හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

(07.03.2019 – 15:51 +0530 – sinhala.adaderana.lk)

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමක් හෝ රඳවා ගැනීමක් සිදු නොකරන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය රහස් පොලීසිය වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කරන්නාගොඩ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විසින් නියෝග නිකුත්කරනු ලැබුවේය.

මෙහිදී විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම ලබන 11 වනදා පෙරවරු 9 ට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය විසින් කරන්නාගොඩ මහතාට නියම කරනු ලැබුවේය.

මෙම නඩුවට අදාළව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කරන්නාගොඩ මහතා අධිකරණය හමුවේ පොරොන්දු වී තිබුණේ තමන් අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවටත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීමක් සිදු නොකරන බවටයි.

පෙත්සමට අදාළ කරුණු සහ කරන්නාගොඩ මහතා විසින් අධිකරණයට ලබාදී ඇති එම ප්‍රතිඥාව සැලකිල්ලට ගෙන මෙම තහනම් නියෝගය නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළේය.

කෙසේ වෙතත් පෙත්සම්කරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙම නියෝගය තුළින් කිසිදු බාධාවක් නීතිපතිවරයාට හෝ රහස් පොලිසියට නොමැති බවද විනිසුරු මඩුල්ල අවධාරණය කළේය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකළේය.

කරන්නාගොඩ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ කිසිදු පදනමක් නොමැතිව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානම් වන බවයි.

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම වකවානුවේම නාවික හමුදාව ඇතුළු අංශ ගණනාවක් පරීක්ෂණ සිදුකළ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම කිසිදු පරීක්ෂණයකින් තම සේවාදායකයා වන කරන්නාගොඩ මහතාට කිසිදු චෝදනාවක් එල්ල නොවූ බව ප්‍රකාශ කළේය.

එසේ තිබියදී සිද්ධිය සිදුවී වසර 10 කින් පමණ පසුව හදිසියේ තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන්නේ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් මෙන්ම ජිනීවා මානව හිමිකම් සමුළුව අරමුණු කරගෙන බවද ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

තම සේවාදායකයාට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා දැනටමත් සඳහන් කර ඇති බවට වාර්තාවී ඇති බැවින් පිළිබඳව තමන්ගේ විරෝධයක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහෙත් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම් සඳහා මෙම අවස්ථාවේ කිසිදු අවශ්‍යතාවක් මතු නොවන බවයි පෙන්වා දුන්නේය.

තම සේවාදායකයා කිසිදු අවස්ථාවක අධිකරණය මග හැර පලා නොයන පුද්ගලයකු බවද ජනාධිපති නීතිඥ සිල්වා මහතා අධිකරණය හමුවේ පෙන්වා දුනි.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර ලබාදෙන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ පරීක්ෂණ කටයුතු බොහොදුරට අවසන් වී ඇති බවත් පෙත්සම්කරුගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද අවශ්‍යව ඇති බවයි.

පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී දන්වා සිටියේය.

මෙහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කළොත් ඉන් මෙම පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අනතුරුව මෙම නියෝග නිකුත් කරනු ලැබුවේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *