ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ

(11.09.2017 – 10:32 +0530 – lankadeepa.lk)

ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත.

අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 පමණ දුරින් පිහිටි පාලුමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක මෙම සෙල් ලිපිය කොටා ඇත. ‘පළමුවැනි ගජබා රජු කහවනු 5000 ක් වියදම් කර උපල විබජක පළාතේ මඩමනක වැව ථුපාරාමවාසී භික්ෂුන්ගේ සිවි පසය සදහා පරිත්‍යාග කළ වගයි‘ යනුවෙන් මෙම සෙල් ලිපියේ සටහන්ව තිබෙන බව මල්වතු මහා විහාර වාසී පුරාවිද්‍යා විශේෂවේදී මැද මහනුවර ධම්මසිරි හිමියෝ පැවසුහ.

මෙම වැව සහ ඒ යටතේ ඇති කුඹුරු යාය අස්වද්දවා ඉන් ලබා ගන්නා ධන ධාන්‍ය ථුපාරාම භික්ෂුන් වහන්සේලාට සිව්පසය සදහා ලබා දීම එසමයෙහි සිදුව ඇති බව මෙම සෙල් ලිපිය තහවුරු කරයි.

අදින් වසර 1800 ක් පමණ පැරණි ගාමිණී අබය (ගජබා) රජු – (ක්‍රි.ව.114-136) සමයේ කොටා ඇති මෙම සෙල් ලිපිය පේලි හයකින් සමන්විත වන අතර කොන්ක්‍රීට් බැම්ම ඒ මතින් ඉදිකිරීම හේතුවෙන් එහි පේලි 5ක් සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් බැම්මට යට වී තිබේ.

මෙම සෙල් ලිපිය දිගින් අඩි 8 කින් යුක්ත වන අතර අගල් 4 සිට 7 දක්වා උසකින් යුක්ත වේ.අගල් 2 සිට 5 දක්වා පුළුල් බවින් යුක්තව මෙහි අකුරු කොටා තිබේ. දෙවැනි ශතකයට අයත් අක්ෂර හා ඊට පැරණි අක්ෂර මෙම සෙල් ලිපියේ දක්නට ඇති බව ධම්මසිරි හිමියෝ පැවසුහ.

ථුපාරාමය පිළිබදව ග්‍රන්තයක් රචනා කරන මල්වතු විහාර වාසී මැද මහනුවර ධම්මසිරි හිමියන් පාලුමැකිච්චාව සෙල් ලිපිය පරික්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ මෙම සිදුවිම දැක ඒ පිළිබද තොරතුරු හෙලි කළහ.

‘මෙම සෙල් ලිපියේ තිබෙනවා පච සහසි කහවණ දරිය කියා. පච සහසි කියන්නේ පන් දහසට. එම මුදල (දරිය යන්නෙන් සදහන්ව ඇත්තේ) යොදවලා නැතිනම් වියදම් කරල තමයි මේ වැව ප්‍රතිසන්ස්කරණය කර තිබෙන්නේ. කහවනු කියන වචනෙට යටින් හතරට බෙදපු හතරැස් කොටුවක් තිබෙනවා. එම ලාංඡනයෙන් කියන්නෙ රිදී කහවනු 5000 ක් වියදම් කළ බවයි. මේ තරම් ඓතිහාසික වශයෙන් වැදගත් ශිලා ලේඛනයක් තමයි මේ කොන්ක්‍රීට් බදාමට යට කරල තිබෙන්නේ‘

‘ලංකාවේ පළමුවෙන්ම හදාපු චෛත්‍ය ගැන තොරතුරු කියැවෙන ආදිතම ශිලා ලේඛනයයි මේ පාලුමැකිච්චාව වැවේ පිට වානේ ගල් තලාව මත තිබෙන්නේ. මෙය ඉතිහාසයේ ලංකාවේ ගෞරවය බේරා ගත්ත රජ කෙනෙකුගේ ශිලා ලිපියක්. තමන්ගෙ තාත්තගෙ කාලෙ මේ රටට වෙච්ච අවනම්බුවෙන් රට බේර ගත්ත රජතුමාගේ ශිලා ලේඛනයක්. ගජබාහු රජුගේ මෙම සෙල් ලිපිය කොඩි දාලා ආරක්ෂා කළ යුතුයි. ඒ තරම් ප්‍රබල රටේ ගෞරවය රැකගත්ත රජනෙක් තමයි මෙම සෙල් ලිපියට අයිතිවාසිකම් කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන් මේවට වගකිව යුතුයි. සාමාන්‍යෙයන් මෙවැනි ඉදිකිරීමක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් ලැබිය යුතුමයි. නමුත් එවැනි අවසරයක් ලබාගෙන ඇති ද යන්න සොයා බැලිය යුතුව තිබෙනවා‘

‘මේ වගේ ජාතික අපරාධයක් සිදු කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ඊට සම්බන්ධ ආයතන මේ විනාශයට වගකිම යුතුයි‘ යැයි ද ධම්මසිරි හිමියෝ වැඩිදුරටත් පැවසුහ.




+++++++++++++++++++++++++++++

ථුපාරාම සෙල්ලිපිය වසා කොන්ක්‍රීට් දැමීම ගැන පුරාවිද්‍යාවෙන් පරීක්ෂණයක්
(11.09.2017 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ ලෙස සැලකෙන ථුපාරාමයේ නම සදහන් පාලූමැකිච්චාව සෙල් ලිපිය වසා දමා ඒ මතින් කොන්ක්‍රීට් බැම්මක් ඉදිකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සෙල් ලිපිය පිහිටා ඇත්තේ අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ පාලූමැකිච්චාව වැවේ පිට වානේ වාන් ගලක් මතයි.

වසර 1800 පමණ පැරණි එය ගාමිණි අභය රජු සමයේ නිර්මාණය කර ඇති බව සදහන්.

ඒ මතින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කොන්ක්‍රීට් බැම්මක් ඉදිකර ඇති අතර ඒ හේතුවෙන් සෙල් ලිපියේ පේලි 05 ක් ම කොන්ක්‍රීට් බැම්මට යටව ඇති බවයි හිරු වාර්තකරු සදහන් කලේ.

කෙසේ වෙතත් පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කළේ මෙවැනි පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානවල ඉදිකිරීම් කිරීමේදී ඒ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් විය යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *