ATM භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මහ බැංකුව දන්වයි

(07.02.2019 – 07:08 +0530 – hirunews.lk/sinhala)

ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් සිදුකරනු ලබන ගණුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවුම් කාඩ්පත් සහ ඒ.ටී.එම්. යන්ත්‍ර භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.

හඳුනාගත නොහැකි, අනවසර ගණුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගත වූ කාඩ්පත් වේ නම් එවැනි සිදුවීම් වහාම අදාළ බැංකුව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගණුදෙනුකරුවන් විසින් ඊ.එම්.වී. තාක්ෂණය සහිත ගෙවුම් කාඩ්පත් භාවිත කිරීම අවශ්‍ය බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ඒ මත පිහිටා තිබෙන විද්‍යුත් චිපය මගින් ඒ බව හඳුනාගත හැකි අතර, එලෙස ඊ.එම්.වී. තාක්ෂණයෙන් තොරව කාඩ්පතක් භාවිත කරන්නේ නම් එම තාක්ෂණය සහිත නව කාඞ්පතක් නිකුත් කරන මෙන් අදාළ බැංකුවෙන් ඉල්ලීමක් කළ හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර සී සී ටී වී දර්ශන පථයට හසු නොවන ලෙස ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ සැකකටයුතු අන්දමින් රැඳී සිටින පුද්ගලයින් පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු අනාවරණ වීමත් සමඟයි.

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ මෙම සිදුවීම්වලට අදාළව මේ වන විටත් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවි කර ගනුදෙනුකරුවන් විසින් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන කාඩ්පත්වල දත්ත සොරා ගෙන ව්‍යාජ කාඩ්පත් සකසා රුපියල් ලක්ෂ 12 ක පමණ මුදල් වංචා කර ඇති බවයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.

ඔවුන් සන්තකයේ තිබී එලෙස සකස් කරන ලද ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් 200 ක් ද සොයාගැනුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඒ.ටී.එම්. යන්ත්‍ර ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසයි ෴

+++++++++++++++++++++++++++++++++++++

ATM මුදල් වංචා ජාවාරමේ සැකකරුවන් හෙළිකර ගැනීමට පොලිසිය මහජන සහය පතනයි

(08.02.2019 – 20:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරම පිළිබඳ මින් පෙර අප අණාවරණය කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සම්බන්ධයෙන් මහජන සහය පතන බවයි.

විදේශිකයින් ද ඇතුළත් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන බවට වාර්තාවන මෙම මුදල් වංචා කිරීමේ ජාවාරම පියවර කිහිපයක් ඔස්සේ ඉතා සැලසුම් සහගතව සිදු කරන බව අනාවරණය වී තිබෙනවා.

ඒ පිලිබදව මේ දිනවල වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

මෙහිදී පළමුව ATM යන්ත්‍රයන්හි මුදල් ලබාගන්නා ස්ථානයේ රහසිගත ලෙස බාහිර උපකරණයක් සවිකර ගනුදෙනුකරුවන් විසින් යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන ATM කාඩ්පත් වල දත්ත සොරා ගනු ලබන අතරල ATM යන්ත්‍ර අසල කුඩා කැමරාවක් යොදා ගනුදෙනුකරුවන්ගේ රහස්ය්‍ය අංක ද පටිගත කරගනු ලබනවා.

පසුව අදාළ දත්ත උපයෝගී කරගෙන නිර්මාණය කරනු ලබන ව්‍යාජ ATM කාඩ් පත් හරහා මුදල් ලබා ගැනීම සිදු කරන බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

මෙවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳ පසුගිය සති අන්තයේ ප්‍රදේශ කිහිපයක බැංකුවලින් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර, ඒ හා සම්බන්ධ සී.සී.ටී.වී ඔස්සේ ලබාගත් ඡයාරූප පෙළක්ද අප වෙත ලැබී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙම සැකකරු පිළිබදව තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011 242 2176 හෝ 011 232 6670 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි.

එසේම සැකකරුවන් ATM යන්ත්‍ර වෙත පැමිණිමේදි සිය අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි හිස්වැසුම් සහ අව් කණ්නාඩි පැළද පැමිණ ඇති බව ද හෙළිව තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *