසු අභයතිස්ස හිමියන් එතුමාගේ ප්‍රකාශය තුළ ඉඟි දෙකක් ප්‍රකාශිත වන බව ද පැවසීය.

ජනාධිපතිවරණයකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා අස්වීම තුළ ඡන්දයකට යෑම අසීරු වන බවත්, සමාජයේ ප්‍රශ්නයක් උඩුදුවමින් සිටින විට මෙවැනි තීරණයක් ගැනීමෙන් එහි අවධානය අඩුවන බව ද සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *