මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු සූරියවැව දී අත්අඩංගුවට

(10.02.2019 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20 ක් සමඟ සූරියවැව – විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල – කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකය සිදුකළ වැටලීමකදී අද දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස – තෙලිජ්ජවිල – තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

+++++++++++++++++++++++++++++++++++++

මධුෂ්ගේ තවත් ප්‍රබල අනුගාමිකයෙක් මට්ටක්කුලියේදී අල්ලයි – ‘‘ඕළු මරාත්’’ අත්අඩංගුවේ

(10.02.2019 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි.

මොහු මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මධූෂ්ගේ සමීපතමයෙකු වූ ජංගාගේ ඥාතියෙකු වන හමුදා සෙබළා සතුව තිබී නවීන ගිනි අවි පිළිබඳ මාර්ගෝපදේශන පොත් දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම මාර්ගෝපදේශන පොත් දෙක ඩුබායි සිට ගෙන්වා ඇති බවට අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම ජංගාගේ ගන්දර නිවසේ තිබී හමුවූ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සහ ටී 56 උණ්ඩ මෙම හමුදා සෙබලා විසින් සපයා ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද එම පොලිස් නිලධාරියා කියා සිටියා.

මාකඳුරේ මධුෂ් සමඟ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව තිබුණා.

ඉන් පසුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය ඔහුගේ ගන්දර නිවස මෙලෙස පරීක්ෂාවට ලක් කළේ.

මේ අතර ඩුබායි හිදී අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ මෝටර් රථයද හමුවුණේ මාතර – මිරිස්ස ප්‍රදේශයේ පාතාල සාමාජික සන්ෂයින් සුද්දාට අයත් හෝටලයක තිබියදියි.
ඒ පිළිබඳවද තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය කියා සිටියේ.

ඩුබායි හි මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ වන තිලිණි නිශායා තිලකරත්නට අයත් මෝටර් රථයක්ද සොයාගත්තා.

පොලීසිය පවසන්නේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මාතර දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම මේ වනවිටත් ප්‍රකාශ 12 ක් පමණ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රණවීර ආරච්චිලාගේ ශානක මධුසංක හෙවත් ඕළු මරා ඇතුලූ 12 දෙනෙකු වෙන්නප්පුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව – සිරිගම්පල ප්‍රදේශයේදී ඊයේ ඕළු මරා විසින් මත්කුඩු අලෙවි කරන අවස්ථාවේදී ඒවා මිලදී ගැනීමට පැමිණි 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් පොලිස් භාරයට ගැනුනා.

ඕළු මරා මීට පෙර අවස්ථා කිහිපයකදීම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක්. ඔහු ඇතුලු සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++++++++++++++++++

මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීම කල් යයි – පියාගේ අවසන් කටයුතු සංවිධාන කළ අසේල සහ නාලක අත්අඩංගුවට

(10.02.2019 – 18:37 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි දී අත්අඩංගුවට ගැනුණු මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇති බවට වාර්තා වනවා.

එරට ආරංචි මාර්ග සඳහන් කළේ පොලීසිය මගින් සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් අධිකරණයට ඉදිරිපත් කිරීම මෙලෙස පමා වනු ඇති බවටයි.

මේ අතර, මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ පාතාල කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකුම මෙරට දී දැනටමත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුත් සමඟ සමීපතම සබඳතා පැවැත්වූ අයෙකු වන අකුරැස්ස – තෙලිජ්ජවිල – තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ අසේල එරංග හෙවත් ගෙසා නැමති 23 හැවිරිදි තරුණයෙකු ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20 ක් සමඟින් සූරියවැව – විහාරගල ප්‍රදේශයේදී අද දහවල් අත්අඩංගුවට ගැණුනා.

සැකකරුට එරෙහිව ඝාතන සහ අපරාධ චෝදනා රැසක් ද පවතින අතර, ඔහු පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවසන් කටයුතු භාරව කටයුතු කළ අයෙක්.

මීට අමතරව ඔහු මධුෂ් සමඟ නිරන්තරයෙන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා තිබෙනවා.

එමෙන්ම, මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු ද අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා ද මට්ටක්කුලිය ප්‍රදේශයේ අද උදෑසන සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි.

මොහු මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ලබාගැනීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

*****************************************

ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වෙයි

(10.02.2019 – 13:53 +0530 – hirunews.lk/sinhala)

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර ඔත්තකඩේ දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී තිබෙනවා.

ලොරියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඊයේ සවස දුම්රිය මාර්ගය ඔස්සේ මීටර් 50 ක් පමණ දුරට ලොරිය ධාවනය වී ඇති අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය 5 ක් ද ප්‍රමාද වී ධාවනය කෙරුනා.

ලොරිය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා පැය 6 හමාරකට වැඩි කාලයක් ගතවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා යකඩ කම්බි ප්‍රවාහනය කළ ලොරියක් මෙලෙස කාර්මික දෝශයකට ලක්වී ඇති අතර රියදුරාට සහ සහායකයාට හානියක් සිදුවී නැහැ.

දොඹකර යොදා ගනිමින් ලොරිය දුම්රිය මාර්ගයෙන් පිටතට ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීම හේතුවෙන් දුම්රියක් යොදා ගනිමින් ලොරිය පිටතට ගෙන තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *