මුලතිව් ගුරුකන්ද විහාරය පිහිටා ඇත්තේ වසර 2000 කට වඩා පැරණි බෞද්ධ නටබුන් සහිත භූමියක – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් උසාවියේදී කියයි

(13.02.2019 – divaina.com)

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරය පිහිටා ඇත්තේ වසර 2000 කට වඩා පැරණි සංඝාරාමයක් පැවති සහ තවමත් ශේෂව ඇති බෞද්ධ නටබුන්වලින් ගහන පුරාවිද්‍යා භූමියක බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ. බී. මණ්ඩාවල මහතා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී ඊයේ (12 දා) ප‍්‍රකාශ කළේය.

ගුරුකන්ද විහාරය පිහිටා ඇත්තේ හින්දු බැතිමතුන්ට අයත් භූමියක බව පවසමින් පසුගිය තෛපොංගල් දිනයේදී උතුරු පළාතේ දේශපාලනඥයන් ඇතුළු 200 ක පමණ පිරිසක් එහි කෝවිලක් ඉදිකිරීම සඳහා කැණීම් ආරම්භ කළහ.

එහිදී එම පිරිස සහ විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාව අතර ගැටුමක් ඇති වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මුලතිව් පොලිසිය විසින් මහජන සාමය කඩ කිරීමේ චෝදනාව මත පාර්ශ්ව දෙකටම එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

පසුගිය නඩු දිනයේදී සිදු කළ නියෝගයකට අනුව ඊයේ (12 දා) අධිකරණය හමුවේ පෙනී සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගුරුකන්ද විහාරය ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථානයක් සහ පුරාවිද්‍යා භූමියක් බව පැවසූ අතර එහි කෝවිලක් ඉදිකිරීම පිණිස කැණීම් කටයුතු සිදු කිරීම නීති විරෝධී කි‍්‍රයාවක් බව ද ප‍්‍රකාශ කළේය.

මෙහිදී ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හැළඹ මේධාලංකාරකිත්ති හිමියන් ප‍්‍රමුඛ දායක සභාව වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවල මහතා පෙනී සිටි අතර, මෙම මස 26 වන දින නඩුවට අදාළ නියෝගය ලබා දෙන බව මුලතිව් මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා ප‍්‍රකාශ කළේය ෴

*****************************************

ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව බි‍්‍රතාන්‍ය කරට ගනී

(13.02.2019 – divaina.com)

ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව ඇමෙරිකාව ගෙනා ජිනීවා යෝජනාව මින් ඉදිරියට බි‍්‍රතාන්‍ය රජය මගින් ඉදිරිපත් කරන බවට එරට රජය අනාවරණය කර ඇත. මේ බව බි‍්‍රතාන්‍ය රජය නිල වශයෙන් ඊයේ (12 වැනිදා) නිවේදනය කළේය. ඇමෙරිකානු රජය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා බි‍්‍රතාන්‍ය රජය ජිනීවා යෝජනාව ගෙන යෑමට මුල්වී ඇත.

මේ සඳහා ජර්මනිය, කැනඩාව, මැසිටෝනියා සහ මොන්ටිනියරෝ යන රටවල් ද තමන් සමග එක්වී ඇතැයි බි‍්‍රතාන්‍ය රජය තවදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

ශී‍්‍ර ලංකාවට එරෙහි මෙම යෝජනාව අහෝසි කරන ලෙස බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය රජයෙන් කළ ඉල්ලීම ද ප‍්‍රතික්‍ෂේප වී ඇති අතර මෙම ජිනීවා යෝජනාව මෙහෙයවීම බි‍්‍රතාන්‍යය භාර ගන්නා බව ජිනීවා නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

ශී‍්‍ර ලංකාවට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන 30 ක් ජිනීවා මාව හිමිකම් කවුන්සිලයට වාර්තා ඉදිරිපත් කර තිබේ.

– කීර්ති වර්ණකුලසූරිය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *