ඉඩම් පත්ඉරු විද්‍යුත් ක්‍රමයට දෙන අලුත් වැඩසටහනක්

(26.02.2019 – mawbima.lk)

ඉඩම්වල පත්ඉරු විද්‍යුත් ක්‍රමයට නිකුත් කිරීමට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල අලුත් වැඩසටහනක් හඳුන්වා දී ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතාන මහතා “මව්බිම”ට පැවැසීය.

ඒ අනුව 1874 වසරේ සිට ඇති සියලුම පත්ඉරු ස්කෑන් කර වෙබ් අඩවියකට ඇතුළත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීය.

මේ වනවිට රට පුරා පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 45 න් 25 ක පමණ ඇති පත්ඉරු ස්කෑන් කර පරිගණක කිරීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා පැවැසීය.

මීට අමතරව ඉඩම් ඔප්පු සියල්ල ප්‍රමිතියකට සකස් කිරීමේ කටයුතුද ආරම්භ කර ඇතැයිද ඒ අනුව ඒ ඒ නොතාරිස්වරු නිකුත් කර ඇති විවිධ ප්‍රමාණයේ විවිධ ඉඩම් ඔප්පු වෙනුවෙන් ආරක්ෂිත විධික්‍රම හතක් යටතේ සැකසූ ප්‍රමිතියෙන් යුත් ඉඩම් ඔප්පු ලබාදීමටද අවශ්‍ය කටයුතු යොදා ඇතැයිද රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතාන මහතා කියා සිටියේය ෴

*****************************************

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්

(26.02.2019 – mawbima.lk)

මහවිලච්චිය සියඹලාගස්වැව ප්‍රදේශයේ නිට්ටෑවකු කැලෑවැදී සිටින බවට පොලිසියට තොරතුරු ලැබීමත් සමඟ අද්භූත නිට්ටෑවා ඇල්ලා ගැනීමට තන්තිරිමලය පොලිස් කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් හා ගම්වැසියන් පෙරේදා (24දා) සියඹලෑව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබිණි.

කාන්තාවන්ට හිරිහැර සිදුකරනා නිට්ටෑවකු ඇලයාපත්තුව සියඹලාගස්වැව ප්‍රදේශයට පැමිණ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රමුඛ මහවිලච්චිය තන්තිරිමලය යන පොලිස් ස්ථානයේ නිලධාරීන් හා ගම්වැසියන් එක්ව නිට්ටෑවා සොයා පරීක්ෂණ සිදුකරත් එවැනි රුවක් සහිත පුද්ගලයකු හමු වී නැතත් කැලෑව තුළ සෝදිසි මෙහෙයුම් සිදුකරද්දී කිසියම් අයකු කැලෑවේ සැඟ වී දිවයන ශබ්දය පොලිසියට ඇසී තිබේ.

පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී අසාමාන්‍ය පාද සලකුණු කිහිපයක් ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබෙන අතර කැලෑවේ සිට දිව යන ශබ්දය ඇසුණේ වන සතකුද යන්න අනාවරණය කර ගැනීම අපහසු වී තිබේ. සියඹලෑව ප්‍රදේශයේ පෙරේදා (24 දා) දිනයේ නිට්ටෑවකු බව කියන කුරු මිනිසකු සැරි සරනා අයුරු කාන්තාවන් කිහිපදෙනකුම දැක තිබෙන අතර කාන්තාවකගේ අතින් ඇල්ලීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

නිට්ටෑවන් බව කියන කුරු මිනිසකු විසින් මහවිලච්චිය ගල්කොරිය ප්‍රදේශයේ ගෙවත්තක මල පහකර ගොස් ඇති බවට ගම්මුන් පිරිසක් මහවිලච්චිය පොලිස් ස්ථානයට කළ දැනුම් දීමකට අනුව පසුගිය (23දා) එහි ගිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථානාගාරයේ (සොකෝ) නිලධාරීන් කණ්ඩායමක් අසාමාන්‍ය ආකාරයෙන් යුතු ලොම් සහිත මල ද්‍රව්‍යයක් (අසූචි) සොයා ගැනීමට සමත් වී තිබිණි.

එම මල ද්‍රව්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. පසුගිය (20 දා) සවස හයයි තිහට පමණ මහවිලච්චිය අලිවංගුව ඇත්දත්කල්ල ප්‍රදේශයේ නිවෙසකට නිට්ටෑවන් බව කියන කුරු මිනිසුන් දෙදෙනකු පැමිණ තිබෙන අතර එම නිවෙසේ පිළිකන්නයේ සිටි කාන්තාවගේ අතක් සූරා තුවාල සිදු කර ඔවුන් පලාගොස් ඇති බව මීට පෙර ගම්වැසියෝ පැවැසූහ.

ඊට අමතරව ඔයාමඩුව හැළඹවැව යන ප්‍රදේශවල කැලෑබද කුඹුරු හා හේන් හරහා කුරු මිනිසුන් ගමන් කරන අයුරු ගොවියන් පිරිසක් දැක තිබෙන බවත් එම සිද්ධීන් දුටු පිරිස් එක්වරම සිහිසුන් වී ඇති බවත් වාර්තා විය.

කුරු මිනිසුන් සම්බන්ධයෙන් විවිධ සිදුවීම් පසුගිය සතිය පුරා මහවිලච්චිය පොලිස් වසමෙන් වාර්තා වුවත් මෙතෙක් කුරු මිනිසුන් අල්ලා ගැනීමට පොලිසියට හෝ ගම්මුන්ට හැකියාව ලැබී නැත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *