ETI ගනුදෙනුව නතර කරනවා – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා

(27.02.2019 – mawbima.lk)

ඊ.ටී.අයි. ගනුදෙනුව පූර්ණ විනිවිදභාවයකින් තොර, අවශ්‍ය කිසිදු විශ්ලේෂණයක් නිසියාකාරයෙන් සිදු නොවූ ගනුදෙනුවක් හෙයින් එම ගනුදෙනුව නවතා දැමීමට සිදුවන බව ප්‍රකාශ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26 දා) ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේදී එම තීන්දුවට හවුල් වූ ආර්ථික සභාවේ සියලු දෙනා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කොට තිබේ.

එහිදී ගැනුම්කාර සමාගම වන පෙටිගෝ කියන ආයතනය කුමක්ද? මේ ආයතනය ගැන සෙව්වේ නැද්ද? සෙව්වේ නැත්තේ ඇයි? සුභාෂ්කරන් අලිරාජාට මේක දෙන්න තීරණය කළේ කොහොමද? ඔහු ගැන නොසොයා මේ ගනුදෙනුව සිදුකළේ ඇයි? රටේ මිනිසුන්ගේ සල්ලි නේද? මේ වගේ ආයෝජනය කරලා තියෙන්නේ. අලිරාජලාට මේ ගනුදෙනුව කරන්න සල්ලි කොහෙන්ද කියලා සොයා බැලුවේ නැත්තේ ඇයි? යනාදී වශයෙන් ජනාධිපතිවරයා සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ එහි සාමාජිකයන් නිරුත්තර වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා ආර්ථික සභාව හමුවේ කියා ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව මෙවැනි ඩීල් සඳහා එළැඹීම ගැටලුවක් බවත් මෙසේ යන්නට හැරියහොත් මෙය රටටම බලපාන ප්‍රශ්නයක් වනු ඇති බවත්ය.

ගැනුම්කාර විදේශීය සමාගම එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 කට සිදුකිරීමට එකඟ වෙද්දී දේශීය සමාගම එය ඇමෙරිකානු ඩොලර් මිලියන 61 කට මිලදී ගැනීමට එකඟ වී තිබෙනවා නේද? යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රශ්න කිරීමේදී අදාළ පාර්ශ්ව එවැනි දේශීය සමාගමක් ඉදිරිපත් නොවූ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධව දීර්ඝව ප්‍රශ්න කරමින් විමසා ඇත්තේ එම දේශීය සමාගමට කිසිදු දැනුවත් කිරීමක් හෝ නොකරමින් එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75 කට විදේශීය සමාගමක් වෙත පැවැරුවේ කෙසේ ද යන්න ගැනය. එහිදීද ආර්ථික සභාවේ සියලු දෙනා නිරුත්තර වී තිබේ.

එසේම එම ගනුදෙනුවේදී ආයෝජනය කළ යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 12 සම්බන්ධවත් පෙබරවාරි 22 වන විට ගෙවිය යුතුව පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක මුදල සම්බන්ධවත් ජනාධිපතිවරයා සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ පාර්ශ්වවලට නිහඬ වීම හැර අන් විකල්පයක් නොවී තිබේ.

එසේම පසුගිය පෙබරවාරි 22 වැනිදා (සිකුරාදා) ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පෞද්ගලික සමාගම මිලට ගත යුතු නැති බව දන්වා සුභාෂ්කරන් අලිරාජාට ලිපියක් යොමු කළේ ඇයි ද යන්න ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කර ඇති අතර එහිදී ද අදාළ පාර්ශ්වයන්ට නිහඬ වීම හැර අන් විකල්පයක් තිබී නැත.

මහ බැංකුව තැන්පත්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ නම් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම ඔවුන් අදාළ ගනුදෙනුවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කිරීම අතරම විශාල පරස්පරතාවක් පවතී.

එයින් පෙනී යන්නේ මහ බැංකුව මේ ගනුදෙනුව දෙස බලා ඇත්තේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් නොව වෙනත් කෝණයකින් බවයි.

මේ අතර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන් ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනමින් සහන සැලැසීමේ අවශ්‍යතාව ඊයේ (26 දා) පැවැති ජාතික ආර්ථික සභාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳ ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු කර ඇති අතර එම ගනුදෙනුව සලකා බැලූ ජාතික ආර්ථික සභාව විසින් ඒ සඳහා වූ නිර්දේශද ඉදිරිපත් කර ඇති බවත් 2015 – 2018 කාලය තුළ දේශීය සමාගම් 2 ක් සහ විදේශ සමාගමක් ඊ.ටී.අයි. සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇති නමුත් දේශීය සමාගම් සමඟ ප්‍රමාණවත් තරම් පාරදෘශ්‍යභාවයකින් කටයුතු කර තිබේ ද යන්න පිළිබඳ අපැහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක්වී ඇති බව ගනුදෙනුවේදී තැන්පත්කරුවන්ට ගෙවීම් සඳහා උපරිම මුදලක් ලබා ගැනීම පිණිස නිසි කේවල් කිරීමක් සිදු කළේ ද යන්න අපැහැදිලි බවත් එහිදී විශේෂයෙන් අවධානයට ලක් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය සඳහන්ය.

තවද ඉදිරිපත් වූ එම සමාගම් 3 ටම ලන්සු තැබීම සඳහා සමාන අවස්ථාවන් ලබා දුන්නේද යන්න අවිනිශ්චිත බවට ද ජාතික ආර්ථික සභාවේ නිරීක්‍ෂණයට ලක් වී ඇත.

අදාළ තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා එම සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවක් ද මේ වන විට සිදුවන අතර එම ගනුදෙනුව පිළිබඳ මෙහිදී විමර්ශනයට ලක් වී ඇති බවද මේ වන විට ඊ.ටී.අයි. සමාගමේ තැන්පත්වලින් 20% ක් නැවත එම තැන්පත් කරුවන්ට ලබා දී තිබෙන බව ද තවත් 10% ක් නුදුරේදීම ලබා දිය හැකි වන බවටත් අපේක්‍ෂා කරන බව ද මහ බැංකුවේ අදහස වී තිබේ යැයි ද නිවේදනයේ දැක්වේ.

මේ අවස්ථාවට පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ යන ඇමැතිවරු ද ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබේ.

ඊයේ (26 දා) ජාතික ආර්ථික සභාවේදී මෙවැනි වාතාවරණයක් උද්ගත වෙද්දී පසුගිය වකවානුවේ ශ්‍රී ලංකා මහ බැංකුව ඊ.ටී.අයි. ගනුදෙනුව සම්බන්ධව විටින් විට මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පැවැසුවේ එම ගනුදෙනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ගැනුම්කරුවන් අතර පවතින ගනුදෙනුවක් බවය. එසේ නම් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ජාතික ආර්ථික සභාවේ ඊට අදාළ සාමාජිකයන් නිරුත්තර වීම තුළ ඇත්තේ සැබෑ තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව වසන් කිරීමේ යථාර්ථය නොවේද?

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම නිකුත් කළ නිවේදනවල සඳහන් කළේ ඔවුන් තැන්පත්කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලා මීට මැදිහත් වූ බවයි.

එය එසේ වූවා නම් අද වන විටත් මේ ගනුදෙනුව හරහා තැන්පත්කරුවන්ටම පමණක් ගැටලුවලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද?

මේ අතර ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සමාගම මිලට ගත යුතු නැතැයි පවසා අලිරාජාට මහ බැංකුව ලිපියක් යැවූයේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි.

මහ බැංකුව 22 දා මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් සිදු කළ පැහැදිලි කිරීමකදී පවසා ඇත්තේ එම ගැනුම්කාර සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ක මුදල 2018/10/25 වන දින මෙරට බැංකුවකට එවන ලද නමුත් මේ ගනුදෙනුව ගැන පැවැති අපැහැදිලි තත්ත්වයක් නිසා එම මුදල් ආපසු ගෙන්වා ගත් බවයි. එහෙත් එම මුදල මේ මස අවසන් වීමට පෙර නැවත එවීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවද මහ බැංකුව එම පැහැදිලි කිරීමෙන් ප්‍රකාශ කර තිබිණි.

මේ සමාගම ගෙවිය යුතු මුදල් ගෙවීම පමා වීමට වක්‍රාකාරයෙන් මෙසේ සුදු හුනු ගෑමට පෙලඹෙන මහ බැංකුවට අද පෙබරවාරි 27 එනම් පෙබරවාරි මස අවසන් වීමට තව ඇත්තේ එක් දිනයක් බව අපි සිහිපත් කරන්නෙමු. මේ ගනුදෙනුව දෙස බැලීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව නිතරම ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක් සඟවා ගෙවීමට පවතින්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක් බව සඳහන් කළ අතර අප වෙත හෙළි වී ඇති තොරතුරු අනුව මේ ගනුදෙනුවට අදාළ ඩොලර් මිලියන 05 ක මුදලක් මෙරට පිරිසක් අතර බෙදී ගොස් ඇති බව වාර්තා වේ.

එම ඇමෙරිකානු ඩොලර් මිලියන 05 න් ඇමෙරිකානු ඩොලර් මිලියන 03 ක මුදලක් ටොරින්ටන් ප්‍රදේශය ආශ්‍රිතව පදිංචි විශ්‍රාමික ප්‍රබල දේශපාලන චරිතයක් අතට පත්ව ඇති බවද හෙළි වී තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 54 ක් ගෙවීමෙන් පසුව එම ගැනුම්කාර සමාගම ගෙවිය යුතුව පවතින්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අතරම එවැනි ගෙවීමක් කිරීමට තිබියදීම ඊ.ටී.අයි. ෆිනෑන්ස් සමාගමේ වත්කම් එම ගැනුම්කාර සමාගමට පවරා දී තිබේ. එහිදී එම වත්කම්වලින් උපයන මුදලින් ගෙවිය යුතු මුදල පියවීමට එම සමාගමට ඉඩ හසර වෙන්කරමින් ඔවුන් කෙරෙහි පවතින ළබැඳියාවේ ප්‍රමාණය සමාජයට මහ බැංකුව හෙළි කර තිබේ ෴

++++++++++++++++++++++++

මහ බැංකුවෙන් යළිත් නිවේදනයක්

(27.02.2019 – mawbima.lk)

මේ මස අවසන් වීමට පෙර ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය තැන්පතු මුදල්වලින් තවත් 10% ක මුදලක් ගෙවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ගැනුම්කාර සමාගමෙන් පෙබරවාරි අවසන් වීමට පෙර ලැබීමට නියමිත එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ක මුදල භාවිත කරමින් එම මුදල් ගෙවීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දැනට ඉදිරිපත් වී ඇති ව්‍යාපාර සැලසුම් යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමක් අපේක්ෂා කරන බවත්, ඉතිරි තැන්පතු මුදල් ගෙවීම එම ව්‍යාපාර සැලැස්ම අනුව හෝ ආයතනය ප්‍රතිෂ්ඨාපනයට ආයෝජකයකු සොයාගත නොහැකි වුවහොත් පවතින නීති රීති යටතේ ආයතනය ඈවර කිරීමට කටයුතු යෙදීමෙන් පසුව සිදුවන බවත් මහ බැංකුව පවසයි.

එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ තැන්පත්කරුවකුට රුපියල් 600,000 ක උපරිමයකට යටත්ව මුදල් ගෙවීමට කටයුතු කරනු ඇති බවද මහ බැංකුව අවධාරණය කරයි.

පසුගිය 18 වැනි දින “මව්බිම” පුවත්පතෙහි ‘ඊ.ටී.අයි. ගනුදෙනුවේ ඩොලර් මිලියන 17 ක හිඟය හිතාමතාම සැඟවූයේ ඇයි?’ යන සිරස්තලයෙන් යුතුව පළවූ වාර්තාව සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා (22 දා) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා වෙත යොමු කළ බවට සඳහන් කරමින් මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියේ අඩංගු කරුණු පිළිබඳව එම නිවේදනයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කරුණු පහදා තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත නිකුත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය මඟින් වාර්තා කරන ලද එම ලිපිය වැනි කිසියම් ලිපියක් මහ බැංකු අධිපතිතුමා වෙත ලැබී නැති බවද එම නිවේදනයෙන් මහ බැංකුව අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධව ‘මව්බිම’ විමල් වීරවංශ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ තමා මාධ්‍ය වෙත නිකුත් කළ ලිපිය ෆැක්ස් මාර්ගයෙන් මහ බැංකුව වෙත යොමු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත නිකුත් කළ බවයි.

මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයේ අඩංගු කරුණු පහත පරිදි වේ :

ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලද්දේ 2018.01.02 දින වන අතර ඔබ පුවත්පතේ සඳහන් පරිදි 2018.02.01 දින නොවේ. තවද, එකී නිවේදනය මඟින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අධීක්ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් පත් කරන ලද බවද නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත් කරනු ලැබුවේ කළමනාකරණ මණ්ඩලයක් වන බවත් එහි ප්‍රධානියා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරියකු වන අතර සෙසු සාමාජිකයන් ලංකා බැංකුවේ විශ්‍රාමික නිලධාරීන් දෙදෙනකු වන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටිමු.

එකී ලිපියේ සඳහන් කර ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සුභාෂ්කරන් අලිරාජා හෝ වෙනත් කිසිදු පුද්ගලයකු සමඟ එකඟතාවක් ඇති කරගෙන නැත. අප සැමවිටම සඳහන් කරනු ලැබුවේ වත්කම් විකිණීමට අදාළ සියලු ගනුදෙනු ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින්ම අදාළ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා බෙන් හෝල්ඩින්ස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් නමින් දේශීයව සංස්ථාපනය කරන ද සමාගමක් මඟින් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී වෙත ඉදිරිපත් කරන ලදුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරන ලද ව්‍යාපාරික සැලැස්ම සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. එකී අනුමැතිය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ආයෝජකයාගේ මූල්‍ය හැකියාව ඇතුළු තවත් අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින ලද අතර එම තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මෙතෙක් ඉදිරිපත් කර නොමැත. තවද, ඔබ පුවත්පතේ සඳහන් පරිදි එම ආයතනය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 12 ක් යෙදවීමට එකඟතාවක් මහ බැංකුව වෙත දැනුම් දී නැත.

2018.02.27 දිනැති ලිපිය මඟින් හෝ වෙනත් කිසිදු අනුමැතියක් මාර්ගයෙන් ඊ.ඒ.පී. ආයතනය විකුණා දැමීම සඳහා අනුමැතියක් ලබා දී නැත. මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සතුව පැවැති වත්කම්වලින් තෝරාගත් වත්කම් කිහිපයක් විකිණීම සඳහා වන අතර ඒ සඳහා එම ආයතනයට ලැබිය යුතු මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 75 ක් විය යුතු බවයි. මුලින් එකඟතාව පළ කරනු ලැබුවේ එම හඳුනාගත් වත්කම් සියල්ල එකවර මිලදී ගැනීමට වුවත් ගැනුම්කරුවන් විසින් මුදල් ගෙවනු ලැබුවේ කොටස් වශයෙන් නිසා එසේ එවන ලද මුදල් ප්‍රමාණයට සරිලන පරිදි පමණක් වත්කම් මාරු කිරීමට කටයුතු කරනු ලැබීය.

එක්සත් ජනපද ඩොලර් මිලියන 54 ගෙවීමෙන් පසුව ඉතිරි එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ගෙවීම සඳහා වසරක කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කිසි විටෙකත් කටයුතු කර නොමැති අතර එසේ කටයුතු කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම සිදු වූයේ අදාළ ගැනුම්කරු එක්සත් ජනපද ඩොලර් මිලියන 16 ක මුදල 2018.10.25 දින ශ්‍රී ලංකාවේ බැංකුවකට එවන ලද නමුත් ගනුදෙනු සම්බන්ධව පැවැති අපැහැදිලි තත්ත්වයන් නිසා එම මුදල් නැවත ආපසු ගෙන්වා ගැනීමයි. එහෙත් එම මුදල 2019 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර නැවත එවීමට කටයුතු කරන බව දැනුම් දී ඇත.

ගැනුම්කරුවන් විසින් මිලදී ගන්නා ආයතනවල අයිතිය ලියාපදිංචි කිරීම සිදු කළ යුත්තේ එම ආයතනය නියාමනය සම්බන්ධ නීති සහ රෙගුලාසිවලට අනුකූලවයි. ඒ සඳහා කටයුතු කිරීම අදාළ වත්කම් මිලදී ගනු ලබන අය විසින් සිදු කළ යුතුය.

මෙම ගනුදෙනුව සම්බන්ධව කරන ලද පරීක්ෂණ කටයුතුවලදී වත්කම් මිලදී ගන්නා අය නීති විරෝධී කටයුතුවලට වැරදිකරුවන් වී ඇති බවට අප වෙත වාර්තා ලැබී නැත.

මීට පෙරද අප විසින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට සිය වත්කම් එක්සත් ජනපද ඩොලර් මිලියන 75 කට විකිණීම සඳහා අවසර දෙන අවස්ථාව වන විට එම වත්කම් මිලදී ගැනීම සඳහා වෙනත් දේශීය පාර්ශ්වයක් පිළිබඳ කිසිදු යෝජනාවක් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කර නොමැත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *