ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

(03.02.2019 – 21:32 +0530 – newsfirst.lk/sinhala)

රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ සංවිධානාත්මක පිරිස් විසින් මෙරට බැංකු වල ස්ථාපනය කර ඇති, ATM යන්ත්‍රවල වෙනත් බාහිර උපකරණයක් සවිකර ඒ ඔස්සේ පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම පළමු සිදු කරයි.

අනතුරුව එම දත්ත උපයෝගි කරගනිමින් ව්‍යාජ කාඩ්පත් සකසා මුදල් ලබා ගන්නා බවට මේ වනවිට පැමිණිලි කිහිපයක් ම ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවයි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ලංකා ක්ලියර් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ATM යන්ත්‍ර භාවිත කරන මෙරට ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කිරිමේදී විමසිලිමත් වන ලෙසයි.

ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු විය යුතු කරුණු කිහිපයක්ද අදාළ නිවේදනයේ සඳහන් ය :

• මුදල් ගනුදෙනුවලදී තමන් භාවිත කරන ATM යන්ත්‍රවල අනවශ්‍ය උපාංග සවිකර ඇද්ද යන්න ගනුදෙනු කිරීමට පෙර පරීක්ෂා කරන්න.

• ATM යන්ත්‍ර හරහා ගනුදෙනු කරන විට තමා අවට සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න.

• යම් හෙයකින් සැකකටයුතු යමක් හෝ පුද්ගලයකු වේ නම් ඒ පිළිබදව බැංකුවේ ආරක්ෂක අංශ හෝ පොලිසිය දැනුවත් කරන්න.

• සෑම ගනුදෙනුකරුවෙක්ම, සිය ATM කාඩ්පතට අදාළව බැංකුව මගින් ක්‍රියාත්මක කරන කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කර ගන්න.

*****************************************

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

(03.02.2019 – 10:32 +0530 – lankadeepa.lk)

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

පසුගිය වසරේ නිදහස් උත්සවය අතරවාරයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිතර වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කල බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ පසුගිය ජනවාරි 21 වැනිදා ඔහුට එරෙහිව පවරා තිබූ නඩු විභාගයේදී ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් වරෙන්තු නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ (02) දිනයේදී එම අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැදවා ඇති අතර ඒ බ්‍රිතාන්‍ය , විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රීක වරප්‍රසාද පිළිබඳව තහවුරු කිරීමෙන් අනතුරුව යැයි ද එම තනාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

කෙසේවෙතත් සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සදහා ලබන මාර්තු මස පළමු වැනිදා එම නඩුව යලි කැදවීමට ද තීරණය කර ඇති බවද තානාපති ආරංචි මාර්ග සදහන් කළේය.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පසුගිය කාල වකවානුව තුළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි කතාබහක් මතුවූ අතර ඒ මෙම වරෙන්තු කැදවීම ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් තොරව සිදුවීම ගැන විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කැඳවා රජයේ ස්ථාවරය දැන්වීමට කටයුතු කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *