මෙන්න ඇත්ත! – ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුද අපරාධ චෝදනා පිළිගනියි; හමුදා නිලධාරීන් 59 ක් අනතුරේ

(24.02.2019 – divaina.com)

  • හිටපු හමුදා ප‍්‍රධානී තිදෙනෙක් රජයේ ජිනීවා පිළිවෙත හෙළාදකී
  • යහපාලන රජය යටතේ හමුදා නිලධාරීන් 700 කට අධික පිරිසක් ගැන විමර්ශන
  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති උපදේශකවරිය සහ ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක්
  • හිටපු කොටි ත‍්‍රස්තයන් පිරිසක් සමඟ ස්විස් ලේකම්වරිය රහස් සාකච්ඡාවක් පවත්වයි
  • ද්‍රවිඩ සන්ධාන නියෝජිත පිරිසක් ජිනීවා යති
  • ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික යුක්තිය ජිනීවා න්‍යාය පත‍්‍රයේ

40 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය පෙබරවාරි 25 දා ආරම්භ වේ. රජය ජනපතිවරණයක් පවත්වා බලය ලබාගැනීමේ සිහිනයක් කෙරේ බලාපොරොත්තුව තබා තිබියදී විපක්‍ෂය පළාත් සභා මැතිවරණයෙන් ජය ලබාගැනීමේ අරමුණේ යෙදී සිටී. එහෙත් මේ කිසිදු පාර්ශ්වයක් ජිනීවා මානව හිමිකම් සමුළුව මෙහෙයවන මානව හිමිකම් කවුන්සිලය නමැති අසූචි වළේ ඒකපාක්‍ෂික කි‍්‍රයාපිළිවෙත ගැන අවධානය යොමුකිරීමට හෝ අභියෝග කිරීමට ඉදිරිපත් වී නැත.

එසේ වුවත් බි‍්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන යුද අපරාධ සිදුකළ රටවල් මෙවරද ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවක් ගෙන ඒමට එක්වී සිටිති.

එහෙත් නුඹලාගේ රටවල් සිදුකළ යුද අපරාධ ගැන පරීක්‍ෂණ කරන්නේ නම් අපිද ඒ ගැන පරීක්‍ෂණ කරනවා යැයි පැවැසීමට ශ‍්‍රී ලංකාවේ රජයට කොන්දක් නැත. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ ද ශ‍්‍රී ලංකාවට එරෙහිව සිදුවන්නේ කුමක්දැයි මෙරට දේශපාලන පාර්ශ්ව නොදනී. එහෙත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග එම කි‍්‍රයාදාමයන් හෙළිකළේ මෙවර බෙන් එමර්සන් සහ ජුවන් පැබ්ලෝ බොහොස්ලාවස්කී නමැති එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනා ශ‍්‍රී ලංකාවට එරෙහිව විමර්ශන වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. ඉන් ජුවන් එමර්සන්ට යහපාලන රජයේ අවසරය මත ශ‍්‍රී ලංකාවට පැමිණ රැඳවුම් භාරයේ සිටින මිනීමරු කොටි හමුවී ඔවුන්ගේ කටඋත්තර සටහන් කරගැනීමට ද අවසර ලැබුණි. අධිකරණ නිලධාරීන් පවා හමුවීමට ඔහු කි‍්‍රයාකළේය. ජුවන් පැබ්ලෝ මෙරටට පැමිණියේ රැඳවුම් භාරයේ සිටින කොටින්ට දුෂ්කරතා සිදුවී තිබේද සහ ත‍්‍රස්ත මර්ධන පනත අහෝසිකර ගැනීම සඳහා රජයට බලපෑම් කිරීමට බව තහවුරු විය.

එමර්සන් මෙරටට පැමිණ පොලිස් ස්ථාන, බූස්ස රැඳවුම්කඳවුර, ත‍්‍රස්ත මර්ධන ඒකකය, රහස් පොලිසිය, වැලිකඩ සිරගෙදර ත‍්‍රිකුණාමල නාවික කඳවුර ඇතුළු ආරක්‍ෂක කේන්ද්‍රස්ථානවලට ගොස් සෝදිසි කිරීමේ යෙදුණි. එහෙත් පැබ්ලෝ ආරක්‍ෂක කේන්ද්‍රස්ථාන විමර්ශනය කර ඇතැයි ජනාධිපතිවරයාට වාර්තාවූයේ ඒ බව ආරක්‍ෂක විශේෂාංගය මගින් හෙළිදරව් කිරීමෙන් පසුවය. එතෙක් ඔහු ළඟ සිටින විවිධාකාර උපදේශකයන් මෙන් එන්. ජී. ඕ කි‍්‍රයාකාරීන් බෙන් එමර්සන් මෙහෙයුම අනාවරණය කළේ නැත.

එමර්සන්ට මේ සඳහා අවසරදී තිබුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. යහපාලන රජය බිඳවැටීමත් සමගම ජනාධිපතිවරයා එම රජයේ ද්‍රෝහී කි‍්‍රයාමාර්ගයක් හෙළිදරව් කිරීමත් සමගම විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් නිහඬ විය.

බෙන් එමර්සන් සහ ජුවන් පැබ්ලෝ තම විමර්ශන වාර්තා දෙක පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරනු ලැබීය.

මින් එමර්සන්ගේ වාර්තාව සකස් වී තිබුණේ රැඳවුම් භාරයේ සිටින කොටි මිනීමරුවන් වෙනුවෙනි. එසේම ත‍්‍රස්ත මර්දන පනත තවදුරටත් කි‍්‍රයාත්මක වීම ගැන ඔහු රජයට චෝදනා කළේය.

එමර්සන්ගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වීමෙන් පසු වත්මන් ශ‍්‍රී ලංකා රජය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කර ත‍්‍රස්තවාදයට ප‍්‍රතිචාර දැක්වීමේ පනත කඩිනමින් ගෙනඒමට තීරණය කළේය.

එසේම මෙම නව පනත සඳහා සංශෝධන ඇතිකිරීම සඳහා රජය එන්. ජී. ඕ කි‍්‍රයාකාරීන්ට ද ඇරයුම් කරනු ලැබීය. 1979 වසරේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ආරම්භ කළ ත‍්‍රස්ත මර්දන පණත සඳහා එන්. ජී. ඕ කි‍්‍රයාකාරින්ගේ අදහස් විමසීමට කි‍්‍රයාකළේ නැත. මේ පසුබිම මැද යුද අපරාධකරුවන් පස්දෙනා සමඟ එකතුවී ශ‍්‍රී ලංකාවද මෙවර ජිනීවා යෝජනාව ඉදිරිපත් කරන බව ජිනීවා නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. මේ යෝජනාව තුළින් ශ‍්‍රී ලංකාවට ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ කාලය දීර්ඝ කෙරේ.

මේ අතර බෙන් එමර්සන් සිය වාර්තාවෙන් රැඳවුම් භාරයේ සිටින්නේ මිනීමරු කොටින් බව ප‍්‍රකාශ කර නැත. ඔහු කොටි ත‍්‍රස්තයන් හඳුන්වා ඇතතේ සිරකරුවන් ලෙසිනි.

නිර්දේශ 22 ක් ඇති මේ වාර්තාවෙන් බෙන් එමර්සන් දක්වා ඇත්තේ උතුරින් හමුදාව ඉවත් කිරීම, ආරක්‍ෂක හමුදාව පාලනය කිරීම, සිවිල් නිලධාරියකුට පැවරීම කොටි කි‍්‍රයාකාරීන් ලබාදුන් පාපොච්චාරණ ප‍්‍රතික්‍ෂේප කිරීම යන කරුණු ඉටුකළ යුතු බවයි. මේ නිසා එමර්සන් මේ වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ රැඳවුම් භාරයේ සිටින කොටි බේරාගැනීම සඳහා බව සනාථ විය.

මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහ විසින් කෙටුම්පත් කර ඇති ශ‍්‍රී ලංකාවට එරෙහි අළුත්ම යෝජනාව මුලින්ම ලැබෙන්නේ රජයට එරෙහි රාජ්‍ය නොවන සංවිධානවලට බව අනාවරණය වී ඇත.

එසේම මෑතකදී පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශයක් කරමින් මානව හිමිකම් කවුන්සිලය වෙත ශ‍්‍රී ලංකාව ලබාදුන් ප‍්‍රතිඥා ඉටුකිරීමට කි‍්‍රයා නොකළහොත් ශ‍්‍රී ලංකාව අන්තර්ජාතික අධිකරණය වෙතට යොමුකරන බවට තර්ජනය කර තිබේ.

ඒ කොටි ඩයස්පෝරාව ඉදිරිපත් කළ අත්සන් 10000 ක පෙත්සමට ප‍්‍රතිචාරයක් ලෙසිනි.

එසේ වුවත් වත්මන් ශ‍්‍රී ලංකා රජය මේ සෑම තර්ජනයකටම හිස නමා ඇත. ඒ බව තහවුරු වන්නේ රජය දකුණු අපි‍්‍රකාවේ මෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීමට ඉදිරිපත් වීමයි. මෙය රජය 2015 දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබාදුන් පොරොන්දුවකි.

මෙම සත්‍ය සෙවීමේ කොමිසමෙන් සිදුවන්නේ කුමක්ද? එම කොමිසම වෙත යුද අපරාධ චෝදනා ලත් හමුදා නිලධාරීන්ට ඉදිරිපත්වී පාපොච්චාරණය කළ හැකිවේ. එහෙත් එම පාපොච්චාරණ මත ඔවුන්ට දඬුවම් නොකෙරෙන බව රජය කියා සිටියි.

එසේ වුවත් පුනරුත්ථාපනය වූ කොටි 12,000 ක් මේ සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ පාපොච්චාරණ සිදුකරනු ඇතැයි කිවහැකිද? එම කොමිසම ස්ථාපිත කළ විගස විදේශ රටවල සිටින මිනීමරු කොටි ද කොමිසම හමුවට පැමිණෙනු ඇතැයි සිතිය හැකිද?

මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් ඇතුළු කණ්ඩායමක් ජිනීවාහි පැවැත්වෙන 40 වැනි මානව හිමිකම් සමුළුවට සහභාගිවීම සඳහා ස්විට්සර්ලන්තයට යාමට සැලසුම් කර ඇත. ඒ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව ගතු කීමට සහ රැඳවුම් භාරයේ සිටින කොටි මිනීමරුවන් මෙතෙක් නිදහස් නොකිරීම සහ 100,000 කට අධික හමුදා සේනාංකයක් උතුරේ සිටින බවට මානව හිමිකම් බලධාරීන්ට පැමිණිලි කිරීමටයි.

ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාවට කල්දීමට බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් පහක් අලුතින් යෝජනාවක් ගෙන ඒමට සූදානම් වීම ගැනද ද්‍රවිඩ සන්ධානයට වාර්තා වී තිබුණි.

මෙලෙස ශ‍්‍රී ලංකා හමුදාවට චෝදනා නගන ශ‍්‍රීධරන් කවුද? ඔහු උතුරේ ඝාතන රැසකට සම්බන්ධ යාපනයේ කොටි හමුදා නායක තීපන්ගේ මස්සිනායි. එහෙත් තීපන්ගේ යුද අපරාධ සියල්ල අද වසන්වී ඇත. පසුගිය සඳුදා යාපනයේ පැවැති රැස්වීමක් ඇමතූ ශ‍්‍රීධරන් ශ‍්‍රී ලංකාවේ බහුතරය වන සිංහලයන් විසින් ද්‍රවිඩයන්ව මර්දනය කරගෙන සිටින අතර සංහිඳියා කි‍්‍රයාමාර්ගය ආරම්භ කළ යුත්තේ සිංහලයන් බවත් කීවේය.

ලබන මාර්තු 20 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව පිළිබඳ නිරීක්‍ෂණය කරන බව පැවසූ ශ‍්‍රීධරන් ශ‍්‍රී ලංකා රජය සෑමවිටම අලූත් පිළිවෙතක් දියත් කළ නොහැකි බව පළකළේය.

ශ‍්‍රීධරන්ට සමානව පසුගිය සෙනසුරාදා නල්ලූර්හිදී තරුණ සමුළුවක් ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් මෙලෙස කීවේය :

‘‘යුද්ධයේ අවසාන අදියරේදී ජාත්‍යන්තර අපරාධ සිදුවුණා. ඒ බව වසන් කළ නොහැකියි. සැඟවීමට ද හැකියාවක් නැහැ. එම අපරාධ අමතක කිරීමට ද බැහැ. මේ අතර පසුගිය සිකුරාදා රටේ අගමැති නිලවශයෙන් පැවසුවේ දෙපාර්ශ්වය ඊට සම්බන්ධ බවයි. මේ බව පැවසීමට වසර 10 ක් ගතවුණා. අගමැති මෙවන් ප‍්‍රකාශයක් කළේ ඇයි?. ඒ ගැන සිතන්න 2010 මාර්තු 26 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කළා. යුරෝපා සංගමය ද යෝජනාවක් ඉදිරිපත් කරමින් යුද අපරාධ ගැන විමර්ශනය කළ යුතු බව පැවසුවා. මේ තත්ත්වය මත අගමැතිට වසර 10 කට පසු යුද අපරාධ ගැන පැවැසීමට සිදුවුණා. මේ නිසා යුද විරුවන්ට යුද අපරාධ ගැන පිළිගැනීමට සිදුවුණා.’’

මෙලෙස ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට එල්ලවූ චෝදනාවෙන් වරදකරුවන් කිරීමට ශ‍්‍රීධරන් සහ සුමන්තිරන් දැඩි උත්සාහයක යෙදෙන අවස්ථාවේ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන් ද ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ කරුණු දැක්වීමට ඉදිරිපත් වී ඇත.

ඔහු යාපනයේ පැවැති රැස්වීමක් අමතමින් ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කිරීම ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තුගැන්වීම සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාව ද්‍රවිඩ දේශපාලකයන් සහ උතුරු නැගෙනහිර නීතිවේදීන් එක්ව කි‍්‍රයාකළ යුතු බව කියා සිටියේය.

තමා උතුරු පළාත් සභාවේ මහඇමැති ලෙස කටයුතු කරන අවස්ථාවේ ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය වූ බවට දැක්වෙන යෝජනාවක් සම්මත කර එය මානව හිමිකම් කවුන්සිලයට යැවූ බවද විග්නේශ්වරන් තවදුරටත් පළකළේය.

මෙලෙස කොටි රූකඩය සහ විග්නේශ්වරන් ඇතුළු පාර්ශ්ව ජිනීවා ගොස් ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ මෙහෙයුම දියත් කිරීමට පෙර ස්විට්සර්ලන්ත ප‍්‍රධාන ලේකම්වරිය වූ කිසෙල් සිසේල්ස් යාපනයේ හෝටලයකදී හිටපු කොටි අපරාධකරුවන් පිරිසක් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඩිමෝක‍්‍රටිස් පාට් නමින් පක්‍ෂයක් පිහිටුවාගෙන සිටින මේ හිටපු කොටි මිනීමරුවන් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ පොට්ටුඅම්මාන් නමැති කොටි බුද්ධි ප‍්‍රධානියාගේ සමීපතම සගයකු වූ තේතුල්සි නමැත්තාය.

එහෙත් ස්විස් ලේකම්වරිය හිටපු කොටි හමුවූයේ කුමකටදැයි රජය නිරීක්‍ෂණය කළේ නැත. යුද අපරාධ සිදුකළ මෙම කොටි උතුරේදී ප‍්‍රකාශයක් කරමින් යුද අපරාධ ගැන තමන් සාක්කි දීමට සූදානම් බවද කියා සිටියේය.

‘‘යුධ අපරාධ ගැන විමර්ශනයක් සිදුවන්නේ නම් අප ඊට ඉදිරිපත්වී සාක්‍ෂි දීමට සූදානම්. එම විමර්ශනය ජාත්‍යන්තර විමර්ශනයක් විය යුතුයි. සිංහල රජා මිනීමැරීම් සිදුකරනවා. දශක පහ තුළ ද්‍රවිඩ ජනතාවට එරෙහිව සමූලඝාතන සිදුකළා’’ යැයි හිටපු කොටි කණ්ඩායම තවදුරටත් ප‍්‍රකාශ කර ඇත.

මේ අතර නල්ලූර්හි තමිල් මක්කල් කුවානිල් නමින් පක්‍ෂයක් පිහිටුවාගත් සී. විග්නේශ්වරන් යුද අපරාධ සිදුවූ බවට රජය විමර්ශනයක් ආරම්භ කළහොත් රජයට සමාව දිය හැකි බව පළකළේය. අතීතයේ සිදුවූ වැරදි අමතක කර සමාව දෙන ලෙස අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇති බවද විග්නේශ්වරන් තවදුරටත් සඳහන් කළේය.

මෙවන් පසුබිමක් මැද මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් බවට චෝදනා කළ ඇමරිකානු රජය ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව පසුබිමේ තවදුරටත් සිටින බව මෙරට ඇමරිකානු තානාපතිනිය මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියන් දෙදෙනා හමුවී රහස් සාකච්ඡාවක් පැවැත්වීමෙන් තහවුරු විය.

ජියෝජරට් ගැග්නන් සහ මෝනා රිශ්මාවි යන නිලධාරිනියන් දෙදෙනා ඇමරිකානු තානාපතිනිය හමුවී සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් හෙළිවී නැත. එහෙත් ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික යුක්තිය ඇතිකිරීම ජිනීවා මානව හිමිකම් න්‍යාය පත‍්‍රයට ඇතුළත්වී ඇති බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් පසුගිය සතියේ ජිනීවාහි පැවැති රැස්වීමක් අමතා ප‍්‍රකාශ කර තිබේ.

ඇගේ මේ ප‍්‍රකාශයට ශ‍්‍රී ලංකාව මෙතෙක් අභියෝග කර නොමැත. එසේම මානව හිමිකම් කොමසාරිස්වරියගේ නියෝජිතවරියන් දෙදෙනා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හෝ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ හමුවී සාකච්ඡා කර නැතත් විපක්‍ෂ නායක ධුරය අහිමි වූ ද්‍රවිඩ සන්ධාන නායකයන් මුණගැසී සාකච්ඡා කර ඇත.

මේ අතර යුද්ධයේදී කොටි සහ හමුදාව යන දෙපාර්ශ්වයම වැරදි කි‍්‍රයා සිදුකර ඇති බවට අගමැතිවරයා කළ ප‍්‍රකාශය කොටි ඩයස්පෝරාව වෙත වාර්තා විය. මේ ප‍්‍රකාශය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ප‍්‍රයෝජන ගැනීමට ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සැලසුම් කර ඇත.

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද වැරදීමකින් යුද විරුවන් යුද අපරාධ සිදුකර ඇති බව පැවසුවේ යැයි ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් ප‍්‍රකාශ කර ඇත.

මේ අන්දමේ තොරතුරු හෙළිවන අවස්ථාවේ ඉන්දු කාශ්මීරයේ යුද අපරාධ සිදුකළ බවට ඉදිරිපත් වූ විමර්ශන වාර්තාව පිළිබඳව බි‍්‍රතාන්‍යය විසින් ඉන්දියාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර නැත.

මේ වාර්තාව ඉන්දීය රජය ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය. එහෙත් ශ‍්‍රී ලංකාවේ රජය තම හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ප‍්‍රතික්‍ෂේප කිරීමට කි‍්‍රයාකර නැත.

ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයකු ලෙසද මෑතකදී පත්වී තිබේ.

මේ පසුබිම මැද ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කෙරෙන විමර්ශන වාර්තාව පිළිබඳව ඉන්දියාව කුමන පිළිවෙතක් අනුගමනය කරන්නේද යන්න අවධාරණයට ලක්විය යුතුය.

2018 ජුනි 14 දා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් කාශ්මීරයේ මානව හිමිකම් තත්ත්වය මැයෙන් ප‍්‍රකාශයට පත්කළ වාර්තාව ගැන මේ දක්වාම පියවරක් ගැනීමට එම කාර්යාලය කි‍්‍රයාකර නැත.

එසේම වධහිංසාව පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අත්සන් කිරීමටද ඉන්දීය රජය මෙතෙක් කි‍්‍රයාකර නොමැත. මේ හැර ගතවූ වසර 28 තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු සිවිල් අධිකරණයක් හමුවේ නඩු විභාග කිරීමට ද ඉන්දීය රජය ඉඩදී නැතැයි හෙළි විය.

මෙම මානව හිමිකම් වාර්තාව ගැන ඉන්දියාව වැඩිදුරටත් පැවැසුවේ එකී වාර්තාවෙන් ඉන්දියාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බවයි.

මේ තත්ත්වය මත ඉන්දියාවට එරෙහි කාශ්මීර වාර්තාව මානව හිමිකම් කවුන්සිලය තුළ විවාදයට ගැනීමටද ඉන්දීය රජය සාර්ථකව නතර කර ඇත. ඉන්දියාවට එරෙහි මේ වාර්තාව ගැන හිටපු පුවත්පත් කතුවරයකු වූ සෙනාර් ගුප්තා පැවසුවේ මේ වාර්තාව තක්කඩි වැඩක් බවය. මේ වාර්තාව මළ වාර්තාවක් බවද ඔහු කියා සිටියේය.

එහෙත් ශ‍්‍රී ලංකාවේ වත්මන් රජය බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහ ඉදිරිපත් කිරීමට යෝජිත අලුත් ජිනීවා යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීමට කි‍්‍රයාකර නැත.

මේ අතර වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ හමුදා නිලධාරීන්ගෙන් පාපොච්චාරණ ලබාගැනීමට සත්‍ය සෙවීමේ කොමිසමට අනුමැතිය දීමට පෙර ජනාධිපතිවරයා ඒ ගැන නිරීක්‍ෂණය කිරීමට කාලසීමාවක් ඉල්ලා ඇතැයි වාර්තා විය.

මෙම සත්‍ය සෙවීමේ කොමිසමට අදාළ කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැතිවරයායි. එහෙත් එම කොමිසම පිළිගැනීමට ද්‍රවිඩ සන්ධානය එකඟ වී නැත.

මෙවන් පසුබිමක් මැද 2009 සිට අද වනතෙක් කොටි සංවිධානය සිදුකළ යුද අපරාධ ගැන කිසිදු වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කිසිදු එන්.ජී. ඕ සංවිධානයක් කි‍්‍රයාකර නැතැයි හෙළි විය.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක කමිටුවල මේ සතියේ ද ශ‍්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභාකරමින් වාර්තා 12 ක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය.

මෙම විධායක කමිටුවේ සභිකයන් පිරිසක් පසුගියදා විදේශ ඇමැති තිලක් මාරපන සමඟ පැවැති සාකච්ඡාවේදී යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දී රණවිරුවන් නිර්දෝෂී කළ යුතු යයි පවසනු ලැබුවත් රජය මෙතෙක් ඉල්ලීම ඉටුකර නැත.

මේ නිසා ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ එක්සත් රාජධානියේ ශාඛාවේ ලේකම් ජයරාජ් පලිහවඩනගේ මෙහෙයවීම යටතේ එකී විමර්ශන වාර්තා මානව හිමිකම් බලධාරීන්ට ඉදිරිපත් කෙරුණි.

මෙයට සමගාමීව ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත හදිසි සංදේශයක් යවමින් නාවික නිලධාරීන් 11 කට නඩු පැවරීමෙන් වළකින ලෙසත් බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවේ ඊනියා අවශ්‍යතා ඉටුකිරීම සඳහා රජයට ඉඩ නොදෙන ලෙසත් ඉල්ලා ඇත.

මේ අතර ශ‍්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට රජය පිළිගැනීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන් 59 දෙනා පාවාදී ඇති බව සනාථ වේ. මෙතෙක් ලොව කිසිදු රටක් තම හමුදාව යුද අපරාධ සිදුකළ බව පිළිගෙන නැත.

එහෙත් ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් නල්ලූර්හිදී රජය යුධ අපරාධ චෝදනා පිළිගත් බව ප‍්‍රකාශ කිරීමෙන් තම හමුදාවට යුද අපරාධ සිදුකළ බව පිළිගත් ලොව එකම රට ලෙස ශ‍්‍රී ලංකාව පත්විය.

එහෙත් කොටි ඩයස්පෝරාව සහ ද්‍රවිඩ සන්ධානය කොටි විසින් යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන නැත.

මේ අතර යහපාලන රජය සහ වත්මන් රජය යටතේ ශ‍්‍රී ලංකා හමුදාව මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය හෙළා දැකීමට හිටපු හමුදා ප‍්‍රධානී තිදෙනෙක් ඉදිරිපත් වූහ. ඒ දයාරත්නායක, රොහාන් ගුණතිලක සහ තිසර වීරසිංහයි. ශ‍්‍රී ලංකා හමුදාව මුහුණ දුන්නේ දරුණු ත‍්‍රස්තවාදීන් පිරිසකට බවත් එහෙත් වන්නි මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ලවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් ඔවුහු කියා සිටියහ. මේ නිසා ජනාධිපතිවරයා මේ ගැන අවධානය යොමුකර ඊට මැදිහත්විය යුතු බවද එම හමුදා ප‍්‍රධානීහු පළ කළහ. ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධකර නැති බව ඔවුහු අවධාරණයෙන් කියා සිටියහ. මෙහිදී හෙළිවූයේ හමුදා නිලධාරීන් 67 ක් සහ අනෙකුත් තනතුරු දැරූ 637 ගැන විමර්ශන පවත්වා ඇති අතර හමුදා සහ නායක නිලධාරීන් 7 ක් තවමත් අත්අඩංගුවේ පසුවන බවයි. මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන් යුද අපරාධ අමතක කළ නොහැකි බව පවසා ඇත. එහෙත් කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානයද යුද අපරාධ වලට වගකිවයුතු බව රජයටද අමතක වී ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *