රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ තවත් තොරතුරු හෙළි වෙයි

(26.02.2019 – 06:58 +0530 – sinhala.adaderana.lk)

රත්ගම, බුස්සේ දී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වළස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් කැබ් රථයක් බවයි.

අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව පැහැදිලි කරමින් පොලිස් අධිකාරීවරයා මෙම තොරතුරු පැවසීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පසුගියදා පොලිස්පතිවරයා නියෝග කරනු ලැබීය.

කෙසේවෙතත් එම නිලධාරින් 15 දෙනාගෙන් හය දෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවල ප්‍රදේශයේ පිහිටි ඉඩමක දේපලවලට අලාභ හානී කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස් දෙනෙකු නිදහස් කරගැනීම සඳහා මෙම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය ෴

++++++++++++++++++++++++

රත්ගම ඝාතන සිද්ධිය-දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනි අවි සේප්පුව මුද්‍රා තබයි

(26.02.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk)

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සේවය කරන දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනි අවි සහිත සේප්පුවට ඊයේ(25) මුද්‍රා තබා තිබේ.

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ගයන්ග මාරපන මහතා අද දෙරණට සඳහන් කළේ ගිනි අවි සේප්පුවට මුද්‍රා තැබීමෙන් අනතුරුව එහි ආරක්ෂාව සඳහා මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවයි.

පැහැරගැනීමට ලක් වූ රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර ඇති බව හෙළි වූයේ ඉකුත් 22 වැනිදායි.

ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සැකපිට අත්අඩංගුවටද ගැනුණි.

එහි තවදුරටත් සිදුකෙරුණු විමර්ශන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිණි අවි ගබඩාවට ඊයේ මුද්‍රා තබනු ලැබුවේය.

ගිනිඅවි සේප්පුව මුද්‍රා තැබීමෙන් අනතුරුව පැය 24 ක විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති අතර ඒ සදහා මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු යෙදවූ බව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනයට ගිනි අවි යොදාගෙන ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ.

එසේ වුවද දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිණි අවි ගබඩාවේ අවි පිළිබදව සැකයක් මතුවුවහොත් අදාළ ගිනි අවි වැඩි දුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

ඒ අතර අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනයෙන් අනතුරුව වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයට ගෙනවිත් පුළුස්සා දැමූ බවට සැක කෙරෙන ස්ථානයට ආසන්නයේ තිබී තවත් අස්ථි කොටස් කිහිපයක් අද සොයා ගැණුණි.

වලස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ අස්ථි කොටස් කිහිපය රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙවන් පසුබිමක අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර එම මෘත ශරීර වලස්මුල්ල රක්ෂිතය වෙත රැගෙන යන ලද කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සොයා ගෙන තිබේ.

මේ අතර ඝාතනය කෙරුණු එක් ව්‍යාපාරිකයකු වන මංජුල අසේලගේ මව්පියන් රත්ගම පොලිසිය විසින් කරන ලද කැඳවීමකට අනුව රත්ගම පොලිස් ස්ථානයට අද දහවල් පැමිණියේය.

එහිදී ඉකුත් 23 වෙනිදා පැවැති උද්ඝෝෂණය අතරතුර කප්පම් ඉල්ලා ලැබුණු දුරකතන ඇමතුම සම්බන්ධයෙන් සහ ඊට පෙරදින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ මංජුලගේ පියාගේ දුරකතන අංකය විමසීම සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

ඉන් අනතුරුව ඔවුන් අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව ගාල්ල පොලිසිය වෙත ගිය අතර එහිදීද අදාළ කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බව ඔවුන් සඳහන් කළේය ෴

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *