බැඳුම්කර වංචාවේ මහ හොරුන් තවමත් නිදැල්ලේ – මහින්දානන්ද අලුත්ගමගේ

(27.02.2019 – mawbima.lk)

වත්මන් ආණ්ඩුව යහපාලනය මුවාවෙන් ලංකා ඉතිහාසයේ සිදුකළ විශාලතම මූල්‍ය වංචාව වන බැඳුම්කර වංචාව සිදුකර 26 වැනිදාට වසර 4 ක් ගතවුවද ඒ ගැන කිසිම නඩුවක් ගොනුකර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

අගමැතිවරයා, ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරයාගේ අනුග්‍රහය මත සිදුකළ මෙම වංචාවෙන් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 1000 ක් බවද මන්ත්‍රිවරයා කීවේය.

වසර හතරක් ගතවුවද එම විශාලතම මූල්‍ය වංචාවේ ප්‍රධාන චූදිතයා වූ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුව අද වනතුරුත් ජාත්‍යන්තර පොලිසියේ කිසිම සහායක් නොගත් බවද හෙතෙම කීවේය.

එහිදී වැඩිදුරටත් අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය :

‘‘බැඳුම්කර වංචාව සිදුවෙලා 26 වැනිදාට වසර 4ක් සම්පූර්ණ වෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් අගමැතිතුමාගේ ඇමැතිවරුන්ගේ සහ හිටපු මහ බැංකු අධිපතිගේ සහායෙන් තමයි ලංකා ඉතිහාසයේ විශාලතම මෙම මූල්‍ය වංචාව වුණේ. එහි පාඩුව බිලියන 1000යි. එහෙමත් නැත්නම් ට්‍රිලියනයයි.

වත්මන් ආණ්ඩුව පසුගිය මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ට මේ මගඩිය නිසා ගත්තු සල්ලි තමයි දුන්නේ. ඒ මුදල්වලින් තමයි ඒ අය ඡන්ද ප්‍රචාරක වැඩ කළේ. 26 වැනිදාට අවුරුදු 4ක් පිරුණා මේ කොල්ලයට. හැබැයි අද වෙනකම් නඩුවක් දාලා නෑ.

ලංකා ඉතිහාසයේ කෝප් කමිටු සාමාජිකයන්ටත් පගාව දීපු කොල්ලය තමයි මේක. මේක ගැන කෝප් කමිටුවේ කතා කරපු වෙලාවේ ඒකෙන් ගලවගන්න එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පගාව දුන්නා. දීල ඒ අය ලවා කෝප් වාර්තාවට ෆුට් නෝට් දැම්මා.

මෙහි ප්‍රධාන චූදිතයා වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් මේ මගඩිය කරලා අවුරුදු 1 1/2ක් ලංකාවේ හිටියා. කිසිම නඩුවක් නෑ. අඩුම තරමේ උසාවියට ‘ඕ’ වාර්තාවක්වත් නෑ. හැබැයි සිංගප්පූරුවට පැනල ගියාම ‘ඕ’ වාර්තාවක් දැම්මා. දැන් ඔහු සිංගප්පූරුවෙ ඉන්නවා කියල දන්නවා.’’

*****************************************

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත සම්මත කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට පාර කැපීමක්

(27.02.2019 – mawbima.lk)

ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමට පාර කපමින් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත සම්මත කර ගැනීමට මාන බලමින් සිටින බවත් ඒ මඟින් නියම ත්‍රස්තවාදයට රැකවල් සැපයෙන අතරතුර ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට මෙන්ම සියලුම මාධ්‍යවලට දැඩි මර්දනකාරී පා පහරක් එල්ල වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (26 දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මහාචාර්යවරයා එහිදී මෙසේද පැවැසීය :

මුළු රටම සියලු අංශවලින් පීඩාවට පත්ව සිටින මෙවන් අවධියක ආණ්ඩුව මහ පරිමාණයේ මර්දනයක් සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළකට අවතීරණ වෙමිනුයි සිටින්නේ. පවතින ගැටලු සඳහා ජනතාවට ඇති උද්ඝෝෂණය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී, නීත්‍යනුකූල අයිතිය හිර කිරීමට ආණ්ඩුව දැවැන්ත උත්සාහයක නියැළෙමින් සිටින්නේ. ඊට පාවිච්චි කරන්න යන ප්‍රධාන යාන්ත්‍රණය තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. මෙය අතිශයින් භයානක පනතක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් ගේන මේ පනතෙන් වෙන්නේ ත්‍රස්තවාදයට පුදුමාකාර විදියේ බුරුලක් ලබාදීම.

අත්‍යවශ්‍ය සේවාවලට හෝ සැපයුම්වලට බාධා හෝ හානි සිදු කිරීමෙන් ඒ යටතේ ත්‍රස්තාවාදී ක්‍රියාවක් වෙනවා. රජයට හැකියාවක් බලයක් තියෙනවා ඕනෑම වෙලාවක අවශ්‍ය සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට. බස්, දුම්රිය, ජලය, විදුලි බලය, සන්නිවේදනය ආදී මේ අංශ රජයට ඕනෑ වෙලාවක අත්‍යවශ්‍ය සේවා හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පනත සම්මත වූ විට එවැන්නකට සිදුවන බාධා කිරීමකදී දණ්ඩ නීති සංග්‍රහය නෙවෙයි ක්‍රියාත්මක වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි.

මහජනතාවගේ හෝ ඉන් යම් කොටසකගේ සෞඛ්‍යයට යම් බරපතළ අවදානමක් ඇතිවීමේදීත් මේ පනත බල පවත්වනවා.

වෙන කාටත් වඩා මේක බලපාන්නේ මාධ්‍යට. මෙහි 10 වැනි වගන්තියට අනුව යම් තොරතුරු මහජනතාවට හිතා මතා හෝ නීත්‍යනුකූල නොවන ආකාරයට බෙදා හැරීම, තොරතුරු සැපයීමේ අරමුණින් යම් රහස්‍ය තොරතුරු රැස්කිරීම, වෙනත් අයකුට සැපයීම මේ පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා බවට පත්වෙනවා. ජනමාධ්‍ය දෛනික වශයෙන් කරන්නෙත් තොරතුරු රැස්කිරීමයි.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා :

අධ්‍යාපනයට 6% ක් දියව් කියලා උද්ඝෝෂණය කළ අය අද කෝ. අපේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය පෝෂණය කරලා සුරක්ෂිත කරන කොට ඔවුන් පාරේ හිටියේ 6% වෙන් නොකළොත් ආණ්ඩුව පෙරළනවා කියලා. එහෙම කිව්ව අය මුදල් ගෙවන පෞද්ගලික පාසල් 400 ක් ආරම්භ කරද්දී වචනයක්වත් නො‍ෙදාඩා ඉන්නවා.

මේ වනවිට නීති විරෝධී ලෙස කැබිනට් පත්‍රිකා අනුමත වීමක් නීති ක්ෂේත්‍රයේ බරපතළ ලෙස කතා බහට ලක්වෙලා තියෙනවා.

මේ වනවිට කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරය සම්බන්ධයෙන් පවතින කතාබහ එකක්. ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලංකාවේ බාලාගාර සෑදීමට විදුලිබල පනතට විරුද්ධයි. එකම බිමේ බලාගාර 2 කට ඉඩකඩ විවර වෙන්නේ එක ටෙන්ඩරයක් අනුවයි. මේකට ඉඩදෙන්න බෑ. කැබිනට් අනුමැතිය තිබූ පමණින්ම බලාගාර හදන්නත් බැහැ ෴

*****************************************

අය-වැයට සහාය ඕනෑ නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න දෙමළ සන්ධානයෙන් කොන්දේසියක් දාලා

(27.02.2019 – mawbima.lk)

ඉදිරි අය _ වැය සම්මත කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට තීරණාත්මක කොන්දේසියක් දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ‘මව්බිම’ට පැවැසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම දැඩි කොන්දේසිය ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති අතර එසේ නොකරන්නේ නම් අය _ වැයට සහාය නොදෙන බව සුමන්තිරන් මන්ත්‍රිවරයා ආණ්ඩුවට දැනුම් දී ඇති බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව බෙල්ලටම හිර කර ඇති බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ ඔවුන් බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යළි හිස එසවීම සඳහා ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන බවයි.

එය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ලෙස ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවද මන්ත්‍රිවරයා කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ මෙම ක්‍රියාකලාපය නිසා ආණ්ඩුවට මෙවර අය – වැය සම්මත කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *