මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි

(07.02.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රීවරුන් 12 ක් සිරවූ, පාර්ලිමේන්තු සෝපානය ගැන පරීක්ෂණ

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම හේතුවෙන් එහි ගමන්ගත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුට විනාඩි 15 කට ආසන්න කාලයක් එහි සිරවී සිටින්නට අද සිදුවුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති 06 වැනි විදුලි සෝපානයයි මෙලෙස අක්‍රීයවී තිබුණේ.

අද උදෑසන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීම සඳහා දෙවන මහළ වෙත ගමන් කිරීමට අදාළ මන්ත්‍රීවරුන් පිරිස මෙම විදුලි සෝපානයට ඇතුළු වී ඇති අතර, එය දෙවන මහළ දක්වා ගමන් කර පසුව අක්‍රීය වූ බව සිද්ධියට මුහුණදුන් මන්ත්‍රීවරුන් සඳහන් කළා.

සෝපානය තුළ සිර වූ මන්ත්‍රීවරුන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, චන්ද්‍රසිරි ගජධීර, දයාසිරි ජයසේකර, ඩලස් අලහප්පෙරුම, චන්දිම වීරක්කොඩි, සිසිර ජයකොඩි, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, රංජිත් සොයිසා සහ සී.බී.රත්නායක මෙන්ම රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේද සිටියා.

අනතුරුව පාර්ලිමේන්තු රැස්වීමට එක්වූ ඔවුන් තමන් මුහුණදුන් සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානය යොමුකළා.

එහිදී ඇතිවුයේ උණුසුම් සංවාදාත්මක තත්ත්වයක්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානයක ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව 13 ක් වන අතර, එහි බර කිලෝග්‍ර‍්‍රෑම් 900 කට සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ සිදුවීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සෝපානයක ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව 06 ක් දක්වා සීමා කිරීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීමෙන් පසු ඇතැම් මන්ත්‍රීවරුන් විදුලි සෝපානය මග හැර පඩිපෙල භාවිත කරන ආකාරය දක්නට ලැබුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් විමසීමක් කළා.

ඔහු ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සෝපාන සියල්ල වසර 35 ක් පමණ පැරණි වන අතර, ඒවායේ නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා අදාළ සමාගමේ සේවකයින් දෙදෙනෙකු කැඳවා ඇති බවයි.

කෙසේ වූවද, කාර්මික දෝෂයක් හේතුවෙන් අදාළ සෝපානය අක්‍රීය වන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත්, කාර්මික නිලධාරීන් එම ස්ථානයට පැමිණීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වේත්‍රධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

*****************************************

තෙවැනි ඇසේ සටහන් වූ හෙල්මට් සොරකම

(07.02.2019 – 10:00 +0530 – hirunews.lk/sinhala)

වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු යතුරු පැදි 2 කින් ආරක්ෂක හිස් වැසුම් 2 ක් සොරකම් කරන අයුරු ඒ අසල සවි කර තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙනවා.

අම්බලන්ගොඩ, බෝගහවත්ත ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ.

ආරක්ෂක CCTV කැමරා ගෙන්වන වෙළඳසැලක් ඉදිරිපිටම මෙම සොරකම සිදුවීම විශේෂත්වයක්.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

සැකකරුවා අදාළ සොරකම සිදු කෙරූ අයුරු :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *