ඊ.ටී.අයී.ගණුදෙනුව ගැන පරික්ෂණ ඇරඹේ – තැන්පත්කරුවන් සී.අයී.ඩී යට

(13.02.2019 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.

මීට පෙර තැන්පත්කරුවන්ගේ සංගමය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ඒ අනුවයි අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් කැඳවා තිබුණේ.

ඊ.ටී.අයි. ගණුදෙනුවට අදාළව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට මීට පෙර කැඳවා තිබුණා.

+++++++++++++++++++++++++++++++++++++

ETI ගනුදෙනුවේ ලයිකා මොබයිල් හෙළුව එළියට

(13.02.2019 – mawbima.lk)

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උප පාලිත සහ ආයෝජන වත්කම් විකිණීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 75 කට වීමට නියමිත වූ සමස්ත ගනුදෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ගනුදෙනුකාර ලයිකා මොබයිල් සමාගම නොගෙවීමට දරන කූට උත්සාහයට ශ්‍රී ලංකා මහ බැංකුවේද සහාය ලැබෙන බවට බරපතළ සැකයක් මතුව තිබේ.

එම ගනුදෙනුකාර සමාගම ස්වර්ණ මහල් මූල්‍ය සේවා පෞද්ගලික සමාගමට (Swarnamahal Financial Services Ltd) යෙදවීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 12 ක එකඟතාව ගැනද ශ්‍රී ලංකා මහ බැංකුවත් අදාළ ගනුදෙනුකාර සමාගමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත, උප පාලිත සහ ආයෝජන වත්කම් සම්බන්ධ ගනුදෙනුව එකී ගනුදෙනුකාර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක එකඟතාවක් යටතේ සිදු කිරීමට තිබූ බවත්, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 54 ක් ගෙවා අවසන් අතර ගෙවීමට පමා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක මුදල මේ මස තුළදී ගෙවා දමන බවට එම සමාගම දන්වා ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පුවත්පත් නිවේදනයක් මඟින් පවසා තිබිණි.

මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 54 ක් ගෙවා තිබේ නම් සමස්ත ගනුදෙනුවට අනුව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 21 කින් එම ගනුදෙනුකාර සමාගම ඉදිරි මස තුළදී ගෙවන්නේ ඩොලර් මිලියන 16 ක් නම් ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5 සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව සහ ගනුදෙනුකාර සමාගම දරන නිහඬ පිළිවෙතට හේතුව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.

එම සමස්ත ගනුදෙනුව වන ඇමෙරිකානු ඩොලර් මිලියන 75 න් ඩොලර් මිලියන 43 ක් ස්වර්ණ මහල් ජුවලර්ස්, ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය සහ ඊ.ඒ.පී. චිත්‍රපට ආයතනය වෙතත් ඇමෙරිකානු ඩොලර් මිලියන 27 ක් එදිරිසිංහ සමාගමේ දේපළ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක් ස්වර්ණ මහල් මූල්‍ය සේවා සමාගම සඳහාත් ගෙවීමට ගිවිසුම්ගතව ඇත.

එසේම අදාළ ලංසු තැබීම අවස්ථාවේදී ඉදිරිපත් වන ගැනුම්කරු බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් නම් සමාගම වන අතර ගනුදෙනුව සිදුවන අවස්ථාව අවසන් වෙද්දී ගනුදෙනුකාර සමාගම ලයිකා මොබයිල් සමාගම සතු පෙටිකෝ නම් සමාගම වෙත ඔවුන්ගේ කොටස් විකුණා අවසන් කර ඇති බවද වාර්තා වේ ෴

*****************************************

වාඩිවෙනවිට පුටුව අදින විහිළුවෙන් පරලොව ගිය අනිල්

(13.02.2019 – gossiplankanews.com)

පාසල් කාලයේ පන්තියේ මිතුරන් වාඩිවෙන්න හදන විට පුටුව ඇද ඔවුන් බිම වැට්ටීමේ විහිලුව කාලයක් තිස්සේ ලංකාවේ තිබෙන දෙයකි. මේ විහිලුව නිසා යම් යම් අපසුතාවයන්ට ලක්වුණත් කෙනෙකුට මරණය ඇති කරවන්න තරම් දුරදිග යාහැකි යයි බොහෝ අය සිතන්නෙ නැත.

මේ සිදුවීම පන්තියකදී නොව ප්‍රිය සාදකදී සිදුවූවකි. වලස්මුල්ල – කෝන්ගහවත්ත ප්‍රදේශයෙන් පසුගියදා මෙවැනි සිද්ධියක් වාර්තාවුණා.

මෙයින් මියගියේ අනිල් කුමාර නමැති වෘත්තියෙන් පෙදරේරුවෙකු වන 39 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහු පසුගිය වසරේ නොවැම්බර් 29 වැනි දින සිය මිතුරෙකුගේ දරුවෙකුගේ ඉඳුල් කටගෑමේ අවස්ථාව වෙනුවෙන් සංවිධානය කළ ප්‍රියසාදයකට එක්ව තිබෙන අතර තමන් අසුන් ගෙන සිටි ආසනයෙන් මොහොතකට නැගී සිටි අවස්ථාවේ පාසල් විහිළුව මතක්වූ මිතුරෙකු ඔහුගේ පුටුව පසෙකට ඇද තිබේ. එම අවස්ථාවේ අනිල් යළි අසුන් ගන්නට පහත්වෙද්දී බිම ඇදවැටී තිබෙයි.

එම අවස්ථාවේ අනිල්ගේ සිරුරේ ඇතිවූ වේදනාව නිසා ඔහු කටුවන දිසා රෝහලට ඇතුළත් කිරීමට ඥාතීන් කටයුතු කර තිබුණි.

නමුත් සුසුම්නාවට ඇතිවූ හානි නිසා ඔහ තරමක් බරපතල තත්වයට පත්ව ඇත. එම රෝහලෙන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල වෙත යොමුකරන අනිල් වෛද්‍ය නිර්දේශ මත කරාපිටිය ශික්ෂණ රෝහලටද ඇතුළත් කරන ලදි.

අනිල් කුමාරගේ සුෂුම්නාවේ ඉහළ කොටසේ බිඳීයාමක් සිදුවීම හේතුවෙන් ශරීරයේ ඉන්ද්‍රියන් අඩපන වෙමින් පවතින බව ඒ වනවිට නිරීක්ෂණයවී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාස දෙකකට වැඩි කාලයක් අඛණ්ඩවෙ ප්‍රතිකාර ලබේනට සිදුවූ අනිල් ඉකුත් 4 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තේය.

ඉඳුල් කටගෑමේ උත්සවයකට පැමිණි අයෙකු එම ස්‌ථානයේ ඉඳගැනීමට යැමේදී වෙනත් අයෙකු විසින් එම පුටුව පසුපසට ඇදීම හේතුවෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස්‌ ඇති බව කටුවන පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ කිරම කරමැටිය පදිංචිව සිටි එම්. අනිල් කුමාර නමැති 39 වියති විවාහක එක්‌දරු පියෙකි. ඔහුගේ බිරිඳගේ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත. කටුවන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *