විල්පත්තුවේ තවත් වන සංහාරයක් – ආනන්ද සාගර හිමි

(21.03.2019 – 19:03 +0530 – sinhala.adaderana.lk)

විල්පත්තු රක්ෂිතයේ පරිවාර රක්ෂිතයක කර්මාන්ත පුරයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව පරිසර සංවිධාන පවසා සිටියි.

ඔවුන් මේ බව සඳහන් කළේ විල්පත්තු සංහාරය පිළිබඳව යළිත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි.

විල්පත්තු විලත්තිකුලම් වන සංහාරය පිළිබඳව අද දෙරණ උකුස්සා වසර දෙකක පමණ කාලයක සිට අවස්ථා රැසකදී රටට තොරතුරු අනාවරණ කළේය.

එහෙත් මේ විනාශය සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වූ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා අවස්ථා රැසකදී ප්‍රකාශ කළේ විල්පත්තුවේ කිසිඳු වන විනාශයක් සිදුව නොමැති බවය.

කෙසේ වෙතත් පරිසර සංවිධාන වෙතින් දිගින් දිගටම අමාත්‍යවරයාට දැඩිව චෝදනා එල්ල කළේය.

ඒ අනුව ඔවුන් විසින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාවද දැනුවත් කරනු ලැබූ අතර ඒ පිළිබඳව සොයා බලා විශේෂ විගණන වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විගණකාධිපතිවරයාට නියෝග කළේය.

එහිදී අනාවරණ වූයේ විලත්තිකුලම් රක්ෂිතයේ නැවත පදිංචි කිරීම් සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙසට රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත දන්වා තිබුණත්, එවන් පියවරක් ගැනීමට අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොමැති බවය.

එහි නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් සඳහා වුවද මෙහි ඉඩම් ලබාදී තිබුණේ යුද්ධය නිසා ඉඩම් අහිමිවීමක් සිදුවී නොමැති පුද්ගලයන් හට බවද එම වාර්තාවේ සඳහන් විය.

එමෙන්ම නීති විරෝධි අයුරින් රක්ෂිත භූමියෙන් ඉඩම් අදාළ පවුල් වෙත ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය වුණි.

ඒ අනුව පැහැදිලිව අමාත්‍යවරයා විසින් වරදක් සිදුකර ඇති බවට මෙහි සඳහන් වුවද මේ වන තෙක් කතානායකවරයාට භාරදී ඇති විගණන වාර්තාවට අදාළව කිසිඳු පියරවක් අමාත්‍යවරයාට එරෙහිව ගෙන නැත.

මේ පිළිබඳ කතාබහ තවදුරටත් තීව්‍ර කරමින් පරිසර සංවිධාන අද (21) කියා සිටියේ විල්පත්තු වනාන්තරයේ පරිවාර රක්ෂිතයක කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා රජයෙන් ඉල්ලිමක් කර ඇති බවයි.

මේ අතර විල්පත්තු වන සංහාරය පිළිබඳව තම අදහස් දක්වමින් පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් විල්පත්තුවේ මුල්ලික්කුලම් ග්‍රාමය ආසන්නයේ ඇති රක්ෂිත වනාන්තර පද්ධතිය තුළ කර්මාන්තපුරයක් ඇති කිරීම සඳහා අක්කර 75 කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගනිමින් තවත් වන සංහාරයක් සඳහා වන ව්‍යාපෘතිය මේ වන විටත් දියත් කර ඇති බවය.

ඒ සඳහා වගකිවයුතු ආයතනද මේ පිළිබඳ අවධානය යොමු නොකරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ආනන්ද සාගර හිමි ප්‍රකාශ කර සිටියේය.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *