කාන්තා දිනයදා පයිලට්‌ නෝනලා ඉගිල්ලෙති; කාර්ය මණ්‌ඩලයම කාන්තාවෝ

(09.03.2019 – divaina.com)

කාන්තාවන් පමණක්‌ සහභාගී වී සිටින ගුවන් යානා කාර්ය මණ්‌ඩලයකින් සමන්විත ගුවන් ගමනක්‌ ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් සිංගප්පූරුව වෙත පිටත් කර යෑවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

එසේ එම ගුවන් ගමන සංවිධානය කර තිබුණේ ඊයේට (08 දා) ට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.

මෙම යානයේ ප්‍රධාන නියමුවා මෙන්ම, සහායක නියමුවා ද කාන්තාවක්‌ වූ අතර, අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්‌ඩලයේ සියලු දෙනා ද කාන්තාවෝ වන අතර, එහි සිටි සමස්‌ත කාර්යය මණ්‌ඩලය 08 කි.

මොවුන් ඊයේ (08 දා) අලුයම 1.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 306 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, මෙම ගුවන් යානය තුළ පිරිමි මගීහු කීප දෙනෙක්‌ පමණක්‌ සිටියහ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් ගමන සඳහා ඒ – 320 එයාර් බස්‌ වර්ගයේ ගුවන් යානයක්‌ යොදවා තිබුණි. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලෝකයේ වෙනත් රටවල ගුවන් ගමන් සේවා ද මේ ආකාරයට කාන්තාවන්ගෙන් පමණක්‌ සමන්විත ගුවන් ගමන් සංවිධානය කරයි.

++++++++++++++++++++++++

කාන්තාවන් පමණක් මෙහෙයුම් කළ ලංකාවේ පළමු ගුවන් යානය – UL306

(08.03.2019 – biz.adaderana.lk)

ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින් කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයකි.

ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය කාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ සහ ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මිරින්ඩා රුද්‍රිගෝ කටයුතු කළේය. ගුවන් යානයේ මගීන් 177 දෙනෙකු ගමන් කළේය.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ලොව පුරා සේවය කරන සියලුම කාන්තාවන් පිළිබඳ ආඩම්බර වන්නෙමු ෴

*****************************************

කෝටි 500 දියමන්තිය රාජසන්තකයි! හිමිකාරිත්වය ඔප්පු කිරීමට නීත්‍යනුකූල ලේඛන කිසිවක්‌ නෑ!

(09.03.2019 – divaina.com)

මාකඳුරේ මධුෂ් මෙහෙය වූ පාතාල කල්ලිය සතුව තිබියදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය රාජසන්තක කිරීමට ඉඩ ඇති බව පොලිසිය පවසයි.

මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් හොර රහසේ සෞදි අරාබියේ සිට මෙරටට ගෙනැවිත් තිබූ එකක්‌ බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම දියමන්තියේ හිමිකාරිත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල ලිපි ලේඛන කිසිවක්‌ නොමැති බව ද පොලිසිය පවසයි. මැණික්‌ ව්‍යාපාරිකයා සතුව ඇති ලිපි ලේඛන පෞද්ගලික ආයතනවලින් ලබාගත් ඒවා බව ද පොලිසිය පවසයි. මෙම දියමන්තිය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර එහි තක්‌සේරු වාර්තාවක්‌ ගෙන නොතිබූ බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

දියමන්තිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පෑලියගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර තක්‌සේරු වාර්තාවක්‌ ලබාගැනීමට ඊයේ කටයුතු කර තිබිණි.

දියමන්තියේ නියම වටිනාකම ලබන 11 වැනිදාට ලබා දෙන බව එහිදී මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

මාකඳුරේ මධුෂ්ගේ උපදෙස්‌ මත පාතාල කණ්‌ඩායමක්‌ විසින් මෙම දියමන්තිය මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි මැණික්‌ ව්‍යාපාරිකයාගේ නිවසින් කොල්ලකා තිබුණේ ඉකුත් නොවැම්බර් මාසයේදීය.

මෙම මැණික්‌ ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තමන් සෞදි අරාබියේ රැකියාවක්‌ කළ කාලසීමාවේදී මෙම දියමන්තිය පස්‌ ගොඩක තිබී හමුවූ බවයි. එම පස්‌ගොඩ දකුණු අප්‍රිකාවෙන් රැගෙන ආ ඒවා බව ද මැණික්‌ ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

තමන් මෙම දියමන්තිය සෞදි අරාබියේ සිට හොර රහසේ ශ්‍රී ලංකාවට රැගෙන ආ බවත් එය රැගෙන ඒම සඳහා කිසිදු බලපත්‍රයක්‌ හෝ රේගු ගාස්‌තුවක්‌ නොගෙවූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

රේගු නීති රීති උල්ලංඝනය කරමින් මෙතරම් වටිනා දියමන්තියක්‌ හොර රහසේ මෙරටට ගෙන ඒම බරපතළ ක්‍රියාවක්‌ බව පවසන පොලිසිය මෙම දියමන්තිය බොහෝ විට රාජසන්තක කිරීමට ඉඩ ඇති බව ද කියා සිටියි.

මෙම දියමන්තිය කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා බව කියන කැලුම් ඉන්දික නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ සඟවා තිබියදී දියමන්තිය සොයා ගැනීමට හැකි විය.

– නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *