විහාරස්ථානයක නම විකුණමින් මුදල් චංචා කළ චීවරධාරියෙක් ඇතුළු 2ක් ගස් බඳී – විඩියෝ

(16.03.2019 – 12:04 +0530 – sinhala.adaderana.lk)

මීගොඩ පොලිස් වසමේ, ගොඩගම විහාරස්ථානයේ හා එහි විහාරාධිපතිගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළ චීවරධාරියෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ චීවරධාරියා සහ ගිහි පුද්ගලයා ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගොඩගම විහාරස්ථානයේ විහාරධිපති ස්වාමීන් වහන්සේට වකුගඩුවක් බද්ධ කිරීමට සහ දඹදිව වන්දනාවේ යාමට බව පවසමින් අදාළ සැකකරුවන් දෙදෙනා මුදල් රැස් කර ඇති බව සඳහන්ය.

ඊයෙ දින මෙම සැකකරුවන් දෙදෙනා විහාරධිපති ස්වාමින් වහසේන්ගේ නම භාවිතා කරමින් මීගොඩ දහම් මාවතේ මුදල් රැස් කරමින් සිටි අවස්ථාවේදී ගොඩගම විහාරස්ථානයේ විහාරධිපති ස්වාමින් වහන්සේ විසින් අල්ලා ගස් බැඳ ඇති බව වාර්තා වෙයි.

පසුව මෙම සැකකරුවන් දෙදෙනා ගොඩගම විහාරස්ථානයේ විහාරධිපති ස්වාමින් වහන්සේ විසින් මීගොඩ පොලීසියට බාර දී ඇති බව අප වාර්තාකරු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

*****************************************

ජල සම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවකින් ජලය ඇද්ද 2 ක් කොටුවෙයි

(15.03.2019 – 09:58 +0530 – sinhala.adaderana.lk)

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ගබඩාවකින් නීති විරෝධී අන්දමින් ජලය ප්‍රවාහනය කළ දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් බණ්ඩාරගම ජල ගබඩාවෙන් කලක සිට රහසිගත අන්දමින් ජලය ප්‍රවාහනය කරන බවට පොලීසිය ලද තොරතුරක් මත ඊයේ (14) රාත්‍රියේ වැටලීමක් කර ඇත.

පොලීසිය පැවසුවේ වැටළීම සිදු කළ අවස්ථාවේදීත් පානදුර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයට අයත් බවුසර් රථ 03 කට ජලය නීතිවිරෝධී අයුරින් පුරවමින් සිටි බවය.

එහිදී එම බවුසර් රථ තුන සහ එහි රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීම අතරතුර එක් රියදුරෙක් පලාගොස් තිබුණි.

පොලීසිය සඳහන් කළේ පුද්ගලික ආයතනයකට අයත් මෙම එක් බවුසරයකින් ජලය ලීටර 13,000 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි බවය ෴

*****************************************

විවිධ නලා සවිකර ඇති වාහන සොයා කළ මෙහෙයුමෙන් වාහන 148 කට නඩු

(15.03.2019 – 09:03 +0530 – sinhala.adaderana.lk)

මොණරාගල පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන දහඅටම ආවරණය වන පරිදි විවිධ නලා වර්ග සහ බල්බ යොදා ධාවනය වන වාහන සොයා සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමකින් එවැනි නලා වර්ග සවිකළ රථ වාහන 148 ක් සම්බන්ධව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව වාර්තා වෙයි.

ඊයේ (14) උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කර සිටියි.

මෙම මෙහෙයුමේදී විශේෂයෙන්ම බස් රථ සහ ටිපර් රථ පරීක්ෂාවට ලක් වූ අතර එම රථ වාහන වල අධික ශබ්දයක් සහිත විවිධ නලා වර්ග සවිකර තිබී ඇත.

මෙවැනි මෙහෙයුම් මොණරාගල කොට්ඨාශය පුරා අඛණ්ඩව සිදු කරන බව පොලීසිය සඳහන් කර ඇත.

*****************************************

වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි 3 ක් අත්අඩංගුවට

(15.03.2019 – 08:49 +0530 – sinhala.adaderana.lk)

නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (14) රාත්‍රී 7 ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් වෑන් රථය කොල්ලකා වෑන් රථයේ හිමිකරුගේ අත් පා බැඳ වෑන් රථයේ රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,30,31 හා 38 යන වසස්වල පසුවන ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, නාරන්වල හා කතරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (15) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *