තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි

(07.02.2019 – 18:49 +0530 – hirunews.lk/sinhala)

තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා.

ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++++

ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇතැයි සඳහන්.

එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

මේ අතර ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්ඩර්ස්ට්‍රෝයිගේ නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් බෑගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසියකදී සොයාගෙන ඇතැයි සඳහන්.

මේ අතර අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වනවා.

ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත්තේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි.

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු 25 දෙනෙකු පසුගිය 5 වනදා අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි තරු 6 හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීයි.

එම සාදයට ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පියෙකු වන රයන් වැන් රෝයන් ද එක්ව සිටියා.

මෙම සාදය පවත්වා ඇත්තේ මාකඳුරේ මධූෂ් සහ ඔහුගේ දෙවන බිරිද වන තිලිණි නිශායා තිලකරත්නට දාව එහිදී උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.

ඇය 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුලදී ඝාතනයට ලක්වූ පාතාල නායක කළු තුෂාරගේ බිරිදයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර, මිරිස්සේ සන්ෂයින් සුද්දා, රොටුඹේ අමිල නමැති පාතාල සාමාජිකයින් ද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර, මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ නිර්භීත ක්‍රියා කලාපය පිළිබදව අගය කරන අතරම එවන් කාර්යශූර නිලධාරින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහඟු සම්පතක් බවටයි අග්‍රාමාත්‍යවරයා එමගින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද පාතාල කල්ලි නායක මධූෂ් අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් පළ වුණා.

https://www.youtube.com/watch?v=M7ehDo1vdz0

+++++++++++++++++++++++++++++++++++++

ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවසෙන් කොකේන් හිස් කොපු 2 ක් හමුවෙයි

(07.02.2019 – 19:32 +0530 – sinhala.adaderana.lk)

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ.

අද (07) පස්වරුවේ පොලිස් විශේෂ කාර්යය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් එම නිවස පරීක්ෂා කිරීමේදී කොකේන් හිස් කොපු සොයා ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.

මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු මේ වන විට බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේ සිටින බවත් වාර්තා වෙයි.

පසුගිය දින කිහිපයේම රටේ කාගෙත් අවදානය දිනාගත් පුවත් වූයේ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් ඩුබායි හිදී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමේ සිද්ධියයි.

මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් එම මෙහෙයුම පිළිබඳ තොරතුරු අද දින අනාවරණ විය.

මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු පිරිස අතර කළුතර බන්ධනාගාරයේ නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක්, කඹුරුපිටියේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙකුද සිටින බව වාර්තාවෙයි.

මෙරට පාතාලයේ ප්‍රබලයා ලෙස හැඳින්වෙන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් කලක පටන් ඩුබායි හී සැඟවී සිටිමින් මෙරට සිදු වූ ප්‍රධාන පෙළේ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසක් මෙහෙයවමින් සිටි අතර ඔහුව අත්අඩංගුවට ගැනීම මෙරට ආරක්ෂක අංශවලට දැඩි අභියෝගයක් බවට පත්ව තිබූණි.

මෙරට අපරාධ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවෙකු ඩුබායිහීදී අත්අඩංගුවට ගැනීමට මෙරට ආරක්ෂක අංශ නිලධාරීන්ට නෛතික හැකියාවක් නොමැති නිසා ඔවුන් එරටදී සිදුකරන වරදකට අදාළව එරට පොලිසියේ ග්‍රහණයට හසුකරදීම මෙරට ආරක්ෂක අංශවල උපාය බවට පත්වී තිබුණි.

එවැනි පසුබිමක ඔහු නීතීයේ රැහැනට හසුකරගැනීම සඳහා දියත් වූ මෙම සැලසුම ක්‍රියාත්මක වන්නේ මදූෂ් සහ පාකිස්ථාන කුඩු ජාවාරම් කල්ලියක් අතර පවතින ආරවුලක් පිළිබඳ මෙරට ආරක්ෂක අංශවලට ලැබූ ඔත්තුවකට අනුවයි.

පාකිස්ථානයේ ක්‍රියාත්මක එම මත්කුඩු ජාවාරම් කල්ලියෙන් මත්කුඩු මිලදී ගැනීමේදී සිදුවූ මුදල් වංචාවක් මත දෙපාර්ශ්වය අතර මෙම ආරවුල නිර්මාණය වී තිබූ අතර එම තත්වයද මදූෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ප්‍රයෝජනයට ගැනුණි.

ඒ අනුව මාකඳුරේ මධුෂ් ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් ඩුබායි හී තරු පන්තියේ හෝටලයකදී සහභාගී වන මෙම සාදය පිළිබඳව ඔත්තුවක් පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු අතර ඒ අනුව එහි ඔත්තුකරුවන් ලෙස කටයුතු කරන දෙදෙනෙකු පසුගියදා රහසිගතව ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ඒ අනුව පසුගිය 4 වනදා ප්‍රෙමයිරා මරීනා ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයකදී මදූෂ් ඇතුළු පාතාල කල්ලි ප්‍රබලයින් සහභාගී වූ සාදය පිළිබඳව ඩුබායි පොලිසීයේ හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර තිබුණේ මෙරටින් පිටත්ව ගිය ඔත්තුකරුවන් දෙදෙනා විසිනි.

එම ඇමතුමට අනුව එදින අලුයම 2 කට පමණ ඩුබායි පොලිස් නිලධාරීන් අදාළ සාදය පැවති ස්ථානය වටලා තිබූ අතර එම අවස්ථාව වනවිටත් සාදයට සහභාගී වූවන්ගෙන් පිරිසක් කොකේන් පානය කරමින් සිටි බව වාර්තා වෙයි.

එහිදී සාදයට සහභාගී වි සිටි 100 කට අධික පිරිසක් අතරින් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ භාවිත කිරීමේ චෝදනාවට අදාළව 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව එය තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබූ විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගත් බවයි වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කඹුරුපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් දෙදෙනෙකු සහ එම ප්‍රාදේශිය සභාවේ සේවකයෙකු, එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්, කළුතර බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියෙකු සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවල නිරත පොලිස් නිලධාරියෙකුද සිටින බව නවතම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස ඩුබායිහීදී අත්අඩංගුවට පත් වන්නේ ඔහු සම්බන්ධයෙන් මෙරට පවතින අපරාධ චෝදනාවලට අදාළව නොවන අතර ඩුබායි නීතියට අනුව විශ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සහ සන්තකයේ තබාගත් වරදටයි.

එරට සාමාන්‍ය ක්‍රමවේදය අනුව එම වරදට අත්අඩංගුවට පත්වන්නන්ගෙන් දින 14 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන අතර දින 14 ක් ඉක්ම යාමට පෙර වුවද සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතියි.

කෙසේවෙතත් අත්අඩංගුවට පත් පිරිස මේ වනවිට ඩුබායි අල්මුල්ලා ප්ලාසා අභිහිල් ජේල් බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වෙයි.

මේ අතර මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ මැඩලීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා වෙත අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසාත්මක ලිපියක් යවා ඇති අතර මෑතකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ ක්‍රියාදාමය ද අගය කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ඩුබාහිදී ඇල්ලූ මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25 දෙනා අතර දේශපාලනඥයන් දෙදෙනෙක්

(07.02.2019 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි බන්ධනාගාරයක රඳවා ඇති බව වාර්තා වනවා.

ඩුබායි පොලිිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර ඒ, ඔවුන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිලිබඳව නිගමනය කිරීම සඳහායි.

මේ අතර විදේශ අමාත්‍යාංශය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඩුබායි බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ජා කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට මහජන නියෝජිතයන් දෙදෙනෙකු ද සිටින බවයි.

එමෙන්ම පොලිස් නිලධාරියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බවට ඊයේ අනාවරණය වුණා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ඩුබායිහි රැදී සිටින මාකදුරේ මධුෂ්ට එරෙහි තවත් කල්ලියක් විසින් මොහු සම්බන්ධ පළමු ඔත්තුව ලබා දී ඇති බවයි.

ඒ අනුව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස රැදී සිටි ඩුබායි හෝටලය වටලා ඇති අතර එම අවස්ථාව වන විටත් අත්අඩංගුවට ගත් පිරිස කොකේන් පානය කරමින් සිට ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම සාදය සඳහා සහභාගි වීමට මෙරටින් ගිය පුද්ගලයෙකුගේ වීඩියෝ ඇමතුමක් ඔස්සේ මධුෂ්ට එරෙහි කල්ලියට අදාල තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා.

මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී සැකකරුවන් 25 දෙනෙකු මෙලෙස ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර ජනප්‍රිය ගායකයෙකු වන අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම පාතාල නායකයන් සිව් දෙනෙකු ද සිටියා.

මෙම සාදයට එක්වීමට පැමිණි අංගොඩ ලොක්කා සහ කෙසෙල් වත්තේ දිනුක යන පාතාල නායකයන් දෙදෙනා පලාගොස් තිබූ අතර වීඩියෝ ඇමතුම් ලබාගත් පුද්ගලයාද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය පාතාල නායකයෙකු වන ඩී. මංජුගේ ගෝලයින් තුන්දෙනෙකු මත්කුඩු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේදී චාගිවත්තේ සුරේෂ් සහ තවත් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගැනුනා.

චාගිවත්තේ සුරේෂ් නැමැත්තාට එරෙහිව පැමිණිලි රැසක් ඇති බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුවම සම්බන්ධ අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා සඳහන් කළේ.

වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භූමියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ඩී. මංජු නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි 23 වනදායි.

+++++++++++++++++++++++++++++++++++++

මධුෂ් මුදාගන්න ඩුබායි නීතිඥවරු 12 ක් සටනේ

(08.02.2019 – divaina.com)

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත.

නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරන බවද ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියේය.

මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් බේරා ගැනීම සඳහා ඉන්දීය නීතිඥවරුන් ප‍්‍රමුඛ තවත් රටවල් කීපයක නීතිඥයන් සම්බන්ධ වී සිටින බවද වාර්තා වෙයි.

මෙම නීතිඥයන්ගේ සහාය ලබාගෙන මධුෂ් බේරා ගැනීමේ කටයුතු සම්පාදනය කරන්නේ ඔහුගේ අනියම් බිරිඳ සහ එරට සැගවී සිටින පාතාල සාමාජිකයන් පිරිසක් විසින් බවද හෙළිවී ඇත.

මේ අතර ඔවුන් බේරා ගැනීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා මෙරට සිටි ඔහුගේ ගෝලබාලයන් කීප දෙනකුද ඩුබායි දේශයට ගොස් ඇති බව වාර්තා වෙයි.

මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු කළුතර බන්ධනාගාරයේ රාජකාරි කළ බව කියන බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු, රාජ්‍ය තාන්ති‍්‍රක විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති පුද්ගලයකු සහ දකුණේ ප‍්‍රාදේශීය සභාවක මන්ත‍්‍රීවරියක සිටින බවට තොරතුරු ලැබී තිබිණි. ඊට අමතරව කොළඹ කෙසෙල්වත්ත, මාලිගාවත්ත, මාකඳුර, කඹුරුපිටිය ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක පාතාල කල්ලි සාමාජිකයන් 15 දෙනකු සහ ව්‍යාපාරිකයන් පස් දෙනකුද මධුෂ් සමග සිටියදී අත්අඩංගුවට ගත් බව පැවසේ.

එහෙත් මේ පිළිබඳව ඩුබායි පොලිසිය තහවුරු කිරීමක් කර නොමැත. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පැවසුවේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූවන් අතර සිටින මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදී තිබුණේ ඩුබායිහි සිටින විවිධ පුද්ගලයන් විසින් බවය. එබැවින් මෙසේ ලැබුණු තොරතුරු කිසිවක් නීත්‍යානුකූල නොවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මධුෂ් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ ඡායාරූප මෙරට මාධ්‍ය ඔස්සේ පළවීම පිළිබඳවද ඩුබායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම ඡායාරූප ඩුබායි පොලිසිය මගින් ලබාගත් අතර අත්අඩංගුවේ සිටි සැකකරුවන් හඳුනා ගැනීමට ඒවා තම ඔත්තුකරුවන්ට ඩුබායි පොලිසිය ලබාදී තිබිණි.

එසේ ලබාදුන් ඡායාරූප ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය වෙත ගියේ කෙසේද යන්න සොයා ඔවුන් විමර්ශන ආරම්භ කර ඇති බව ඩුබායි දේශයෙන් ලැබෙන ආරංචිමාර්ග පවසයි.

මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ දියණියගේ උපන් දින සාදය ඩුබායි හි තරු හයේ හේටලයක පැවැති අතර එයට කඩාවැදුණු එරට පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවන් සතුව තිබී කොකේන් සහ ගංජා තොගයක්ද පොලිසිය සොයාගෙන තිබුණි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ජනප‍්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත‍්‍රයා ඇතුළු තවත් තරුණ ගායකයන් හය දෙනකුද සිට ඇත.

මේ වන විට මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් එරට බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

– හේමන්ත රන්දුණු

+++++++++++++++++++++++++++++++++++++

07.02.2019

+++++++++++++++++++++++++++++++++++++

මධූෂ්ගේ ඩුබායි නම අජිත් අවංක වික්‍රමසිංහ – සාදයට මිලියන 30 ක් – පැමිණියේ සුපිරි ලිමෝසින් රථයකින් – තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(08.02.2019 – nethgossip.lk)

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමසිංහ යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසයි.

අත්අඩංගුවට පත් 31ක් ඊයේ (07) අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමසිංහ නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.

මිනුවන්ගොඩදී ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මධූෂ් ඩුබායිහිදි පැවැත්වූ සාදය සඳහා රුපියල් මිලියන 30 කට අධික මුදලක් වියදම් කර ඇති බවද ඩුබායි වාර්තා සඳහන් කරයි. තරු 6 ක හෝටලයක පැවති එම සාදය සඳහා මධූෂ් පැමිණ ඇත්තේ සුපිරි ලිමෝසින් රථයකින් බවද අණාවරණය වී ඇත.එම රථය මේ වන විට පොලිස් භාරයටද ගෙන තිබේ.

තවද මෙම සාදයට පැමිණ අත්අඩංගුවට පත්වූවා යැයි කියන මෙරට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් හිමිවූ පුද්ගලයා කඹුරුපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් බවද නිළ නොලත් වාර්තා සඳහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *