විල්පත්තු වන විනාශය ගැන පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නැයි ඉල්ලීමක්

(30.03.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala)

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කතානායකවරයා සමග සාකච්ඡා කර විශේෂ කමිටුවක් පත් කරන ලෙසට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය, පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මෙරට වනාන්තර විනාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ඊයේ හමුවූ අවස්ථාවේදීයි.

මේ අතර, විල්පත්තුව, සිංහරාජය සහ නකල්ස් ඇතුළු ශ්‍රී ලංකාවේ වනාන්තරයන්ට සිදුකරන හානිය සහ පරිසරයට මිනිසුන්ගෙන් වන හානි සදහා විරෝධය පළ කරමින් දිවයිනේ නගර කිහිපයකම අද විරෝධතා පැවැත්වුණා.

ඒ අනුව, ෆේස්බුක් සමාජ ජාලය හරහා සංවිධානය වූ තරුණ තරුණියන් සහ ස්වාමින් වහන්සේලා පිරිසක් නාත්තන්ඩිය නගරයේ විරෝධතාවයක නිරත වූ අතර, එහිදී ඔවුන් කළු පටි පැළද සහ කළු කොඩි ඔසවා සිය විරෝධය පළ කළා.

පසුව ඔවුන් නාත්තන්ඩිය නගරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක ද නිරත වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඊට අමතරව, බදුල්ල නගරයේදී ද විරෝධතාවයක් පැවති අතර එය සංවිධානය කර තිබුණේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් සහ තවත් තරුණ කණ්ඩායම් විසින්.

රිකල්ලගස්කඩ ප්‍රදේශයේ ද අද එවැනි විරෝධතාවයක් පැවති අතර එහිදී වන විනාශයට එරෙහිව අත්සන් ලබා ගැනීමක් ද සිදුවුණා.

හොරණ නගරය කේන්ද්‍ර කර ගනිමින් ද විරෝධතාවයක් සහ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් සංවිධාන කර තිබුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *