UN එකත් ගෙන්වා සත්ත්ව ඇටකටු පෙන්වා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හිර කරගන්න ගහපු ගේම

(09.03.2019 – mawbima.lk)

නීතිපතිත් – පොලිසියත් කරන්නේ සිය රාජකාරි ඉටුකිරීම නොව බෙදුම්වාදීන් හා එන්ජීඕකාරයන්ද, ඔවුන් සමඟ හවුල් වී රටට හතුරුකම් කරන දේශපාලනඥයන්ද, ගහන ගහන පදයට නටමින් මේ රට පාවාදීමට අවශ්‍ය කරුණු කාරණා ඉටු කිරීම බවට රටේ උත්තරීතරම ආයතනය වන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර සිටියේ ප්‍රධාන පෙළේ ජනාධිපති නීතිඥවරයකු වන රොමේෂ් ද සිල්වා මහතාය.

ඔහු නීතිපති දෙපාර්තමේන්තුවටත්, පොලිසියටත් එම චෝදනා එල්ල කළේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින්ය.

එහිදී හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හට ඉකුත් යුද සමයේදී විදේශ රටවලින් එවන ලද යුද ආයුධ නැව් සියල්ලම ගිල්වා දැමීමේ ක්‍රියාන්විතයක් මෙහෙයවීම නිසා තමා සමඟ උරණව සිටින මෙරට හා විදෙස්ගත බෙදුම්වාදීන්ගේ වුවමනාව පරිදි තමා ඇතුළු රණවිරුවන් සිරගත කිරීමේ වැඩපිළිවෙළක් යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් සීඅයිඩීය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් මඟින් අද්මිරාල් කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉකුත් 22 වැනිදින පැමිණිලි කළේය.

එකී පැමිණිල්ලට අදාළ පෙත්සම ඉකුත් 28 වැනිදින කැඳවූ අගවිනිසුරු නලින් පෙරේරා, මුර්දු ප්‍රනාන්දු හා ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඒ පිළිබඳව වැඩිදුර කරුණු විමසීම පසුගිය බ්‍රහස්පතින්දා (07) දිනට දින නියම කරනු ලැබීය.

බුවනෙක අලුවිහාරේ, විජිත් කේ. මලල්ගොඩ හා ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම ඊයේ කැඳවුණු අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් කටයුතු කරන්නේ රට වෙනුවෙන් හෝ රටේ පොදු ජනතාව වෙනුවෙන් හෝ අඩුම වශයෙන් ඔවුන්ට පැවරී ඇති නිලයේ වගකීම්වලට අනුවවත් නොවන බවත්, විවිධ දේශපාලන හා බෙදුම්වාදී බලවේගයන්හි අතකොලු බවට පත්ව සිටිමින් ඔවුන්ගේ මන‍දොළ සැපිරීම සඳහා ඕනෑම දේශද්‍රොහී, ජාතිද්‍රෝහී දුෂ්ට ක්‍රියාවක් කිරීමට ඔවුන් පෙළගැසී සිටින බවත්, තිස් වසරක් තිස්සේ මේ රටත්, රටේ ජනතාවත් අන්ත අසරණ භාවයකටත්, අති මහත් භීතියකටත් පත්කරමින් ක්‍රියාත්මක වූ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඉතාමත්ම තීරණාත්මක වැඩ කොටසක් ඉටුකළ රණවිරුවන් බොරු චෝදනා මත සිරගත කිරීමට මෙලෙස වෑයම් කිරීමෙන් තහවුරු වන බවත්, කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන්ගේ සුවච ගෝලබාලයන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා (පළමුවැනි වග උත්තරකරු) ක්‍රියාකොට ඇති බව අධිකරණය හමුවේදීම තහවුරුවී ඇති බවත්, එම නිලධාරීන් සමඟ නාවික හමුදා කඳවුරක් පරීක්ෂාවට ගිය අවස්ථාවේදී එම භූමියේ තිබූ ඇටකටු ගොඩක් ඔවුන් පෙන්වූ විට ඒවා නාවික හමුදා කඳවුරේදී ඝාතනය කරන ලද තරුණයන්ගේ ඇටකටු බවට සැකකොට රැගෙන ගොස් අධිකරණ නියෝගයක් මත කාබන් පරීක්ෂණයකට ලක්කරනවනු ලැබූ බවත්, එම ඇටකටු වනසතුන්ගේ ඇටකටු බවට නිර්ණය වූ බවත්, ඒ තරමටම තකතීරු ආකාරයෙන් විදේශිකයන්ට වහල්වී ඔවුන්ට ඕනෑ විදියට රට මුදාගත් රණවිරුවන් පාවාදීමේ පාපකාරී ක්‍රියාවට මේ රටේම සිටින එන්ජීඕ (රාජ්‍ය නොවන සංවිධාන) ක්‍රියාකාරීන් සමඟ හවුල්වී ක්‍රියාකිරීම ඔවුන්ගේ රාජකාරිය බවට පත්කොටගෙන සිටින බවත් රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කිසිඳු පදනමකින් තොරව ලුතිනන් කොමදෝරු වෙලගෙදර නමැති නිලධාරියා විසින් 2016 සැප්තැම්බර් 13 වැනිදින ලබාදී ඇති සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් පාදක කරගනිමින් එහි ඇත්ත නැත්ත සොයා බැලීමකින් තොරව පෙත්සම්කාර නාවික හමුදා ඉතිහාසයේ උත්තරීතර සම්මානයට පාත්‍රවී තරු 4 පන්තියේ අද්මිරාල් ධුරයකින් සම්මානනීය වූ, ත්‍රස්තවාදය තුරන් කිරීමේ මහා මෙහෙයුමේ ප්‍රබලතම කාර්ය භාරයක් ඉටුකළ කරන්නාගොඩ රණවිරුවා ඇතුළු එම සටනේ ප්‍රබල චරිත සිරගත කිරීමට ‘සීඅයිඩීය’ නොගන්නා උත්සාහයක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එකී පැමිණිල්ලට අදාළ සිද්ධියේ තරුණයන් කණ්ඩායමක් නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමක් හා රඳවා තබා ගැනීමක් පිළිබඳව ඊට වසර අටකට පෙර 2009 දී එනම්, ත්‍රස්තවාදී යුද්ධය අවසන් අදියරේදී 2009 මැයි මස 10 වැනිදින පෙත්සම්කරුට දැනගන්නට ලැබී ඇති බවත්, ඒ අනුව එදිනම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ මාර්ෂල්වරයාට නියෝග කරනු ලැබ ඇති බවත්, එම සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය වූ සම්පත් මුණසිංහ නමැති ලුතිනන් කොමදෝරුවරයා දින 07 ක් නිවාඩු යවා පරීක්ෂණය පැවැත්වූ බවත්, ඔහුට රටින් පිටවීමට ඇති ඉඩකඩද වළක්වමින් පියවර ගනු ලැබ ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැහැදිලි කර සිටියේය.

ඒ පිළිබඳව අදාළ බලධාරීන් වන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාටද දැනුම් දෙමින් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පොලිස් විමර්ශනයක් සිදුකරන ලෙසටද පෙත්සම්කරු නිර්දේශකොට ඇති බවද ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (නා.හා 121/1194 දරන ලිපිය මගින්) ද දැනුම් දීමට පෙත්සම්කරු ක්‍රියාකොට ඇති බවත්, පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා කරුණු එසේම තිබියදී “රණවිරු දඩයම” ක්‍රියාත්මක කිරීම සඳහා වසර 8 කට පසු පෙත්සම්කරු ඇතුළු රණවිරුවන් පසුපස හඹා යෑමට රහස් පොලිසිය ක්‍රියාකොට ඇති බවත් කියා සිටියේය.

මෙම කරුණු දැක්වීම අතරතුර ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ නැගී සිටිමින් මැදිහත්කාරි පාර්ශ්වයක් වශයෙන් අතුරුදන් වූ තරුණයන් වෙනුවෙන් කරුණු දැක්වීමට උත්සාහ කරන ලද අතර, එහිදී ඊට සිය බලවත් විරෝධය පළකළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, මෙය “රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක්” නොවන බවත්, මෙය ශ්‍රේෂ්ඨාධිකරණය බවත් ප්‍රකාශකරමින් ඊට බාධා කරනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාද පෙනීසිටිමින් කරුණු දැක්වීය.

සියලු කරුණු දැක්වීම්වලින් අනතුරුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩය ඒකමතිකව තීරණයකට එළැඹෙමින් ප්‍රකාශ කර සිටියේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දිය හැකි වුවද එසේ කිරීමෙන් අනවශ්‍ය පරිදි කාලය වැයකිරීමක් සිදුවන බවත්, එබැවින් පෙත්සමෙහි ප්‍රකාශිත සමස්ත කරුණු වන අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා පෙත්සම්කරු විසින් කර ඇති ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් බව පැහැදිළිවන හෙයින් අතුරු නියෝගයක් මඟින් එය වැළැක්වීමට කර ඇති ඉල්ලීම වෙනුවට පෙත්සමේ ප්‍රධානතම ඉල්ලීම වන අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අවසන් නියෝගය නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවය.

ඒ අනුව, පෙත්සම්කරු විසින් සිය පෙත්සම සමඟ ඉදිරිපත්කොට ඇති දිවුරුම් පෙත්සමෙහි 86, 87 හා 106 ඡේදයන් මඟින් සහතික කොට ඇති පරිදි ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා දිනයක් හා වේලාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා විමසූ නීතිපති නියෝජනය වූ අතිරේක සොලිසටර් ජනරාල්වරයා ඒ සඳහා ලබන සඳුදා (11) පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඊට අවස්ථාව ලබාදුනි.

පෙත්සම් විභාගය අවසන් කරමින් තවදුරටත් විභාග කිරීම අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට එම ප්‍රකාශය ලබාදීමට පෙත්සම්කරු යොමුකිරීම නීතඥවරයාට පැවරීය.

ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ නීතිපතිවරයා පවසන ආකාරයට යම් කරුණක් සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් ඇතත්, එලෙස තමන්ට ඕනෑවුණු පළියට යමෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොමැති බවට අගවිනිසුරු ශ්‍රී පවන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දෙන ලද නඩු තීන්දුවේදී පැහැදිලිවම සඳහන්කොට ඇති බවද පොලිසියත් නීතිපතිවරයාත් එම නඩු තීන්දුව ගෙන කියවා බලා හෝ ඒ බව දැන ගන්නේ නම් යහපත් බවත්ය.

කුරිරු යුද්ධයෙන් දේශය බේරා ගැනීමට ඇප කැප වී ක්‍රියා කළ යුද, ගුවන් සහ නාවික හමුදා, සිවිල් සේවා හා පොලිස් සේවා බළඇණිවල සේවය කළ සැබෑ රණවිරුවන් අතරින් අනභිභවනීය සේවාවක් ඉටුකරමින් ත්‍රස්ත හමුදාවන්ට විදේශයන්ගෙන් සැපයුණු යුද අවි ආයුධ ඇතුළු සැපයුම් අවහිර කරමින් නැව් පිටින්ම මුහුදුබත්කිරීමේ මහා මෙහෙයුමක නියමුවාණන් වූ වසන්ත කරන්නාගොඩ රණවිරුවා ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම තරු 4 ශ්‍රේණියේ අද්මිරාල්වරයකු වශයෙන් අධිසම්මානයට පාත්‍රවන්නේද එම ත්‍රස්ත විරෝධී අතිබිහිසුණු යුද්ධයේදී දිවි පරදුවට තබා ඔහු විසින් කටු කළ එම මහඟු සේවාව නිසාමය.

සම්මානනීයත්වයට පත්වෙමින් තරු අතර ‘සතරතරු’ අද්මිරාල් තනතුරින් 2009 දී පුද ලබන මෙම සැබෑ රණවිරුවාට එරෙහිව වසර 7 කට පසු 2016 සැප්තැම්බර් 13 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාවික හමුදාවේම නිලධාරියකුගෙන් ප්‍රකාශයක් සටහන් වේ.

අද්මිරාල් කරන්නාගොඩට පමණක් නොව ඔහු සමඟ උරෙනුර ගැටෙමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඇප කැපවුණු අද්මිරාල් කොළඹගේ, කපිතාන් දසනායක, කොමදෝරු රණසිංහ යනාදීන්ටද එරෙහිව ලුතිනන් කොමදෝරු වෙලගෙදර විසින් ප්‍රකාශකොට ඇත්තේ වසර 7 කට පෙර සිදුව ඇති බවට එවකට වාර්තා වූ, අද්මිරාල් කරන්නාගොඩ විසින්ම පැමිණිලි කොට අප්‍රමාදීවම විමර්ශන සිදුකොට අවසන් කොට තිබූ තරුණයන් කණ්ඩායමක් 2009 මැයි මස 10 වැනි දින ත්‍රස්ත යුද්ධය නිමා වෙමින් පැවැති අවධියේදී පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමක් පිළිබඳව සිද්ධියක් හා සම්බන්ධයෙන්ය.

එකී විමර්ශනය අද්මිරාල් කරන්නාගොඩ විසින් භාරකොට ඇත්තේ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ මාර්ෂල්වරයාට වන අතර ඔහු විසින් අද්මිරාල්වරයාට දැනුම්දී ඇත්තේ එකී විමර්ශනයට අද්මිරාල් කරන්නාගොඩගේම ආරක්ෂක නිලධාරියා වන ලුතිනන් කොමදෝරු සම්පත් නමැති නිලධාරියා බාධා පමුණුවන බවය.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අද්මිරාල් කරන්නාගොඩ එවැනි තරුණයන් පිරිසක් ත්‍රිකුණාමලය කඳවුර තුළ රඳවාගෙන සිටින්නේද යන්න ගැන සොයා බලන ලෙස ප්‍රාදේශීය අණදෙන නිලධාරිවරයාට නියම කොට ඇති අතර ඔහු වාර්තා කොට ඇත්තේ එවැනි කිසිවකු එහි රඳවාගෙන නොමැති බවය.

ඒ සමඟම ක්‍රියාත්මක වූ අද්මිරාල් කරන්නාගොඩ ලුතිනන් කොමදෝරු සම්පත් 2009 මැයි මස 21 වැනි දින සිට දින 07 ක් නිවාඩු ගැන්වීමට පියවර ගෙන ඇත.

ඒහා සමඟම නා.හ. 121/1194 දරන 2009 මැයි මස 22 දිනැති ලිපියක් මඟින් ආගමන හා විගමන අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතමින් කොළඹ කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන ස්ථාන භාර නිලධාරිවරයාටද පිටපතක් සහිතව දන්වා යවා ඇත්තේ එම සම්පත් නමැති නිලධාරියා රටින් පිටවීමට උත්සාහ කළහොත් එය වළක්වාලීමට පියවර ගන්නා ලෙසය. එමෙන්ම ගුවන් තොටුපළ හා ගුවන්ගමන් සේවා අධිකායේ සභාපතිවරයාටද අද්මිරාල් කරන්නාගොඩ එම ලිපියෙහි තවත් පිටපත් යොමු කොටද ඇත.

එම අවස්ථාව වෙද්දී මෙකී පරීක්ෂණය විධිමත්ව පැවැත්වීම සඳහා පොලිසියට දැනුම්දිය යුතු බැව් නිගමනය කළ අද්මිරාල් කරන්නාගොඩ පසු දිනම එනම් 2009 මැයි මස 23 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමතමින් මෙකී පරීක්ෂණය පොලිස් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බැව් දැනුම් දී ඇත.

මේ අතර 2009 මැයි මස 28 වැනි දින ලුතිනන් කොමදෝරු සම්පත්ගේ නිල කැබිනය පොලිසිය ඉදිරිපිට දීම නාවික මාර්ෂල්වරයා විසින් විවෘත කොට බලා ඇති අතර සැකසහිත විශාල මුදල් ප්‍රමාණයක්ද පොරොන්දු පත්‍ර හා පුද්ගලයන්ගේ හැඳුනුම්පත් ඇතුළු ලියකියවිලි රාශියක්ද සොයාගැනීමට හැකිවී ඇත.

එදින (28දා) වන විට එම නිලධාරියාගේ නිවාඩු දින 07 නිමවී තිබුණද ඔහු සේවයට වාර්තාකර නොතිබූ බවද ඒ අනුව එදිනම ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය මත කොළඹ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද පැමිණි අතර සියලු තොරතුරු ප්‍රකාශ කොට නා.හ. 121/1194 ලිපියේ පිටපතක්ද තමාට භාර දී ඇත.

දෙදිනකට පසු එනම් 2009 මැයි 30 වැනි දින යළි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතමින් මෙම සම්පත් නමැති නිලධාරියා සේවයට වාර්තා නොකර සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අද්මිරාල් කරන්නාගොඩ විසින් ඉල්ලීමක් කොට ඇත.

මේ අතරතුර එම නිලධාරියා පොලිසියට භාර දෙන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් කළ අතර, එය දැනගත් විගස හමුදා මූලස්ථානයෙන් පැනයද්දී 2009 ජුනි මස 10 වැනි දින ඔහු අත්අඩංගුවට ගන්නා ලද බවද අද්මිරාල් කරන්නාගොඩ ප්‍රකාශ කොට ඇත.

මේ අතර 2009 ජුනි මස 17 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීලික්ස් පෙරේරා, අද්මිරාල් කරන්නාගොඩ වෙත ලිපියක් යොමු කරමින් නාවික හමුදාව විසින් පැහැරගෙන ගොස් ඇති තරුණයන් 05 දෙනා සොයාගැනීමට ආධාර කරන ලෙස ඉල්ලා ඇත.

එලෙස කරුණු පෙළගැසී තිබියදී ඉහත සඳහන් කළ වෙලගෙදර නමැති ලුතිනන් කොමදෝරුවරයා වසර 7 කට පසු 2016 සැප්තැම්බර් 13 වැනි දින අපරාධ පරීක්ෂණ ස්ථානාධිපතිවරයාට අසත්‍ය ප්‍රකාශයක් සිදුකරමින් තමා ඇතුළු පිරිසට චෝදනා කොට ඇති බවද අද්මිරාල් කරන්නාගොඩ අධිකරණයට ප්‍රකාශ කළේය. ඔහුට මේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ තර්ජන සිදුකළ බවද එකී නිලධාරියා ප්‍රකාශ කොට ඇතැයිද අද්මිරාල් කරන්නාගොඩ ප්‍රකාශ කර සිටියේය.

එකී අසත්‍ය ප්‍රකාශය පිළිබඳව කිසිදු සොයාබැලීමකින් තොරව පියවර ගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා 2009 සැප්තැම්බර් මස 27 වැනි දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කරමින් තමාට එරෙහිව කරුණු ඉදිරිපත් කරන ලද බවද අද්මිරාල් කරන්නාගොඩ අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.

ඊට පසුදින සැප්තැම්බර් 28 වැනි දින දුරකථනය මඟින් තමා ඇමතූ එම පොලිස් නිලධාරියා ප්‍රකාශයක් සටහන්කර ගැනීම සඳහා ඔහුගේ කාර්යාලයට පැමිණෙන ලෙස ඉල්ලා සිටි බවද එහෙත් ඔහුගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් නොවූයෙන් ජනාධිපතිතුමන්ගේ අනුමැතිය ලබා මිස තමාට පැමිණිය නොහැකි බව ඔහුට දන්වා සිටි බවද අද්මිරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.

පසුව සැප්තැම්බර් මස 30 වැනිදා ලිඛිත කැඳවීමක් කරමින් 2016 ඔක්තෝබර් මස 5 හා 6 යන දෙදින තුළ ඔහුගේ කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් ලද බවද අද්මිරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර රජයේ පුවත්පතක 2016 ඔක්තෝබර් 05 වැනි දින පළවූ පුවතක් තමාගේ ඡායාරූපයක්ද සහිතව ප්‍රකාශයට පත්ව තිබූ බවද තමා එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අතර ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා විසින් තම ප්‍රකාශයක් සටහන් කොට ගෙන අවසානයේ 06 නොව 07 වැනි දින (සිකුරාදා) යළි පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බවත් ඒ අනුව ඔවුන් සූදානම් වනුයේ සිකුරාදා සවස වනතුරු තබාගෙන සිට අත්අඩංගුවට ගෙන සෙනසුරාදා හා ඉරිදා දින 02 තුළ තමා සිර භාරයේ රඳවා තබාගැනීමට වූ ඔවුන්ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට බැව් හැඟීගිය බවත් අද්මිරාල් කරන්නාගොඩ සිය පෙත්සම මඟින් ප්‍රකාශ කොට තිබිණි.

ඒ අනුව තමා 2016 ඔක්තෝබර් 06 වැනි දින පොලිසිය භාර අමාත්‍ය ධුරයද දරන ජනාධිපතිතුමාටත්, අගමැතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, නාවික හමුදාපතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාටත් පිටපත් සහිතව පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් තමාට එරෙහිව වෙලගෙදර නමැති නිලධාරියා සිදුකොට ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් එහි සත්‍යාසත්‍යතාව පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

එලෙස ක්‍රියාකොට පසුදින 07 වැනි දිනයේද තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බවද එහිදී එදිනද සවස් වනතුරු විවිධ කරුණු විමසමින් සිටි ඔහු තවදුරටත් ප්‍රශ්න කළ යුතුව ඇති බැවින් හැකි කමක් තිබේනම් සඳුදා දිනයේද පැමිණෙන ලෙසත් හදිසියක් නොමැති හෙයින් වෙනත් දිනක වුවද පැමිණිය හැකි බව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා පැවැසූ බවත් අද්මිරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

මේ අතරතුර 2016 ඔක්තෝබර් මස 10 වැනි දින ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්කොට ඇති වෙබ් අඩවියක් වන ‘ලංකා ඊ නිව්ස්’ මඟින් අපහාසාත්මක ලිපියක් පළ කරමින්, ගරු විජයදාස රාජපක්ෂ මහතාත් (එවකට අධිකරණ ඇමැති) හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාත් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ක්‍රියා කරමින් සිටින බවට ප්‍රකාශ කර තිබූ බවද අද්මිරාල් කරන්නාගොඩ සිය පෙත්සම මඟින් ප්‍රකාශ කර සිටියේය.

එදිනම තමාද ආරක්ෂක ලේකම්වරයාට පිටපතක් සහිතව නාවික හමුදාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ලුතිනන් කොමදෝරු වෙලගෙදරගේ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා සිටි බවද, අද්මිරාල්වරයා සඳහන් කර ඇත.

මේ අනුව එකී අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ‘ත්‍රිවිධ හමුදා සේවා මණ්ඩලයක්’ පත්කොට විමර්ශනයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ලැබුණු බවද ඔහු ප්‍රකාශ කරයි.

එකී අසත්‍ය ප්‍රකාශය මත පවත්වාගෙන ගිය විමර්ශන එලෙස අඩපණ වෙද්දී ඇමෙරිකානු තානාපති කාර්යාලය තුළින් තවත් අලුත්ම පැමිණිල්ලක් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ රණවිරුවාට එල්ල වන්නේ 2017 අගෝස්තුව ලබද්දීමය.

එම පැමිණිල්ල හිටපු නාවික හමුදාපතිවරයකු වෙතින්ම ඉදිරිපත් වීම දෛවෝපගතය. එයද අනාවරණය වන්නේ හදිසියේම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බී’ වාර්තාවක් මඟින්මය.

2017 අගෝස්තු මස 02 වැනි දින ඉදිරිපත් කරන ලද බී. වාර්තාවෙන් ප්‍රකාශ වන්නේ පෙත්සම්කාර හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපති වශයෙන් කටයුතු කරන සමයේ නැඟෙනහිර (ත්‍රිකුණාමලය) නියෝජ්‍ය අඩවි අණදෙන නිලධාරියාව සිට නාවික හමුදාවෙන් ඉවත්වගොස් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රැකියාවක යෙදුණු රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා විසින් පළමුවන වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට ප්‍රකාශයක් ලබාදෙන ලද බවත් එම ප්‍රකාශය මඟින් තමාට (අද්මිරාල් කරන්නාගොඩට) එරෙහිව කරුණු 4 ක් සඳහන් කර ඇති බවත්ය.

තානාපති සේවයේ සිටිමින් එම ප්‍රකාශය ලබාදී යළි නාවික හමුදාවට එක්ව නාවික හමුදාපති ධුරයටද පත්වූ ඔහු විසින් ප්‍රකාශ කළ එම කරුණු නම් :

(අ) අද්මිරාල් කරන්නාගොඩගේ සුපරීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරෙහි පරිශ්‍රයක් තුළ නීති විරෝධී රැඳවුම් කුටි පවත්වාගෙන යන බවත්

(ආ) එම පරිශ්‍රයට ප්‍රවේශ නොවන ලෙසට හා එහි කටයුතු නිරීක්ෂණය නොකරන ලෙසටත්, කිසිදු ක්‍රියාකාරකමක නොයෙදෙන ලෙසත් තමාට (සින්නයියාට) අද්මිරාල් කරන්නාගොඩ නාවික අණදෙන නිලධාරියා උපදෙස් ලබාදී තිබූ බවත්,

(ඇ) එකී කඳවුරු කුටි තුළ රඳවා තබාගනු ලබන අයවලුන් පසුව මරාදමනු ලබන බව අද්මිරාල් කරන්නාගොඩ හා එහි තවත් නිලධාරීන් කිහිපදෙනකු දැනුවත්ව සිටි බවත්,

(ඈ) ඒ අනුව එකී කුටි තුළ රඳවා තබා පසුව මරා දමනු ලබන රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ සහමුලින්ම වගකිවයුතු බවත්ය.

2017 අගෝස්තු මස 02 වැනි දින මෙම කරුණු අධිකරණයට වගඋත්තරකාර නිශාන්ත ද සිල්වා විසින් වාර්තා කළ බව දැනගන්නට ලැබුණු විගසම ඒ වනවිට නාවික හමුදාපති වූ වයිස් අද්මිරාල් රවි විජේගුණරත්නට ලිපියක් යොමු කරමින් ඒ බව දැනුම් දෙමින්, එකී චෝදනාද සම්පූර්ණ අසත්‍ය චෝදනා බව ප්‍රකාශ කොට අප්‍රමාදවව එකී කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බවද අද්මිරාල් කරන්නාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට සිය නීතිඥවරයා මඟින් ප්‍රකාශ කළේය.

එමෙන්ම එම කරුණු මතම පසුව ජනාධිපතිවරයාට පිටපතක් සහිතව ආරක්ෂක ලේකම්වරයාටද ලිපියක් යොමු කළ බවද එමඟින් ප්‍රකාශ විය.

එයට ප්‍රතිචාරයක් ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් එවන ලද ලිපියක් මඟින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ජනාධිපතිවරයා ඉදිරියේදී ක්‍රියාකරනු ලබන බව දන්වන ලදැයිද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කරනු ලැබීය.

එම පියවරයන්හි ප්‍රතිඵලයක් ලෙස පළමුවැනි වගඋත්තරකාර පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර හෝ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හෝ පොලිස්පති ජූජිත් ජයසුන්දර හෝ ඔවුන් වෙනුවෙන් වෙනත් යම් නිලධාරියකුගේ ට්‍රැවිස් සින්නයියාගේ හෝ වෙලගෙදර විසින් තමාට එරෙහිව කළ අසත්‍ය ප්‍රකාශයන් මත තමාගෙන් කිසිදු කරුණු විමසීමක් හෝ ප්‍රශ්න කිරීමක් හෝ ප්‍රකාශ සටහන් කර ගැනීමක් තබා කැඳවීමක් හෝ සිදු නොවූ බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

පුරා වසරක තරම් දීර්ඝ වූ කාලපරාසයකට පසුව යළිත් මෙම කරුණ දිගහැරෙන්නේ ‘ජිනීවා මානව හිමිකම් සැසිය ආරම්භ වන කාල වකවානුව වූ 2018 සැප්තැම්බරයේදී බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ අවධානයට යොමු කළේය.

ඒ 2018 සැප්තැම්බර් මස 26 වැනිදා තවත් ‘බී’ වාර්තාවක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පළමු වගඋත්තරකාර පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් සමඟමය.

එමඟින් ප්‍රකාශ වූයේ අද්මිරාල් කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටියදී (2009 වර්ෂයේ) ඔහුගේ නාවික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තමාට ප්‍රකාශයක් ලබාදුන් බවත් ඒ අනුව මෙම පුද්ගලයන් පැහැර ගැනීම පිළිබඳ නඩු කටයුත්ත යළි ආරම්භ කළ බවත් ඔහුගේ ප්‍රකාශය අනුව අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් අවශ්‍ය පියවරයන් ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් තරුණයන් 5 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට වගකිවයුතු පුද්ගලයකු බවට ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්ය.

මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ 2014 දී විශ්‍රාම ලැබූ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු විසින් විශ්‍රාම ගැනීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීමකට භාජන වී ඇති බවත්, එහිදී ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙම තරුණයන් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව කිසිදු ආකාරයකින් චෝදනාවක් නැඟීමට නොහැකි බවත් ඔහු එම අවස්ථාවේදී එකී සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවරයන් අප්‍රමාදවම ගනු ලැබූ බවත්ය.

ඒ බැව් තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීලික්ස් පෙරේරා විසින් එකී සිසුන් 05 දෙනා සම්බන්ධයෙන් යොමුකරන ලද ලිපිය ලද විගසම අවශ්‍ය සියලු සොයා බැලීම් හා අදාළ අනෙකුත් පියවරයන්ද ගැනීම අප්‍රමාදව අද්මිරාල් කරන්නාගොඩ ක්‍රියාකර ඇති ආකාරයද ඔහු පැහැදිලි කර සිටියේය.

අවසන් වරට අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව ප්‍රකාශය ලබාදී ඇති රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු එම ප්‍රකාශය ලබාදීමත් සමඟම රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කිරීමට රජයෙන් පියවර ගැනීමද එකී ප්‍රකාශයේ මූලාශ්‍රය කුමක්ද යන්න තහවුරු කරන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේය.

තවද ඉන් අනතුරුවද ඔහු හා ඔහුගේ බිරියද 2016 නොවැම්බර් 19, 2017, 2018 ජනවාරි 1 වැනි දිනයන්හිදීද 2018 අප්‍රේල් පළමුවැනිදාද අද්මිරාල් කරන්නාගොඩ හා ඔහුගේ පවුලේ අය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවට තහුවරු කෙරෙන එස්.එම්.එස්. කෙටි පණිවුඩයක්ද ඔවුන්ගේ වැඩිමහල් දියණියගේ විවාහ මංගල්‍ය සඳහා ගෝල්ෆේස් හෝටලයට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

තවද ඊට ප්‍රථම අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව ප්‍රකාශය ලබාදී ඇති ට්‍රැවිස් සින්නයියා මෙම ප්‍රකාශයට අදාළ සිද්ධිය වන කාලසීමාවේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර පිහිටි ප්‍රදේශයේ පාලනය භාරව සිටි නියෝජ්‍ය අණදෙන නිලධාරි වූ හෙයින් එම කඳවුර තුළ එවැනි යම් සිද්ධියක් සිදුවී නම් ඒ පිළිබඳව පූර්ණ වගකීම ඔහු විසින්ම භාරගත යුතු බවද එලෙස යමක් සිදුවීත් ඒ පිළිබඳව නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන්ද වරද ඔහුට පැවරෙන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

තවද ෂෙමාල් ප්‍රනාන්දු හා අද්මිරාල් කරන්නාගොඩ අතර හුවමාරුවී ඇති දුරකථන පණිවුඩයන්හි සහතික කළ පිටපත්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් වෙනත් පිරිසකගේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාකරමින් ජිනීවා සමුළුවට පෙර එදා වූ ත්‍රස්තවාදී යුද්ධයේ අති ප්‍රබලතම රණවිරුවකු ලෙස ත්‍රාස්තවාදීන්ගේ සියලු සැපයුම් මාර්ග අවහිර කරමින් යුද ආයුධ ඇතුළු උපකරණ රැගත් නැව් මහ සයුර මැදදී විනාශ කර දැමීමට ක්‍රියා කළ අද්මිරාල් කරන්නාගොඩ අත්අඩංගුවට ගත්බව වාර්තා කිරීමට අවශ්‍ය තුරුම්පුවක් ලෙස මෙම ‘බී’ වාර්තාව ඉදිරිපත් කොට ඇති බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට ප්‍රකාශ කර සිටියේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යනු පොලිස් නිලයට නොගැළපෙන ආකාරයෙන් දේශපාලනඥයන්ගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන ඔවුන්ගේ බැලමෙහෙකාරකම් කරන ‘නීතිය’ ‘අනීතිය’ බවට පත්කරමින් කිසිදු පදනමකින් තොරව තම දේශපාලන හාම්පුතුන්ගේ කීම් බස් අනුව ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් සිරගත කිරීමටත් එකී ප්‍රතිවාදීන්ගේ චරිත ඝාතනය වන ආකාරයෙන් අභූත චෝදනා ගොනුකරමින් මාධ්‍ය හරහා ඒවා ප්‍රචාරය කරවමින් ඔවුන් අපකීර්තියට පත්කිරීමටත් කටයුතු කළ ඉතාමත්ම අශෝභන නිලධාරියකු බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.

තවද ඔහු එක්සත් ජාතීන්ගෙන් මානව හිමිකම් නිලධාරීන් ඉදිරියේ ඔවුන්ගේ සුවච ගෝලබාලයන් ලෙස හැසිරෙන ආකාරය අධිකරණය හමුවේදී අනාවරණය වී ඇති බව පැවැසූ ජනාධිපති නීතිඥවරයා ඊට නිදසුනක් වශයෙන් පහත සිද්ධියද හෙළි කර සිටියේය.

සියලු කරුණු කෙරෙහි සිය අවධානය යොමුකළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ඒකමතිකව ප්‍රකාශ කරන ලද්දේ පෙත්සම්කාර අද්මිරාල් කරන්නාගොඩ විසින්ද ඔහුගේ උගත් ජනාධිපති නීතිඥවරයා විසින් ද මනාව ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන හෙයින් පෙත්සම විභාග කිරීම සඳහා අනවශ්‍ය කාලයක් වැය කිරීමක් නොකොට පෙත්සම්කරුගේ අවසාන ඉල්ලීම මෙන්ම ප්‍රමුඛතම ඉල්ලීමද වන අයුතු අත්අඩංගුවට ගැනීමකට ඇති ඉඩකඩ අසුරාලමින් ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ටත් නියෝග කරන බවය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත සුගත් කල්දේරා සහ නිරාන් ඇන්කටෙල් නීතිඥවරුන් සමඟ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර අද්මිරාල් කරන්නාගොඩ මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්විය.

– කමල් මහේන්ද්‍ර වීරරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *