එජාපයෙන් ආරම්භ කළ ‘ශුද්ධය‘ ශ්‍රීලනිපයටද පැතිරේ..! අරුන්දික ප්‍රනාන්දු නි.ඇමැතිධූරයෙන් පන්නා දමයි

(12.09.2017 – 18:25 +0530 – lankaenews.com)

විජේදාස රාජපක්ෂ ඇමතිධූරයෙන් එළවා එජාපය ආරම්භ කළ ‘ශුද්ධය‘ ශ්‍රීලනිපයද ආරම්භ කරමින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු නමැති ‘එතනෝල් රජා‘ ඇමැතිධූරයෙන් එළවා දැමීමට ශ්‍රීලනිප නායකයාද වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කටයුතු කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

අරුන්දික ප්‍රනාන්දු යනු පසුගිය රාජපක්ෂ රෙජීමයේ සිටි නීති විරෝධී එතනෝල් රජෙක් වූ අතර නූගත් කමින් අග තැන්පත් දේශපාලන ‘ගෝතයෙකි‘. එවැනි ‘ගෝත කරුම‘ යහපාලන ආණ්ඩුවට වැද්දා ගැනීම ගැන රාජපක්ෂ රෙජීමය පරාජය කළ යහපාලනප්‍රේමී ජනතාව සිටියේම දැඩි කනස්සල්ලකිනි. මෛත්‍රීපාල සිරිසේන අඩි 6 ක් වළ පල්ලට යැවීමට කටයුතු කළ අරුන්දිකලා වැනි ‘ගෝත කරුම‘ සම්මුති ආණ්ඩුව හදද්දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වනවා කියා පැමිණියේද අවංක චේතනාවකින් නොවන අතර, ආවේ තමන්ට එරෙහිව ඇති චෝදනා වලින් ගැලවී සිටිමින් යටින් රාජපක්ෂ දූෂිතයන් යලි බලයට ගෙන ඒම සඳහා කුමන්ත්‍රණ කිරීමට ය. ජනාධිපතිවරයාද මේ බව නොදැන සිටියා යයි කිව නොහැකි නමුත් අරුන්දික ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව කතා කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බව පසුගියදා කියා සිටීම ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීමට පහසුවිය. ප්‍රමාද වී හෝ සිරිසේන ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් ගෙන තිබේ. අරුන්දික පමණක් නොව මෙවැනි ගෝත කරුම සියල්ලම ශුද්ධ කිරීමට ඔහු දක්ෂ විය යුතුය. ඉන් ආණ්ඩුවේ හෝ පුද්ගලිකව ජනාධිපතිවරයාගේ හෝ ප්‍රතිරූපය ඉහල යනවා මිස පහල යන්නේ නැත.

එජාපයේ ‘රැඩිකල් රැල්ල‘ පසුගියදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ශ්‍රීලනිප සම්මේලනයෙන් පසු තමන්ද ශුද්ධය ආරම්භ කරන්නේ යැයි ‘රැඩිකල් රැල්ල‘ සමග ප්‍රකාශ කළ බව ලංකා ඊ නිව්ස් පසුගියදා වාර්තා කෙළේය.

අරුන්දික ප්‍රනාන්දු වැනි දූෂිතයන් ඇමතිකම්වලින් පමණක් නොව මන්ත්‍රීධූරයන්ගෙන්ද, ශ්‍රීලනිප සංවිධායක ධූරයන්ගෙන්ද එළවා රාජපක්ෂලා විසින් විනාශ කළ ශ්‍රීලනිපය යලිත් සාධාරණ බුද්ධිමත් ජනතාවගේ ප්‍රගතිශීලී දියුණු පක්ෂයක් බවට පරිවර්තනය කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කල් ගත වී හෝ ධෛර්ය ලැබුනහොත් ඒ ගැන යහපාලනප්‍රේමී ජනතාව සතුටු වනු ඇත.

මෙවැනි ගෝත කරුම වලට බලය නොමැතිව කිසිදු පිළිගැනීමක් නැත. ඊට හොඳම උදාහරණය වන්නේ විජේදාස රාජපක්ෂ ය. ඔහුව අධිකරණ ඇමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු කිසිදු විනිසුරුවරයෙකු හෝ නීතිඥයෙකු හෝ චීවරධාරියෙකු හෝ පමණක් නොව අඩුම ගණනේ මහරගම එජාප බලමණ්ඩලයේ කිසිවෙකු හෝ ඔහු අමතා දුරකථන ඇමතුමක් හෝ දුන්නේ නැතැයි ඉතා ශෝක භරිතව ඔහුගේ මිතුරෙකු සමග පසුගියදා පවසා තිබිණ. ලංකාවේ දේශපාලනයේ සත්‍යය එයයි. දූෂිතයන් වැජඹෙන්නේ නායකයන් ඒ දූෂිතයන් ආරක්ෂා කරන නිසා මිස දූෂිතයන්ට මහා විශාල ජන බලයක් තිබෙන නිසා නොවේ. මහින්ද රාජපක්ෂ වුව ශ්‍රීලනිපයේ තනතුරු වලින් එළවා දැමුවහොත් අතේ මුදල් ඉවර වෙන තුරු ටික දිනක් කෑ ගසමින් සිට එක ඡන්දයකට මුහුණ දීමෙන් පසු යථාර්තය පසක් වීමෙන් අනතුරුව ඔහුද නිවී යනු නිසැක ය.

දූෂිතයෙක් නොවුනේ වී නමුත් සෝමවංශ අමරසිංහ නමැති අමරණීය පක්ෂ නායකයාට පක්ෂයෙන් ඉවත් වූ පසු සිද්ධ වූ නස්පැත්තිය හොඳම උදාහරණයකි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *