ආසියාවේ දැවැන්තම මංකොල්ලය ‘බැදුම්කරේ’ ට අවුරුදු හතරයි.. ප‍්‍රසන්න ඩුබායිහිදී තදින්ම සමරයි..

(27.02.2019 – 14:10 +0530 – lankacnews.com)

කුඩු ජාවාරමුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ 19 වැනි සංශෝධනය නිසා යැයි අගමැතිවරයා කළ ප්‍රකාශයට සියවසේ විහිලුව ලෙසින් සම්මාන පිදිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ යුගයේ කුඩු ජාවාරමුන් සහ පාතාලයන් රටත් අතහැර පලා ගියේ 19 වැනි සංශෝධනයක් තිබුණ නිසාදැයි ප්‍රශ්න කළ රණතුංග මහතා වැඩ බැරි ටාසන්ලා 19 වැනි සංශෝධනයේ එල්ලී හෝ ගොඩයන්නට දරන උත්සාහයට අනුකම්පා කළ යුතු බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව වන කුවෙට් ශාඛාවේ සාමාජිකයන් දැනුවත් කිරීමේ උත්සවයකට කුවෙට් රාජ්‍යයේ නවාලි නගරයේ වොයිස් කට් ශාලාවේ දී එක්වෙමිනි.

රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය :

‘‘මේ මාසේ 26 වැනි දා සුවිශේෂී දවසක්. 2015 පෙබරවාරි මාසේ 26 වැනි දා තමයි මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලය සිදුවුණේ. ආසියාවේ විශාලතම මංකොල්ලය තමයි මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලය. දැන් බැඳුම්කර කොල්ලයට වසර හතරයි. පාඩුව බිලියන ගණනක්. හැබැයි කිසිම හොරෙක්ට මේ වෙනකම් දඬුවම් දීලා නැහැ.

2015 ජනවාරි මාසේ 09 වැනි දා යහපාලන ආණ්ඩුව බලයට ආවේ හොරු අල්ලන්නයි. බලයට ඇවිත් මාස දෙකක් යන්නත් ඉස්සර මහ බැංකුව සුද්ධ කළා. එක පාරක් නෙමෙයි දෙපාරක් සුද්ධ කළා. හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියලයි ඉස්සර කිව්වේ. දැන් කියන්න වෙන්නේ හොරුන්ගෙත් හොරු බැඳුම්කර හොරු කියලයි.

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස ගැන කියමින් බලයට ආපු ආණ්ඩුව අවුරුදු හතරක් ගිහිල්ලත් කරපු දෙයක් නැහැ. එක පැත්තකින් ජාතික ආරක්ෂාව බිඳ වැටිලා. අනෙක් පැත්තෙන් ආර්ථිකය බිඳ වැටිලා. රටම මරු කටේ. හැබැයි ඇමැතිවරුන් දේශපාලන ජීවිතයට අච්චරයි, මෙච්චරයි කියලා මහා සැමරුම් උත්සව තියනවා.

පාතාලය, කුඩු ජාවාරම දැන් රටේ ප්‍රධාන ආදායම් මාර්ග වෙලා. හැමතැනම කුඩු. අගමැතිවරයා කියනවා කුඩු ජාවාරම් මැඩලන්න පුළුවන් වුණේ 19 වැනි සංශෝධනය නිසයි කියලා. මොන කුණුහරුපයක් ද ඒ? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ කුඩු සහ පාතාලය කුඩේ කුඩු කළේ 19 සංශෝධනය තිබිලද? අගමැති දන්නේ ඉතින් මේ වගේ විහිලු කතා කිය කිය ඉන්න විතරයි.
සාගලලා, රංජිත් මද්දුම බණ්ඩාරලා අවුරුදු හතරක් තිස්සෙ ඔය පොලීසිය භාරව හිටියා. මොකක්ද වෙච්ච සෙතේ? නිලමෙලාට ඕනෑ විදියට නීතිය නමන්න ඉඩ දීපු එක විතරයි. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට මර්දනය කරපු පාතාලය ආපහු පණ ගන්වලා ගත්තේ යහපාලන ආණ්ඩුවම තමයි.

ජනතාවගේ ප්‍රජතාන්ත්‍රවාදී අයිතිය අද අමු අමුවේ උල්ලංඝනය කරනවා. පළාත් සභා විසුරුවා හැරලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි. හැබැයි පළාත් සභා ඡන්දය නැහැ. පළාත් සභාවලට තවත් බලය දෙන්න ඕනේ කියන දෙමළ ජාතික සන්ධානයත් තිත්ත බේත් බීපු ගොලුවෝ වගේ සද්ද නැතුව ඉන්නවා.

ජනතාව විමුක්ති පෙරමුණ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඔක්තෝබර් මාසේ 26 වැනි දා මහින්ද මහත්තයා අගමැති වුණාම එළියට ආපු ජ.වි.පෙ රනිල් බේර ගන්න කරපු සටන ජනතාවට අමතක නැහැ. ආයෙත් රනිල් අගමැති පුටුවේ වාඩි වුණාම ජ.වි.පෙ සද්ද නැහැ. හාමුගෙ හිත රිදෙන හින්දා ජ.වි.පෙ ඡන්ද ගැන කතා කරන්නේ නැහැ.

ආණ්ඩුවේ කිහිලි කරු දෙක තමයි ජ.වි.පෙයි, දෙමළ සන්ධානයයි. කිහිලි කරු නැත්නම් ආණ්ඩුව දැනටත් බිම. විපක්ෂයේ පක්ෂ දෙකක් වෙලා ආණ්ඩුවට කඩේ යන එක ගැන දෙමළ සන්ධානය සහ ජ.වි.පෙ ලැජ්ජා වෙන්න ඕනේ. මේ වගේ පක්ෂවල දේශපාලන ගමන නිමා කරන්න ජනතාව අධිෂ්ඨාන කරගන්න ඕනේ.’’

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++++

‘මහබැංකුව හොරාකාලා වසර 4 යි. අපි තාමත් නිදැල්ලේ.. ඔබට සතුටුයිද…?’ රනිල්, රවි, මලික්, කබීර් වෙසින් පිරිසක් මහ බැංකුව ඉදිරියේ…

(28.02.2019 – 00:02 +0530 – lankacnews.com)

මහ බැංකු හොරකමේ පාඩුව පැටව් ගසමින් මේ රටේ මිලියන 21 ක ජනතාවක් සෝ සුසුම්වල ගිල්වමින් තිබියදී ඊට මුල් වූ මහා සොරුන් සියලුදෙනා නිදැල්ලේ සිටින බවටත් ඊට අදාළව පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ද ක්‍රියාත්මක නොවන බවටත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා චෝදනා කරයි.

මහ බැංකු හොරකමට වසර 04 ක් පිරෙන ඊයේ (27) දිනයේ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු මෙසේ පවසා සිටියේය :

‘‘අගමැති, මුදල් ඇමති, තවත් කැබිනට් ඇමතිවරු 02 ක් හා මහ බැංකු අධිපති යන සියලුදෙනා එක්ව රටක මහ බැංකුව සොරා කෑම, ලෝක ඉතිහාසයේ පළමු වරට සිදු වූවක්. එය සිදු වූයේ 2015 පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකාවේදී යි. අද ඒ කුප්‍රකට සිදුවීම සිහිපත් කරන්නයි ජාතික නිදහස් පෙරමුණ මෙවැනි නව ආරක විරෝධතාවක් සංවිධානය කළේ. මේක ‘ස්මාර්ට්’ හොරකමක් එය සිහිපත් කරන්න අපි ‘ස්මාර්ට්’ විරෝධතාවක් සංවිධානය කළා.

රාජ්‍ය බැංකුවල මුදල්, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදා ගනිමින් සිදු කළ මේ මහා සොරකමේ සොරුන් තවමත් නිදැල්ලේ සිටීම කනගාටුවට කරුණක්. මේ මහා සොරකමින් සිදු වූ පාඩුව රුපියල් බිලියන 3000 ක් ලෙස ගණනය කළත් එය වසර 30 ක් තිස්සේ පැටව් ගහනවා.

ගොවි ජනතාව, ව්‍යාපාරික ජනතාව ලබා ගත් ණයවල පමණක් නොවේ දූගී දුප්පත් ජනතාව උකසට තබන රත්තරන් භාණ්ඩවලටත් පොලිය ඉහළ ගියේ මේ මහා හොරකම නිසයි. මිලියන 21 ක මේ රටේ ජනතාව සෝ සුසුම් හෙළන තත්වයක් මේ මහා සොරකමින් සිදු වුණා. රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා.

මේ මහා හොරකම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වී වසරක් ගෙවුණා. තවමත් මේ මහා සොරකමේ එක් හොරෙක් විදේශගත වී සිටිනවා. ඇතැමුන්ට ඇප ලැබෙනවා. නීතියෙන්, මේ රටේ මිලියන 21 ක ජනතාවගේ සෝ සුසුම්වලට ලබා දෙන පිළිතුර කුමක් ද?

අපි අවධාරණය කරනවා, මේ මහා සොරුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්න කියා. මේ සියලුදෙනාගේ පෞද්ගලික දේපළ රාජසන්තකකර හෝ මේ පාඩුව පියවාගත යුතුයි.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

බැදුම්කර මංකොල්ලයෙන් රටට වූ හානිය මෙන්න.. රුපියල 30% කින් වැටිලා.. ණය බර 60% කින් ඉහලට..

(27.02.2019 – 18:48 +0530 – lankacnews.com)

වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය :

2019 වන විට 7% කට ඉහල වර්ධන වේගයක් සහිතව ආසියාවේ 2 වෙනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබුන රට වූ ලංකාවේ ආර්ථිකය අද ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට පත් වී ඇත. 2018 වසරේ 3.3% ක් පමන වූ ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ බංගලාදේශය (7.4%) , නේපාලය (7.9%), බූතානය (7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාල දිවයින (4.8%) යන සියලු රටවලට පිටුපසිනි. ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය. මහ බැඳුම්කර මංකොල්ලය මේ හානියට ප්‍රධානතම හේතුවක් විය.

2014 වන විට 30 අවුරුදු බැඳුම්කරවල පොලී අනුපාතය තිබුනෙ 10% ට අඩු අගයක. 2015 පෙබරවාරී මාසයේ මහ බැඳුමකර මංකොල්ලයේදී සිදු වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට 12.5% ක පමන ඉහල අගයකට බැඳුම්කර නිකුත් කිරීම නිසා රටේ සමස්ථ පොලී අනුපාතය 3% කින් පමන ඉහල යාමයි. මේ වන විට දේශීය රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 3 1/2 ට වඩා තිබුන අතර මේ සියල්ලටම ඉහල පොලී අනුපාතය බලපෑවා. පලමුවන මාසය තුල පමනක් රුපියල් බිලියන 50 ක පමණ පාඩුවක් එනම් කටුනායක අධිවේගී මාර්ගය යලි තැනීමට තරම් මුදලක් ‍පොලී අනුපාත වැඩි වීම නිසා රජයට පාඩු විනා. සමස්ථ ආර්ථිකයට වූ හානිය රුපියල් බිලියන 280 ක් පමන වේ යැයි ඒ වෙලාවේ ගනන් බලා තිබුනා.

රට පුරා බැංකුවල පොලී අනුපාතය වැඩිවීම ජනතාවට බැංකුවකින්, මුල්‍ය ආයතනයකින් හෝ ලීසින් ආයතනයකින් ණයක් ගැනීමට වැඩි පොලියක් ගෙවන්නට සිදුවුනා. වාහන ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සියල්ල වැඩිවුනා. මෙහි ප්‍රථිපලය වූයේ ව්‍යාපරිකයින්ට ඔවුන්ට තමන් සපයන භාන්ඩ හා සේවා වල මිල ඉහල දැමීමට සිදු වීමයි.මෙහි ප්‍රථිපලය වූයේ ජනතාවට මුදල් හිඟ වීමයි. ඒ අනුව රටේ මුදල් සංසරණය අඩුවුනා. එය ආපසු ව්‍යාපාර වලට බල පෑවා මන්ද ඔවුන්ගේ ආදායම හා ලාබ අඩුවුන නිසා. ව්‍යාපාර දුර්වල වන විට වැඩි පොලියට ගන්නා ණය ගෙවීම ඔවුන්ට අපහසු වුනා. එතකොට බැංකු හා මුල්‍ය ආයතන ඔවුන්ට ණය දීම සීමා කලා. අද රටේ බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට බැංකුවකින් ණයක ලබා ගන්නට බැරි මේ නිසායි.

අනෙක් අතර මේ හොරකම හා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරය නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුනා. ඔවුන් කොටස් වෙළඳපොලෙන් හා මුල්‍ය වෙළඳපොලෙන් ඔවුන්ගේ ආයෝජන ඉවත් කරගන්නට පටන් ගත්තා. ඩොලර් බිලියන් ගනන් මේ අනුව රටින් පිටවුනා. එය බල පෑවේ රුපියලේ අගයටයි. ලංකාවේ රුපියල කඩා වටෙන්නට පටන් ගත්තා. 2015 වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන රුපියල අද ආසියාවේ පමනක් නොවේ ලෝකයේම දුර්වල මුදල් ඒකකයක්. මහ බැඳුම්කර මංකොල්ලය පලමු වරට සිදු වූදා සිට මේ වන විට රුපියල 30% කින් පමන කඩා වැටිලා. මේ නිසා රජයේ විදේශ ණය වල දේශීය අගය විශාල වශයෙන් වැඩිවෙලා. මේ වැඩිවීම රාජපක්ෂ යුගයේ කල සියලු සංවර්ධන කටයුතුවලට වැය කල මුදලට වඩා විශාල පාඩුවක්. රුපියල කඩා වැටීම මහජනතාවටත් දැඩි ලෙස බල පෑවා. මන්ද අපි පරිභෝජනය කරන බොහෝ භාන්ඩ ආනයන කල ඒවායි. ඒ වගේම අපි බොහෝ සේවාවන් සඳහා පිටරටට මුදල් ගෙවනවා. උදාහරණය්ක් ලෙස අපේ රටේ බොහෝ අධ්‍යාපන පාඨමාලා සඳහා පිටරටට මුදල් ගෙවිය යුතුයි. මේ සියල්ලේ මිල ඉහල ගියා. මිළ දරා ගන්න බැරි කම ආනයන වලට බල පැවා. ඒ වගේම රුපියල කඩා වටෙන එක වලක්වන්න රජය ආනයන සීමාවන් දමන්නට යාම නිසා ආනයන ව්‍යාපාර කඩා වැටුනා. ඉන් සිදුවූයේ රේගුව හරහා රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් රටට අහිමි වීමයි. ඒ වගේම රටේ ව්‍යාපාර බිඳ වැටීමත් රාජ්‍ය ආදායමට බල පෑවා.

ආදායම අඩුවන විට රජය මොකද්ද කලේ . එක පැත්තකින් ඔවුන් වැඩිපුර ණය ගන්න පටන් ගත්තා අනික් පැත්තෙන් ජනතාව මත බදු වැඩි කලා. 2015 -2018 කාලය තුල රටේ ණය බර 60% කින් වැඩිවුනා රුපියල් ට්‍රිලියන 7.4 සිට 12. දක්වා. රාජ්‍ය බදු 100% කින් වැඩිවුනා. 2014 රජය බදු වශයෙන් අයකලේ රුපියල් ට්‍රිලියන 1 යි. 2018 අයවැයෙන් එය රුපියල් ට්‍රිලියන 2 දක්වා රජය වැඩිකලා. මෙයත් බලපෑවේ ජනතාවගේ සාක්කුවටයි.

අද මේ රටේ විශාල ආර්ථික අර්බූදයක් තිබෙනවා. ජනතාව සිටින්නේ ජීවන බරින් මිරිකිලා. ව්‍යාපාර කඩා වැටිලා ආයෝජන නතර වෙලා විරැකියාව වැඩිවෙලා. මේ සියල්ලේ මූලාරම්ඹය මහ බැංකු හොරකමින් පටන් ගත් වත්මන් රජයේ හොරකම හා බැරි කමයි. මෙය සමාව දිය නොහැකි වරදක්. මුලු රටටම බල පෑ ජනතාව විපතට පත් කල හොටකමක්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ වත්මන් රජය කර අරිනවානම් බැඳුම්කර මංකොල්ලයට වග කිව යුතු අය අනාගත රජයකින් හෝ පරීක්ෂණ කොට හෙලිද්‍ර‍රව් කොට ඔවුන්ට නීතිය ඉදිරියේ දිය හැකි උපරිම දඩුවම් දිය යුතුයි කියා.

– චමින්ද කරුණාරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *