ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්

(31.03.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala)

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

බොරැල්ල – කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය, ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අද (31) උදෑසන අත්අඩංගුවට ගැනුණා.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිස් ඇප මත දිමුත් මුදා හැරුණු අතර ඔහු හෙට (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා ෴

++++++++++++++++++++++++

දිමුත් කරුණාරත්න අධිකරණයට – ඇප ලබාදීම ගැන පොලිස්පතිගේ අවධානය

(01.04.2019 – 07:26 +0530 – hirunews.lk/sinhala)

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත්, මොහුට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි පොලීසිය දැනුම් දී ඇත්තේ.

බොරැල්ල – කිංසි – හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග වර්ණ සංඥා උල්ලංගණය කරමින් ඊයේ අලූයම මොහු පැදවූ ජීප් රථය, ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුවූ අතර සිද්ධියෙන් ත්‍රිරෝද රථ රියදුරා සුළු තුවාල ලැබුවා.

ඉන් අනතුරුව දිමුත් කරුණාරත්න ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් අතර පසුව පොලිස් ඇප මත මුදා හැරීමටයි බොරැල්ල පොලීසිය කටයුතු කරනු ලැබුවේ.

මේ අතර, බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

මෙම සිද්ධියේදී මොහු සිය ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

*****************************************

බෙලිඅත්ත දක්වා අවසන් පරීක්ෂණ දුම්රිය ධාවනය කෙරේ

(31.03.2019 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළලමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටසේ අවසන් පරීක්ෂණ දුම්රිය අද ධාවනය කෙරුනා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුලු දේශපාලන නියෝජිත පිරිසක් ඊට එක්වු බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මාතර සිට බෙලිඅත්ත දක්වා වන කිලෝමීටර් 36 ක කොටස ලබන අප්‍රේල් මස 8 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

මෙම දුම්රිය මාර්ගය විවෘත කිරීමෙන් පසු බෙලිඅත්ත සිට දුම්රිය වාර 4 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් තුනක් මරදාන දක්වාත් අනෙක් දුම්රිය කිලිනොච්චිය දක්වාත් ධාවනය කෙරෙන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ඒ ඩී ජී සෙනවිරත්න කියාසිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *