මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක්

(13.02.2019 – 12:02 +0530 – lankadeepa.lk)

පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.

මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.

2016 වසරේදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා සමඟ දැඩි සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය ෴

++++++++++++++++++++++++

නාලකද සිල්වා , අමල් පෙරේරා සහ මාකඳුරේ මධුෂ් අතර සමීප සබඳතාවක්

(14.02.2019 – 03:14 +0530 – sinhala.adaderana.lk)

ප්‍රභූ ඝාතන චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර සමීප සබඳතාවක් පැවති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළේය.

එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණ කළේ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ නාලක ද සිල්වා අතර පැවති සබඳතා පිළිබඳ ජාත්‍යන්තර පොලීසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි.

මනුෂ්‍ය ඝාතන සහ කුඩු ජාවාරම් ඇතුළු අපරාධ රැසකට අදාළව මෙරට පොලීසියට අවශ්‍යව සිටින මාකඳුරේ මධුෂ් සහ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් පසුගිය 04 වනදා ඩුබායිහි ජුමෙයිරා මරීනා ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔවුන්ව මේ වනවිට බර් ඩුබායි පොලිස් ස්ථානයේ රඳවා සිටියි.

කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ මෙම පිරිස සම්බන්ධයෙන් වන විමර්ශන මේ වනවිට අවසන් කර තිබුණද ඔවුන්ව මේ වනතෙක් අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නැත.

කෙසේවෙතත් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අතර සමීප සබඳතාවයක් පැවතී ඇති බවට තොරතුරු අනාවරණ විය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අමල් පෙරේරා සහ නාලක සිල්වා අතර පැවති එම සබඳතා කුමන ස්වභාවයේ සබඳතාද යන්න විමර්ශනය කිරිමට ජාත්‍යන්තර පොලීසිය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මාකඳුරේ මධුෂ් සහ ගායක අමල් පෙරේරා සමඟ පසුගිය කාලයේදී නාලක ද සිල්වා සබඳතා පවත්වා ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවේ 2016 වසරේ ජුලි මස 21 වනදා ගායක අමල් පෙරේරා හිටපු නියෝජ පොලිස්පති නාලක සිල්වා මුණගැසීම සඳහා ඔහුගේ කාර්යාලයට පැමිණ ඇති අතර එහි සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයා කුමන කාරණයකට නාලක සිල්වා මහතා හමු වීමට යන්නේද යන්න අමල් පෙරේරාගෙන් විමසා ඇති බවයි.

ඉන් කෝපයට පත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා එම පොලිස් නිලධාරියාට එම අවස්ථාවේම විනය පරීක්ෂණයක් සිදුකර ඔහු පුහුණුවකට අනුයුක්ත කිරිම , දඩුවම් රාජකාරි පැනවීම සහ ගල්කිස්ස පොලිස් ස්ථානයට මාරු කිරිම යන දඩුවම් තුන ලබා දී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ නාලක ද සිල්වා සහ ගායක අමල් පෙරේරා අතර දැඩි සබඳතාවක් තිබී ඇති බවට කරුණු අණාවරණ වන බවයි.

එමෙන්ම ඔවුන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මාකඳුරේ මධුෂ් අතර තිබූ සබඳතාවය පිළිබඳවද මේ වනවිට විමර්ශණ සිදු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

එමෙන්ම ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඉන්දීය ජාතික මර්සිලින් තෝමස් නැමැත්තා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාගර ගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් කුමාර පළමුවරට සිදුකළ අනාවරණයේදීද ඔහු කියා සිටියේ එම ඝාතන කුමන්ත්‍රණය සඳහා අවශ්‍යනම් මාකඳුරේ මදූෂ්ගේ සහය ලබාගැනීමට වුවද තමාට හැකියාව ඇති බව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තමාට පැවසූ බවයි.

මේ අතර අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් නීතිය කඩකිරීම සම්බන්ධයෙන් ඩුබායි පොලීසියේ අත්අඩංගුවේ පසුවන 31 දෙනා සම්බන්ධයෙන් නීතීමය විමර්ශන සිදුවෙමින් සිටින බව එරට රජය දැනුම් දී ඇති බවයි.

එමෙන්ම ඩුබායි අත්අඩංගුවට පත්වී සිටින පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර මාකඳුරේ මඳුෂ් සමග අත්අඩංගුවට පත්වූ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඔවුන්ගේ පවුලේ නීතීඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පෙරේදා (12) රාත්‍රියේ ඩුබායි බලා පිටත් වී තිබෙ.

ඒ අනුව ශාබ්දික වෙල්ලප්පිලි මහතා අද දෙරණට සඳහන් කළේ තමන් අද බර් ඩුබායි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් සිදුකළ බවයි.

මේ අතර මධූෂ් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ට අයත් මාළිගාවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි මොහොමඩ් අස්වර් නමැති ඔහුගේ ගෝලයෙකු අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි මධූෂ්ගේ අනියම් බිරිඳගේ පුංචි අම්මාගේ නිවසේ තිබි වෑන් රථයක් හා ජීප් රථයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙන අතරඅ නියම් බිරිඳගේ මවගේ සහ බාප්පාගේ නමින් අදාළ වාහන දෙක ලියාපදිංචි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේය ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

“අමල් වෙනුවෙන් අපේ නීතිඥයෙක් ඩුබායි ගියා” අමල් පෙරේරාගේ පවුලෙන් අලුත් කතාවක් !

(13.02.2019 – nethgossip.lk)

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට මෙරටින් නීතිඥයෙකු පිටත්ව ගිය බව ජනප‍්‍රිය ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි. ඒ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි ය.

ඩුබායි අත්අඩංගුවේ සිටින තම සහෝදර අමල් පෙරේරා හා ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් අවශ්‍ය නීතිමය මැදිහත්වීම ඔහු විසින් සිදු කරනු ඇති බවද ඔහු සදහන් කරනවා. විදේශ අමාත්‍යංශය හරහා අවසර ලබා ගෙන ඔහු මෙලෙසින් ඩුබායි වෙත ගොස් තිබේ.

කෙසේ වෙතත් අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි වෙත මින්පෙර ගිය බවද වාර්තා වුනා.

++++++++++++++++++++++++

මදූෂ් ලංකාවට ගෙන ඒමට නීතිමය ගැටලුවක් – මදූෂ් ඩුබායි පැන ඇත්තේ ඒ බව දැන දැනමයි

(08.02.2019 – nethnews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ් මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශී‍්‍ර ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමක් නොමැති බැවිනි. ඒ අනුව දැඩි රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීමකින් තොරව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.

විදෙස් රටකදී අත්අඩංගුවට ගන්නා කිසියම් හෝ අපරාධකරුවෙකු ශී‍්‍ර ලංකාවට ලබාගැනීමේදී දෙරට අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට අත්සන් කර තිබීම වැදගත් කරුණක්. එහෙත් ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර එවැනි ගිවිසුමකට මෙතෙක් එළඹ නැහැ. කෙසේ වෙතත් 2008, 2009 කාලවකවානුවේදී අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමකට එළඹීමට ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කරමින් තිබුණා. ඒ, ජානක පි‍්‍රයන්ත බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේයි.

එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයක් පදනම් කර ගනිමින් අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුමක මෙම කරුණු ඇතුළත්ව තිබුණා. අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අමතරව අබුඩාබි තානාපති කාර්යාලයට හා අබෙල් අලි ප‍්‍රදේශයේ ජීවත් වන බෞද්ධ ජනතාව වෙනුවෙන් පන්සලක් ඉදිකිරීමට නිශ්චිත භූමියක් ලබාගැනීම යන කරුණුද ඔන් අරයිවල් වීසා ක‍්‍රමයක් පිළිබදවද එහි සදහන්ව තිබූ බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අදාළ සංචාරය සිදු නොවීමත් සමග එම ගිවිසුමට අත්සන් තැබුණේ නැහැ. එහෙත් එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන් අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම සිදු නොකළ බව වැඩිදුරටත් වාර්තා වනවා. එබැවින් අදටත් ඩුබායිහි සිටින අපරාධකරුවෙකු ශී‍්‍ර ලංකාවට ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජනයගත් මෙරට අපරාධකරුවන් බොහෝ දෙනෙකු සැගවී සිටීමට සුදුසු ස්ථානයක් ලෙස කලක පටන් තෝරාගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි ෴

+++++++++++++++++++++++++++++++++++++

FB > Priyantha Jayakody
February 12 at 5:21 PM ·

නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත
වෙනත් නම් :- මාකදුරේ මදූෂ්
ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය
උපන් දිනය :- 1979.02.24
ගැවසෙන තැන් :- ගාල්ල, මාතර, මීගමුව, ගම්පහ, මාවරල, මිනුවන්ගොඩ,
වාරියපොල.

මේ දිනවල සියළුම විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ ජාලා වෙබි අඩවි අරක් ගෙන ඉන්නේ මදූෂ් ගැන. දිනපතා ජාතික පුවත්පත් වල මුල් පිටුවේ සිරස්තලය සැරසෙන්නේ මදූෂ්ගේ නමින්. ඒක හරියට එක කාලයක් සක්විතිගේ මුදල් ආයෝජනය ගැන පිටු ගනන් දැන්වීම් පල කරලා මුදල් උපයාගෙන ඊට පස්සේ සක්විති මුදල් වංචා කිරීම ගැන තවත් සති ගානක් පත්තරවල සිරස්තල සරසවපු ජාතියේ වැඩක්.

මාකදුරේ මදූෂ් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ මම. ඒ 2005 ජුලි මාසේ 25 වන දින වාරියපොලදී ගිණි අවි 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදියි. ඒ අවස්ථාවේ ඔහුට විරුද්ධව මීගමුව, ගාල්ල ප්‍රදේශ වල ලීසිං සමාගම් 03 ක් ආයුධ සන්නද්ධව කොල්ලකෑම සම්බන්ධව චෝදනා එල්ල වුනා.

මදූෂ් අත්අඩංගුවට ගත්තේ පාන්දර යාමයේ වාර්යපොල ප්‍රදේශයේ වත්තක ගල් ගුහාවක සැගව සිටියදී. මෙම කොල්ලකෑම සිදු කල කණ්ඩායමේ මදූෂ් එක් සාමාජිකයෙක් පමණයි. 2005 දී අත්අඩංගුවට ගද්දි මදූෂ් සම්බන්ධ වෙලා හිටියේ අයුධ සන්නද්ධ කොල්ලකෑම් කිහිපයකට සහ මිනීමැරුම් 02 කට පමණයි. ඒත් මේ වන විට මදූෂ්ගේ අපරාධ ඉතිහාසය මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් 50 කට අධික සංඛ්‍යාවකගෙන් සමන්විතයි. මේ හැම එකකටම වැඩියෙන් ඔහු ප්‍රසිද්ධ ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීම සම්බන්ධවයි.

ඔහු සිය අපරාධ ජීවිතයේ කූඨප්‍රාප්තිය සටහන් කලේ 2016 විතර. එතකොට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ වන විට පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍ර.පො.ප. නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කිරීම හා පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ නම ඈදිලා තිබුනා. ඊට අමතරව දකුණු පළාතේ සේවය කල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට මදූෂ් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබෙනවා. මේ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවියක මාධ්‍යෙව්දියෙක් මගෙන් ප්‍රශ්න කලා. මම ඔහුට දුන්නේ මේ වගේ උත්තරයක්.

“මදූෂ් කියන්නේ තුන්වන පන්තියේ අපරාධකාරයෙක්.විශේෂයෙන් කොල්ලකරුවෙක්. 2005 දී මම ඔහුව කන් ගැට්ටෙන් අල්ලගෙන පොලීසියට ගෙනල්ලා උසාවි දැම්මා. කවදා හරි මදූෂ්ගේ ජිවිතය කෙළවර වෙන්නේ හිර ගෙදර. එහෙම නැත්තම් පොලීසිය අතින් මහ මගදී වෙඩි කාලා . එතකන් ටිකක් ඉවසන්න”

මෙම ප්‍රකාශය මුද්‍රිත, විද්‍යුත් මෙන්ම සමාජ ජාලා මාධ්‍ය වල ප්‍රචාරය වුනා. ඒ අද වෙනකම් මදූෂ්ගෙන් ඒ ගැන නම් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. සමහරු මගෙන් ඇහුවා තුන්වන පන්තියේ අපරාධකාරයෙක් කියලා කියන්නේ ඇයි කියලා. මම එහෙම කිව්වේ ඔහු කරන අපරාධ වල කෘරත්වය සලකලා නෙමෙයි. අපරාධකාරයෙක් වුනත් යම් කිසි මනුස්සත්වයක් හා සංයමයක් තියෙන්න ඕනේ. සමහර දරුණු අපරාධ වල නිරත අපරාධකරුවන් තුල පවා මනුස්සකම, සංයමයක් තිබුනා. ඒ නිසයි ඔවුන්ව පළවෙනි පන්තියේ අපරාධකරුවන් කියලා හදුන්වන්න පුළුවන්. ඔවුන් අපරාධකරුවන් වුනත් ඔවුන් තුල ඇති මනුස්සකම ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් “චීනා” වගේ අපරාධකරුවන් තුල මෙම තත්වය පැහැදිලිව තිබුනා. මම මීට පෙරත් මේ පිළිබදව මුහුණු පොතේ සදහන් කරා.

අපේ අපරාධ ඉතිහාසයේ සුප්‍රකට අපරාධකරුවන් රාශියක් ඉන්නවා. ඔවුන් අතර, “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, “චොප්පේ” ප්‍රසිද්ධයි. මේ අය හුග දෙනෙක් තමන්ගේ බාහු බල‍යෙන් අපරාධ ක්‍රියාවල යෙදුනු අය. ඔවුන් සෑම කෙනෙක්ම අපරාධකරුවන් වුනත් සමහරුන්ට ඔවුන් ජීවත් වුන සමාජය තුල විශාල ගෞරවයක්, සැලකීමක් ලැබුනා මේ ගැන ඕන තරම් අපි කතා අහලා තියෙනවා. උතුවන්කන්දේ සරදියෙල් සුද්දෝ හැදින්වුවේ අපරාධකරුවෙක් විදියට. ඒත් සාමාන්‍ය ජනයා අතර ඔහු වීරයෙක් වුනේ “ලංකා රොබින්හුඩ්” හැටියට.

ඒත් මදූෂ් වගේ කෙනෙක් ගැන එහෙම කතා කරන්න ඉඩක් තියෙනවාද ?. මදූෂ් සිදු කල මනුෂ්‍ය ඝාතන කිසිම එකකට ඔහු පැමිණ තිබුනේ නැහැ. ඒ හැම එකක්ම සිදු කලේ පසුබිමේ ඉදගෙන. කුඩු සල්ලිවලින් පාපතර කුලී මිනීමරුවන් ලවා මදූෂ් සිදු කල සුප්‍රකට ඝාතනයක් තමයි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභලයෙක් මෙන්ම දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය. මෙම ඝාතනය සදහා ඔහු භාවිතා කලේ වෙනත් වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි පලාගිය හුදා භටයෙකු වූ “කමාන්ඩෝ නිශ්ශංක” නැමැත්තායි. ඔහු දරුණු අපරාදකරුවෙක්. කුලී මිනිමරුවෙක්. මෙම අපරාධකරුව මදූෂ් ඇප තියලා එළියට අරගෙන තමයි මෙම අපරාධය ඔහු ලවා සිදු කෙරෙව්වේ.

“කමාන්ඩෝ නිශ්ශංක” මිනුවන්ගොඩ ප්‍රදේශයේ මා විසින් මෙහෙයවන ලද පොලිස් කණ්ඩායමක් සමග සිදු කල වෙඩි හුවමාරුවකදී මිය ගියා. මෙම සිද්ධියේ ඉදලා මදූෂ් සැලසුම් කරන සෑම අපරාධයක්ම සැළසුම් කරේ පසුබිමේ ඉදලා කුලී මිනීමරුවන් යොදවලයි. මෙවැනි අයෙකු තමයි තුන්වන පන්තියේ පාපතර අපරාධකරුවෙකු ලෙස හදුන්වන්න පුළුවන්. ඒ වගේම මදූෂ් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එව්වා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කළු සල්ලි වලින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කලා. යහළුවන්ට, දේශපාලඥයන්ට මෙන්ම පන්සල් පල්ලි වලටත් අත දිගහැරලා වියදම් කල බවට තොරතුරු තියෙනවා. මදූෂ් මෙරටට එවපු මත්ද්‍රව්‍ය භාවිතා කරලා විනාශ වුන හැම ජීවිතයකටම මෙම පාපතර අපරාධකරු වග කිවයුතුයි.

මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. පෙබරවාරී මාසේ 04 වෙනිදා වෙනකම් අපේ මාධ්‍යෙව්දීන් බහුතරයක් මදූෂ් ගැන ලිව්වේ ජාතික වීරයෙක් ගැන ලියන විදයට. ඔහු ගැන ලියවුනු ලිපි වලින් ඔහු වීරයෙක් කරා විතරකුත් නෙමෙයි ඔහුව අනුගමනය කිරීමට අපගේ තාරුණයන් අතර උත්තේජනයක් ඇති කලා. මදූෂ් වගේ අපරාධකරුවෙකු හමුවේ ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ මහමේරු පර්වතයක් වගේ නොසැලී ඉන්න සංවිධානයක්. නින්දා, ගැරහුම්, ප්‍රසංශා මේ හැම එකක්ම උපේක්ෂා සහගතව විදගන්න ශක්තිය තියෙන සංවිධානයක්. වසර 36 ක් වූ මගේ සේවා කාලය ඇතුලත “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, වගේ අපරාධකරුවන් සමග ගැටෙන්න පොලීසියට සිද්ද වුනා. ඒත් අද ඒ අපරාධකරුවන් කොහෙද ඉන්නේ කියන එක තීරණය කිරීම මෙම සටහන කියවන පාඨකයින්ට භාරයි. මදූෂ්ට අයිති වෙන්නෙත් ඒ ඉරනමම තමයි. ජීවිත දහස් ගානක් බිලිගත් සයිනයිඩ් සංස්කෘතිය හදුන්වාදුන් වේලු පිල්ලේ ප්‍රභාකරන් පවා අවසාන මොහොතේ දැල්වුනු ජීවත් වීමේ ආශාව දරාගෙන අවසානයේ අමුඩය පිටින් වෙල්ලමුල්ලි වයික්කාල්හි කඩොලාන අතරේ සැගවෙන තත්වයට පත්වුනා. ප්‍රභාකරන්ගේ ලගින්වත් තියන්න බැරි මදූෂ්ටත් අද වෙලා තියෙන්නේ ඒකම තමයි. මොන තරමි අපරාධ කලත්, මොන තරම් ජීවිත විනාශ කලත් හැම අපරාධකරුවෙක්ම විනාඩියක් හරි ජීවත් වෙන්න ආසයි. වැලිකතර චිත්‍රපටයේ ASP රන්දෙනිය හා ගෝරිං මුදලාලි අතර ඇතිවූ දෙබසකින් මම මෙම සටහන අවසාන කරනවා.

“උඹ ජීවත් වෙන්න ආසයි මිනිහෝ. උඹ බයගුල්ලෙක්, උඹ ආසයි උඹේ සල්ලි වලට, උඹේ කාර් වලට, උඹේ බලයට, ලස්සන මාලිගාවලට ඒ හින්දා තමයි උඹ මේ සේරම කරන්නේ. ගෑනියෙක්ට මුවා වෙලා වීරයෙක් වෙන්නේ නැතුව බැහැපන් යකෝ එළියට”.

නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත වෙනත් නම් :- මාකදුරේ මදූෂ්ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටියඋපන් දිනය :-…

Posted by Priyantha Jayakody on Tuesday, February 12, 2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *