උස් අසුනට කනස්සල්ල පළ කර රාමඤ්ඤ නිකායෙන් ජනපතිට ලිපියක්

(29.03.2019 – 19:28 +0530 – sinhala.adaderana.lk)

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම වෙනුවෙන් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා මහමළුවේ පසුගියදා පැවති උත්සවයේදී මහනායක හිමිවරුන්ට අසුන් පැනවීම අතිශයින්ම විනය විරෝධී හා සදාචාර විරෝධී බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහාලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන නාහිමි මෙම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ විනය විරෝධීව සිදුකළ ක්‍රියාවට එරෙහිව කඩිනම් පියවරක් ගත යුතු බවයි.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී පසුගියදා පැවැත් විය.

එහිදී සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙනුවෙන් උස් අසුන්ද,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට සහ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් උදෙසා තරමක් උසින් අඩු අසුන් ද පනවා තිබූ ආකාරය දැකගත හැකිවිය.

ඒ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම මහාසංඝරත්නය අතර මෙන්ම ජනතාව අතරත් කතාබහක් නිර්මාණය වී තිබුණු පසුබිමක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ලිපියක් නිකුත් කරනු ලැබීය.

එම ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ බුද්ධ වචනය අනුව ප්‍රමුඛත්වය දිය යුත්තේ උපසම්පන්න වස් ගණනින් වැඩි හිමිවරුන්ගේ වෘද්ධ පටිපාටිය අනුව බවයි.

එසේ නොමැතිව රහත් භික්ෂුවකට වුවද මුල් අසුන හිමි නොවන බවත් උස මහත, නිකාය, පාර්ශ්වය හෝ තානාන්තර යනාදී කරුණු එහිදී වැදගත් නොවන බවද උන්වහන්සේ එමගින් පෙන්වා දී තිබේ.

වයසින් සහ වස් ගණනින් ඉහළ මට්ටමක සිටින රාමඤ්ඤ , අමරපුර නිකායන්හි මහනාහිමිවරුන් උදෙසා පහත් පෙළේ අසුන් පනවා වස් ගණනින් අඩු අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරු උදෙසා වේදිකාවේ උස් අසුන් පනවා තිබීම ගිහි පැවිදි බොහෝ පිරිසකගේ පිළිකුලට හා උපහාසයට ලක්වූ බවයි එහි දැක්වෙයි.

ඒ අනුව මෙම ක්‍රියාව සිදුකළ පිරිස් වලින් වහා කරුණු විමසා මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙසත් එසේ නොගන්නේනම් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ශ්‍රී ලංකා අමරපුර නිකායද සමඟ එක්ව නිකායන් දෙකෙහි ශාසනික ගෞරවය ආරක්ෂා වන පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීරණය කළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

*****************************************

දයා අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

(29.03.2019 – 22:34 +0530 – lankadeepa.lk)

ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ දයා අබේසේකර මහතා අද (29) අභාවප්‍රාප්ත විය.ඒ මහතා මාධ්‍ය තුල මෙන්ම රංගන ශිල්පියකු ලෙසද කටයුතු කළේය.

සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්තගේ ළමා කාලය නිරුපණය කළ දයා අබේසේකර මහතා , ප්‍රවීන නර්තන ශිල්පිනි පද්මිණි දහනායක සමඟ මෙම චිත්‍රපටයේ ජීවන මේ ගමන සංසාරයේ ගීතයට රංගනයෙන් දායක විය.

ස්වාධීන රුපවාහිනි සේවයේ ‘Rupees and Sense’ වැඩසටහන මෙහෙයවූ ඒ මහතා ප්‍රවීන ගී පද රචක කරුණාරත්න අබේසේකරගේ සහෝදරයා වන අතර

ඔහු මිය යන විට 80 වන වියේ පසුවිය.

දේහය හෙට (30) සවස 7 සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන අතර අවසන් කටයුතු 31 වැනි ඉරිදා සවස 4.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *