ගසක් යට පාඩම් කරමින් සිටි අසරණ දරු දෙදෙනාට නිවෙසක් හිමිවෙයි

(19.10.2017 – mawbima.lk)

නිවෙසක් නොමැති දරුවන් දෙදෙනකු පිළිබඳ මුහුණු පොතේ (ෆේස් බුක්) පළ කර නිවෙසක් තනාදීම සඳහා පිහිට වන ලෙස කළ ඉල්ලීමකට මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරික පිරිසක් ඉදිරිපත් වූ බවත් නිවෙසක් තැනීමට ඉඩමක් දීමට ප්‍රදේශයේ දානපති ව්‍යාපාරිකයකු ඉදිරිපත් වූ බවත් පොළොන්නරුව තමන්කඩුව දෙපළාතේ ද්විතීය අධිකරණ සංඝනායක ලංකාපුර කොට්ඨාසයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ශ්‍රී ශාක්‍යා බිම්බාරාමාධිපති යටිහලගල උපතිස්ස හිමි පැවැසීය.

නාහිමියෝ මෙසේද කීහ. මම පසුගිය දිනක දානයකට ගොස් එන ගමනෙදි පොඩි ගැහැනු දරුවන් දෙදෙනකු ගසක් යට පාඩම් කරමින් ඉන්නවා. බලපුවාම පොඩි ගෙයක් අනවසර තැනක හදාගෙන අම්මයි දරුවෝ දෙන්නයි ඉන්නේ. දරුවන්ගේ පියා නෑ. පස්සේ මම පොටෝ එකක් අරන් මාගේ මුහුණු පොතේ දැම්මා මේ අහිංසක දරුවන්ට නිවෙසක් හදා දෙන්න ඉදිරිපත් වෙන්න කියලා. මේක දැකලා මහරගම ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරික පිරිසක් ඉදිරිපත් වෙලා පොළොන්නරුව – ගල්තඹරාවේ විහාරස්ථානයේ රාහුල හාමුදුරුවොත් සමඟ පසුගියදා මෙම ප්‍රදේශයට පැමිණියා. මේ අම්මයි දරු දෙන්නයි තාවකාලික නිවෙස හදාගෙන ඉන්නේ වීරපුර සමිති ශාලාව පිහිටි පොඩි ඉඩ ප්‍රමාණයක. ඒ දරුවන් වෙනුවෙන් ඉඩමක් දෙන්න හාල් මෝල් ව්‍යාපාරික නන්දසේන මහතා ඉදිරිපත් වුණා. ඒ සඳහා ඉඩම නිරවුල් කරදීමට ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා ඉදිරිපත් වුණා. දැන් මේ අහිංසක දරුවන්ට මැරෙන තුරා ජීවත් වෙන්න නිවෙසක් ඉදිකර දීමට මේ මාසේ 23 දින සියලු කටයුතු සිදු කරනවා යැයි කීහ.

අයිරින් හේමලතා (45) සහ දෙව්මිණි ප්‍රියදර්ශනි (12), පවනි නිසංසලා (09) දියණියන් දෙදෙනා සමඟ තනිවම ජීවත් වෙන්නේ දියණියන්ගේ පියා ඔවුන්ව හැරදමා යෑම නිසායි. ඉන්න හිටින්න තැනක් නොමැති නිසා වීරපුර සමිති ශාලාව අසල කුඩා පැලක් ඉදිකර ගෙන කුලී වැඩ කරමින් දියණියන් දෙදෙනා රැකබලා ගනිමින් වසර ගණනක් දිවි ගෙවා ඇත. පසුගිය දිනක සිදු වූ සිදුවීම ඔවුනට සිහිනයක් විය.

දරුවන්ගේ මව මෙසේ පැවසුවාය. “අපි අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් අවුරුදු ගාණක් හිටියා කිසිවකුගෙන් පිහිටක් ලැබුණේ නෑ. නිවෙසක්, ඉඩමක් කියන ඒවා අපේ සිහින විතරයි. උපතිස්ස නායක හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න අපිට දැන් නිවෙසක් සහ ඉඩමක් ලැබුණා” යැයි කීවේ නෙත් තුළින් ගලා ආ කඳුළුත් සමඟය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *