ශ්‍රී ලාංකීය සංගීත කළාව පෝෂණය කළ අව්‍යාජ නිහඬ මිනිසා – එච්.එම්. ජයවර්ධන ශූරීන් දිවි ගමනට සමුදෙයි…!

(08.04.2019 – nethgossip.lk)

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් තිබෙනවා. ඔහු ගායක කසුන් කල්හාර මහතාගේ පියා වන අතර නැසීගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ සැමියා වනවා.

‘පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ’, ‘සඳ තරු නිහඬයි’, ‘ඔබයි රම්‍ය සඳ කිරණ’, ‘කඩමංඩියේ දොළ අයිනේ’, ‘මා එක්කලා අමනාපව වී දබර’…. වැනි ඉතා ජනප්‍රිය ගීත ඇතුළු මෙරට රසික ජනයා අමන්දානන්දනයට පත්කල අරැත්බර ගී තනු දහස් ගණනක හිමිකරුවා වන ඔහු මෙරට සංගීත කේෂ්ස්ත්‍රය වෙනුවෙන් කළ සේවය අපමණය ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන සමුගනී

(08.04.2019 – gossiplankanews.com)

ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතා අද (08) ජීවිතයෙන් සමුගත්තේය. ඔහු කාලයක් තිස්සේ අසනීපව පසුවූ අතර කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින දිවි ගමන නිමා කළේ වයස 69 දීය.

හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන (එච්.එම්. ජයවර්ධන) ප්‍රසිද්ධ තනු රචකයෙකි.

‘එක යායේ එකට කකා’ (මංගල තෑග්ග), ‘ගංගාව මමයි’ වැනි ගීත කිහිපයක් පමණක් ගැයූ ගායකයෙකි.

ප්‍රවීණ ගායිකා මාලිනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමියාවූ හෙතෙම නව පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායක කසුන් කල්හාර ජයවර්ධන මහතාගේ පියාණන් ය. සියඹලාන්ඩුවේදී‍‍ උපතලද ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන්‍ අධ්‍යාපනය ලැබීය. බටනළා වාදකයෙකු ලෙස දැක්වූ දක්ෂකම් ඔස්සේ පසුව සංගීතය හදාරා එම ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

‘පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ’, ‘හේමන්තයේදී’, ‘සඳ තරු නිහඬයි’, ‘ඔබයි රම්‍ය සඳ කිරණ’, ‘පූජාසනයේ ඔබ හිඳුවා’, ‘කඩමංඩියේ දොළ අයිනේ’, ‘මා එක්කලා අමනාපව වී දබර’, ‘ඇය යන්න ගියා මැකිලා’ වැනි ඉතා ජනප්‍රිය ගී තනු දහස් ගණනක හිමිකරුවන්නේ ඔහුය.

++++++++++++++++++++++++

එච් එම් ජයවර්ධන ශූරීන් විසින් තනු නිමැවුනු ගීත :

https://www.youtube.com/playlist?list=PLzKRjvp4uSWxmtkUffLzC3bzVB61bUiQZ

++++++++++++++++++++++++

02.06.2014

++++++++++++++++++++++++

08.04.2019

++++++++++++++++++++++++

එච් එම් සල්ලි නැති කාලෙ කංසා වැව්වා. දුව ඩෙංගු හැදිලා මියගියාම ජීවිතය වෙනස්වුණා. ජනාධිපති සම්මාන එපා කිව්වා – කසුන් බැලුවේ නෑ කියන්නෙ බොරු කටකතාවක්

(09.04.2019 – gossiplankanews.com)

ඊයේ (08) අප අතරින් සමුගත් එච්. එම්. ජයවර්ධන සංගීතඥයා ගැන ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ කසුන් කල්හාරගේ පියා මියගිය ලෙස පමණි. නමුත් ඔහු ගැන ඊට වඩා යමක් තිබේ. ඔහු යුගයක් වෙනස්කළ කලාකරුවෙකි. පුදුමාකාර ළයාන්විත බවකින් යුතු සංගීත නිර්මාණ රැසකට උරුමකම් කියූ මේ පුංචි මිනිසාගේ ජීවිතයද පුදුම හිතෙන අසම්මත එකකි.

‘ඔබයි රම්‍ය සඳ’ නමින් ඔහු වෙනුවෙන් 2011 වසරේ ඔහු ඉගෙනගත් පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ උපහාර උළෙලක් පැවැත්විණි.එහිදී රත්න ශ්‍රී විජේසිංහ මහතා ඔහු ගැන කියූ අදහස් මෙපරිදිය.

‘‘එච්. එම්. විඡේසුන්දර නමැති තාත්තා, එච්. එම්. ජයවර්ධන කියන වැඩිමහලු දරුවා නියරේ ගොයම් ඈත් මෑත් කරමින් සියඹලාණ්‌ඩුව විද්‍යාලයට කැඳවාගෙන එනවා . එච්. එම්. ගාන්ධර්වයා මෙලෙස පහළ වන්නේ සියඹලාණ්‌ඩුව කොලොන්ගොඩ, මානාගල ගමේ, 1950 විතර.
1960 එච්. එම්. 5 ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා පස්‌සර මධ්‍ය මහා විද්‍යාලයට පැමිණෙනවා.

මේ අතර හුදෙකලාවේ ඉන්න බැරුව එච්. එම්. තාත්තාට ලියලා යවනවා, මාව එක්‌කගෙන යන්න නැත්නම් පාසලේ පොකුණට පැනලා මැරෙනවා කියලා. එච්. එම්. ගේ තාත්තා එහෙම කළේ නෑ.

ඔහු බහුශ්‍රැතයෙක්‌. ඔහුට හිටියා කිරිවන්නේ කියලා යාළුවෙක්‌. ඔහුගෙන් බටනලා වාදනය ඉගෙන ගත්තා. එච්. එම්. 1965 සා/පෙළ ලියලා මේ පාසලෙන් එළියට ගිහින් විරැකියාවෙන් පෙළෙන තරුණයන් අතරට එක්‌වෙනවා.

එතැනින් පසුව ගමට ගිහින් ලියුම් බෙදනවා. සමුපකාරයක කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කරනවා. පස්‌සරටත් එනවා. ඌරනයේ යාලුවොත් එක්‌ක එකතුවෙලා ගොවි හමුදාවටත් බැඳෙනවා. මේ විදිහට එච්. එම්. ශ්‍රාවස්‌තියට ගිහින් පස්‌සර මන්ත්‍රී සෝමපාල සෙනෙවිරත්න හමුවෙනවා.

ඊළඟට විජයානන්ද දහනායක මහතා හමුවෙනවා. ඊට පස්‌සේ අමරදේව මහත්තයාගේ ලියුමකුත් අරගෙන ගුවන්විදුලි සංස්‌ථාවට ගිහින් ඇල්විටිගල මහතා හමුවෙලා ඔහු රු. 7.50 ක වැටුපකට බටනලා වාදකයකු හැටියට ගුවන් විදුලියට බැඳෙනවා. ඊට පස්‌සේ කොළඹ ජීවිතය ගැන කලකිරිලා ලුනුගලට ඇවිත් මැණික්‌ ගරනවා.

ලුනුගලදී ඔහු මාලනීගේ ගීතයට තනුවක්‌ නිර්මාණය කරයි. එතැන් පටන් ඔහු කළ නිර්මාණ දෙවැනි වෙන්නේ රෝහණ වීරසිංහ මහත්තයාට විතරයි. මේ අතර මාලනී සමඟ විවාහවෙලා 81 දී කසුන් කල්හාර උපදිනවා.

මේ අතර දුවව පුංචි කාලේදීම ඩෙංගු මාරයා බිළිගන්නවා. එච්. එම්. දවස්‌ තුනක්‌ මේ සොහොනේ නිදිවරාගෙන ඉන්නවා. එච්. එම්. අරගෙන එන්නේ හරිම අමාරුවෙන්. හරි අසම්මත අපූරු චරිතයක්‌. හරිම සුන්දර මිනිහෙක්‌. ඔහොම ගිහිල්ලා චිත්‍රපට සංගීතයට යොමුවෙනවා.

මේ අතර ආරාධනා චිත්‍රපටයට සරසවි සම්මානය ලැබෙනවා. මීළඟට මුහුදු ලිහිණි චිත්‍රපටයට ජනාධිපති සම්මානය ලැබෙනවා. ඔහු එය ප්‍රතික්‍ෂේප කළා. ඔහුට කශේරුවක්‌ තිබුණා. ඔහු කියනවා මට නෙවෙයි ඒ සම්මානය ලැබිය යුත්තේ ‘තුන්වැනි යාමය’ නිපද වූ කේමදාස මාස්‌ටර්ට කියලා. එච්. ඒ. සෙනෙවිරත්න හැරුණු විට සම්මානයක්‌ ප්‍රතික්‍ෂේප කරපු අනෙක්‌ පුද්ගලයා තමයි එච්. එම්.’’

පසුකලෙක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී එච්එම් සිය ජීවිතය ගැන මෙසේ කියා තිබේ :

‘‘මට ඉස්කෝලෙදි ඉංග‍්‍රීසි සහ භූගෝලය අප්සෙට්. ඉන්ටර්වල් එකේදි මම පොත් ටික අරගෙන හොස්ටල් එකට පනිනවා. ආපහු ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඉස්කෝලෙට පැනලා ළමයි එක්ක එළියට එනවා. මං හැබැයි සංගීතය උපරිම උනන්දුවෙන් ඉගෙන ගත්තා. හැබැයි සමහර සබ්ජෙක්ට් ෆේල් වෙලා දහයෙ පන්තිය වෙනකොට මට ශිෂ්‍යත්වය අහිමි වුණා. හැබැයි වාදක මණ්ඩලයේ මම හරි දක්ෂයෙක්. හැබැයි ඉස්කෝලෙන් පස්සෙ සංගීත ක්ෂේත‍්‍රයට වෙන කවුරුවත් ආවෙ නැහැ.

වැඩ පේල් වුණ නිසයි ශිෂ්‍යත්වෙ නැතිවුණ නිසයි ඉස්කෝලෙ ගමන නැවතුණා. ගමට ගියා. බාප්පා කෙනෙක්ගේ උදව්වෙන් ලී ඉරුවා. බණ්ඩා කියලා යාළුවෙකුත් සෙට්වුණා. දෙන්නා එක්ක පලංචි දාලා බුරුත අඩියක් ඉරුවාම ශත 60 ක් ලැබුණා. තේ ටිකත් හදාගෙන බොනවා. ගංජා සුරුට්ටුවක් ගහනවා. හේන් වගාවත් ඒ අස්සෙ කෙරුවා. මං සල්ලි හොයන්න කංසාත් වවල තියනවා. මේව දැන් කිව්වට කමක් නැනේ.

ලී ඉරන කාලෙ ගුවන්විදුලියේ බටනලා වාදකයකුට වේකන්සි එකක් පත්තරේ දැකල ඇප්ලයි කළා. ඒත් මාව ඔඩිෂන් එකෙන් කැපුවා. පස්සර මන්ත‍්‍රීයි තව මන්ත‍්‍රීවරු දහදෙනකුයි අත්සන් කරලා මට තව ලියුමක් දුන්නා ගුවන්විදුලියට.

‘ලොක්කා ඇල්විටිගල’ කිව්වනේ මන්ත‍්‍රීවරුන්ගෙ ලියුම් ගෙනාවට මට රස්සාවල් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සෙ තමයි මම අමරදේව මාස්ටර් හම්බ වෙන්න ගියේ. මගේ ඉස්කෝලෙ ඉතිහාස සර් වසන්ත ඔබේසේකර එයත් ලියුමක් දුන්නා. පස්සෙ ගුවන් විදුලියේ අනියම් බටනලා වාදක කියන තනතුර ලැබුණා.

දවසක් සිංදු තුනක් රෙකෝඞ් කරන්න තිබුණා. මම ඉස්සරහ ප්ලේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඩේට සෙට්වුණා. එදා මට සිංදු කියන්නම බැරිවුණා. ඇල්විටිගල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් වුණා. මං ක‍්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ වැඩේ කියලා.

මාලිනී බුලත්සිංහල ගුවන්විදුලියෙදි හමුවුනේ. සමහරු ඒ කාලේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. මමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියා. ඒත් ඉගෙන ගන්න නෙමේ මාලනී හම්බවෙන්න.

අපි විවාහ වුණා. දරු දෙදෙනෙක් ලැබුණා. කසුන් පුතා වගේම මගේ දුවට ආදරෙන් හිටියේ. නමුත් අවාසනාවට දුව නැතිවුණා. ඩෙංගු හැදිලා. ඒක ජීවිතේ කඩාවැටීමක්. රෑට රෑට දූව මතක් වෙලා මං දුව මිහිදන් කරපු තැනට ගිහින් එයාව සිහි කලා. එතැන නිදාගත්තා. සමහරු කිව්වා මේක පිස්සුවක් කියලා. ඒත් මං දුව ගැන සංවේදී වුණා.

මාලනී නැතිවුනෙ පිටරටකදී. කරන්න දෙයක් නැහැ ඉතිං. රටටත් මටත් හොඳ ගෑනියක් නැතිවුණා. සමහර දේවල් අපිට වළක්වන්න බැහැ.

කේමදාස මාස්ටර් අමුතු කෙනෙක්. කවදාවත් සිංදුවකට තනුවක් හදාගෙන එන්නේ නැහැ. වැඩේට ඇවිත් එකපාරටම වැඩ කරනවා. මම කේමදාස වාදියෙක් නම් නොවෙයි. මම මට හම්බ මෙච්ච ජනාධිපති සම්මාන දෙකක් ප‍්‍රතික්ෂේප කළා. චිත‍්‍රපටය මුහුදු ලිහිණි. හොඳම තනුව සහ හොඳම පසුබිම් සංගීතයට. මාස්ටර් මට කෝල් එකක් දීලා ඇහුවා මොකක්ද මේ කරපු වැඩේ කියලා. මම මාස්ටර්ට කිව්වා හොඳ කෘතියක් තියෙද්දී – ඒ කියන්නේ ඔයාගේ තුන්වැනි යාමයේ මියුසික් තියෙද්දී මම මේකට සම්මාන ගන්නේ නැහැ. ඒ සම්මාන මගුලෙන් මට වැඩකුත් නැහැ කියලා.

එච් එම් ජයවර්ධන මහතා අසනීප තත්වයට පත්වන වකවානුවේ ජයවර්ධන මහතා කුළී නිවසක ජීවත් වෙමින් බොහෝ අගහිඟකම් මැද ජීවත් වන බවත්, සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජයේ හෝ වගකිව යුත්තෙකුගේ උදව් බලාපොරොත්තු වන බවටත් මාධ්‍ය වාර්තා පළ විය.

එවක කසුන් කල්හාර යනු ලංකාවේ ඉහළින් මුදල් හරිහම්බ කරන ගායකයෙකි. ඔහු පියා ගැන නොබැලූ අජාසත් චරිතයක් බවට 2017 කාලයේ මුල්වරට කටකතා පැනනැගුණි. එම අවස්ථාවේ එච්එම් ඊට පිළිතුරු දුන්නේය.

‘‘ඔය කතා අමූලික බොරුවක්. මේක සම්පුර්ණයෙන් කසුන්ට මඩ ගහන්න කරන වැඩක්. මොකද කසුන් සහ මම ඇසුරු කරන්නේ මිත්‍රයන් දෙදෙනෙක් වගේ.තාත්තයි පුතාටත් වැඩිය සමීප මිත්‍රයන් දෙදෙනක් වගේ. අපිට මුණ ගැහෙන්න ක්‍රමයක් නැහැ. මොකද මටත් වැඩ රාජකාරී අධිකයි. ඔහුටත් එහෙමයි. නමුත් නිතරම කසුන් මා ගැන හොයලා බලනවා. මගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න මට විශාල මුදලක් වැය වෙනවා. කසුන් ඒ වියදම් ඔක්කොම දරනවා. මේ ප්‍රචාරය ගැන මට බොහොම කනගාටුවක් ඇති වෙනවා. මොකද එහෙම දෙයක් අපි අතර නැහැ. කසුන් මගේ දුක සැප හොයලා බලනවා. මං යම් කිසි උදව්වක් ඉල්ලුවොත් එසැනින් කරනවා. ඔහු තමයි මට හැම ලෙසින්ම උදව්වට ඉන්නේ. කසුන් මගේ පුතා විදියට ඔහුගෙන් ලැබිය යුතු යුතුකම් මට නොපිරිහෙලා ඉෂ්ට කරනවා. මේ ප්‍රචාරය පිළිබදව මම දැඩි සිත් තැවුලට පත් වෙනවා. ඒ වගේම මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා අසත්‍ය කටකතා පතුරවන්න එපා කියලා’’ ෴

++++++++++++++++++++++++

එච්.එම්. ජයවර්ධනයන් සමුගනී

(10.04.2019 – 19:29 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්.ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, කලාකරුවන් සහ සහෘද රසිකයින්ගේ සෝ සුසුම් මධ්‍යයේයි.

මියයනවිට 69 වන වියේ පසුවූ ඔහු, රෝගාතුරව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණේ පසුගිය 8 වනදායි.

එච්.එම්.ජයවර්ධනයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ල පෞද්ගලික මල් ශාලාව වෙත පැමිණියා.

++++++++++++++++++++++++

එච්.එම්. ජයවර්ධනයන්ගේ ජීවිත කතාව

++++++++++++++++++++++++

එච්.එම්. ජයවර්ධන – සිංහල සංගීතයේ කිරුළු පුද දුන් කුමරුන්

++++++++++++++++++++++++

rupavahini.lk > Alakamandawa – 2016-01-26 :

http://dammika.tulix.tv/iframe/vod.php?s=cds/programmes/alakamandawa/2016-01-26.mp4&c=dvod

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

එච්.එම් ජයවර්ධනයන් අවසන් ගමනේ

(10.04.2019 – 08:04 +0530 – lankadeepa.lk)

අභවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.

එහිදී ඒ මහතාගේ පුත් ගායක කසුන් කල්හාර මහතා හා ඔහුගේ පවුලේ සමාජිකයෝ එක්ව පැන් වත්කරමින් හා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය චිතකය වෙත රැගෙන ගියහ.

ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

++++++++++++++++++++++++

Photos of H.M. Jayawardane Funeral

++++++++++++++++++++++++

මා දන්නා එච්.එම්.

(13.04.2019 – mawbima.lk)

‘මව්බිම’ දිනපතා පුවත්පතින් ඔහු “ගාන්ධර්ව“ නාමයෙන්ම මුල්පිටුවෙහි හඳුන්වා තිබිණි. ගාන්ධර්ව නමට ඔහු නිස්සකු බැවිනි. අමරදේව සූරීන්, කේමදාස සූරීන් මියගිය වේලෙහි ඇති වූ කම්පනයම එච්.එම්. මියගිය වේලෙහිද අප සිතට පිවිසිනි. ඔවුන් එකම යුගයක එකසේ ජන හද පහන් කළ ගාන්ධර්වයෝ වූහ.

එච්.එම්. කොහි සිට කොතැනට ඇවිත් කෙසේ ජීවත් වුණිද යන්න සොයා විමසා බැලීමට කෙනකු උනන්දු වන්නේ ඔහු මිය ගිය හෙයිනි. ජීවත්ව සිටියදී ඒ ගැන සොයා බලන්නට සිටි පිරිස අතළොස්සකි. ඇතැම් විට ඇත්තේද නැත.

කරුණාරත්න වනසිංහ මගේ සංගීත මිතුරෙකි. ඔහු ගැන මා දන්නේ තිස් හතළිස් වසරකට පමණ පෙර සිටය. ඔහු මිය යන මොහොත දක්වාම එච්.එම්. තනි නොකරන්නට වගබලා ගත් සහෘදයෙකි.

එච්.එම්. අවසන් හුස්ම පොද හෙලූ මොහොතෙහිම, කරුණාරත්න, ඒ පුවත මට කීවේය. මාද එච්.එම්. ඇසුරුකළ එච්.එම්. ගේ සමීපතමයකුව සිටි බව ඔහු දන්නා හෙයිනි.

අවුරුද්දට මොනවා හෝ අරගෙන එච්.එම්. බලන්න යන්නට සිතා සිටියෙමි. ඔහු මෙසේ මියගිය බව අසනවිට මා බියටත්, ශෝකයටත් පත්වන්නට බොහෝ හේතු තිබිණි. එච්.එම්. ජීවත්ව සිටියදී ඔහුගෙන් වැඩ ගත් අය ඔහු මියගිය සැණින් නොතකා හරීදෝ යන බිය මා තුළ ඇති විය. එසේ නොතකාහල බොහෝ ‘ප්‍රවීණයෝ’ සමාජයේ වූහ. දේශාපාලනඥයකු හෝ ‘මධුෂ්’ වැන්නකු හෝ පාතාල නායකයකු හෝ මියගියා නම් වෙඩි වැදී හෝ රිය අනතුරකින් හෝ අවසන් හුස්ම හෙළුවා නම් ලොකු අකුරින් ඒ නම පත්තර මුල්පිටු පුරනු ඇත.

එච්.එම්. මියගියේ ජීවත්වීමට තවත් වරම් නැති වූ හෙයිනි. මිය යන විට ඔහුට හැත්තෑ විය සපුරන්න තවත් වසර එකක් පමණක් අඩු වී තිබුණි. එනම්, වසර එකුන් සැටක දිවි මංපෙත තුළ ඒ ගාන්ධර්වයා ශ්‍රී ලාංකේය සංස්කෘතිය විසින් මරා දමා තිබිණි දැයි මා සිත බියට, විස්මයට පත් කළේය.

ගාන්ධර්වයා යන වදන ඔහුට ද නිසිය. ඔහු හා සාමාන්තරව සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ කේමදාස, අමරදේව, “කපුගේ” මේ හැම කෙනෙක්ම ඒ “ගාන්ධර්ව“ නමට නිස්සෝ වෙති. වරක් ඔහුට චිත්‍රපටයක සංගීතය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණය සම්මානය ලැබුණු මොහොතේ එම සම්මානය ප්‍රතික්ෂේප කළ එච්.එම්. කියා ඇත්තේ “මේක මට එපා ඕක දෙන්න කේමදාස”ට මේ එච්.එම්. එදා සිටම නිහතමානි වූ සැටිය. අදීන වූ සැටිය.

එච්.එම්. ගැන ලියන්නට බොහෝ දේ තිබේ. එහෙත් ජනමාධ්‍යවල වැඩිපුර ඉඩහසර වෙන්වෙන්නේ එච්.එම්. ලා ගැන කියන්නට නොව “මධුෂ්ලා” වැනි පාතාල කෙරුමන් ගැන කියන්නටය. එය වරදක් නොවේ. මේ කලියුග කාලයේ හැටිය. කම් නැත. එච්.එම්. ගැන තව පොඩි දෙයක් ලියමි.

එච්.එම්.ට ඔහුටත් වඩා ජනාකර්ෂණීය වූ බිරියක් සිටියාය. ඒ මාලනී බුලත්සිංහලය. තව දරු දෙදෙනෙක් සිටියේය. අද ජීවතුන් අතර සිටින්නේ කසුන් කල්හාර නම් වූ සංගීතඥ පුතුය.

දියණිය රෝගාතුරු වී අකල් වියෝවට පත් වූවාය. එදා මුළු රටම ඒ දියණිය ගැන කතා කළහ. බිරිය මාලනී ගැනද රටම කම්පා වූහ. ඇය මියගිය හැටි ගැන බොහෝදෙනා දනිති. එච්.එම්. මියගිය හැටි තබා ඔහු ජීවත් වුණු හැටිද වැඩි පිරිසක් නොදනිති. වර්තමාන සහෘද ජනතාව මහත් ආශාවෙන් අහන ගීත රැසකම රිද්මය, එච්.එම්ගේය. මාලනී ගයන “රජ මැඳුරක ඉපදී සිටියා නම්” ගීතයේ සිට ඈ ගැයූ බොහෝ ගීතවල හැඩ වැඩ රස උත්පාදකයා මේ මහා සංගීතඥයාය. බිරියත්, දියණියත් නැතිව එච්.එම්. හුදෙකලා විය. මේ ලිපිය ලියන මා එක්තරා කාලයක කසුන්ට ද අකුරු කියා දී ඇත. බොහෝ දේ ලෝකයාට අමතකව යන මෙවන් යුගයක පිය මඟෙහි ගිය “කසුන්” සංගීත ක්ෂේත්‍රයේ ඉහළ තැනෙක වැජඹීම සතුටකි. අද අප මේ රටට කියන්නේ කසුන්ගේ පියා ගැනය. එම්.එම්.ට ආදරය කළ එච්.එම්. ගේ අවසානය දක්වා ඔහු රැක බලාගත් අය ගැන තවත් බොහෝ කතාන්දර ඇත. ඇතැම් ඒවා ඛේදනීය වෙයි. ඇතැම් ඒවා ප්‍රියජනක වෙයි.

අවසන් මොහොත දක්වා අත්හැර නොගිය ප්‍රිය මිත්‍රයෙක් ඔහුට සිටියේය.

ඒ මධුවිතය. එච්.එම්.ගේ මරණය ඉක්මන් කරන්නට ඇත්තේද ඒ මිත්‍ර සමාගමය.

– විදුර අබේනායක

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

සංගීතයෙන් නිහතමානී ස්වර මැවූ එච්.එම්. ගැන

(17.04.2019 – saaravita.lk)

පසුගිය 08 වැනිදා අප අතරින් සමුගත් ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් පිළිබඳ තබනා සටහනකි.

ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා පෙරේදා (08 දා) අප අතරින් සමුගත්තේය. කලක් රෝගාතුරව කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට 69 වැනි වියේ පසුවිය.

අකාලයේ අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ ජයවර්ධනයන්, විශිෂ්ට ගායකයකු සහ සංගීතවේදීයකු වන කසුන් කල්හාරගේ පියාණන්ද වේ. මේ ඔහු පිළිබඳ තබනා සටහනකි.

1955 දී සියඹලාන්ඩුව තම ජන්ම භුමිය කර ගනිමින් උපන් හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන ගේ පියා වෘත්තියෙන් ගොවියෙකි. ඔහු සියඹලාණ්ඩුව පාසලින් ශිෂ්‍යත්වයක් ලැබී පස්සර මහා විද්‍යාලයට ගිය අතර, හෙතෙම බටනලාවට පෙම් බඳිනුයේ එහිදී ඇති වූ හුදෙකලාව හේතුවෙනි.

එම වාදනය ඇසුණු එතුමාගේ සංගීත ගුරුතුමා වූ ඩී.ඒ. සුබසිංහ නිසාවෙන් සංගීත ජීවිතය ආරම්භ කරන ජයවර්ධනයන්ට සුබසිංහ සංගීත ගුරුතුමා සංගීතය උගන්වන්නේ නොමිලේය. සංගීතය පිළිබඳ ඔහුගේ ඇල්ම දිගින් දිගටම වැඩිවන්නට පටන් ගත්තේ මේ අනුවය.

පාසලේදී සංගීතය විෂයට වැඩි අවධානයක් යොමු කළ ඔහු, පාසලේ ශිෂ්‍ය වාදක මණ්ඩලයේද දක්ෂයකු වූ නමුත් 10 ශ්‍රේණිය වන විට ඔහුට ඔහුගේ ශිෂ්‍යත්වයද අහිමි වූයේ ඇතැම් විෂයන් අසමත් වීම හේතුවෙනි. එබැවින් නැවතත් ගමට ගොස් කුඩා රැකියාවල නිරත වෙමින් කල් ගෙවූ ඔහුට නැවතත් සංගීත ක්ෂේත්‍රයට පැමිණීමට වාසනාව සැලසෙනුයේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් සහ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන් නිසාවෙනි. ඒ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බටනළා වාදකයන් තෝරා ගැනීමේ පරීක්ෂණයකින් අසමත්වීමෙන් පසුවය.

අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අනියම් බටනළා තනතුරක් ඔහුට හිමිවූ අතර, ඔහුට මාලිනී බුලත්සිංහල හමුවන්නේද එයිනි. ‘ගංගාව මමයි’ යනුවෙන් ගීතයක් ගායනා කිරීමටද ඔහුට මේ අතර අවස්ථාව හිමිවිය. සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළ එම ගීතය ආනන්ද පද්මසිරි විසින් රචනා කරන ලදී. එයින්ම තමන්ගේ දක්ෂතාවය ඇත්තේ ගායනයට නොව සංගීතයට බව වටහා ගත් ජයවර්ධනයන්ගේ පළමු තනු නිර්මාණය කළ ගීතය වූයේ මාලිනී බුලත්සිංහලට නිර්මාණය කළ ‘රජ මැදුරක ඉපදී සිටියා නම්’ ගීතයයි.

ඉන් අනතුරුව පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ගැයූ ‘සඳ තරු නිහඬයි’, විශාරද නන්දා මාලිනිය ගැයූ ‘ඔබයි රම්‍ය සඳකිරණ’, ‘මා හඬනා කඳුළු ගලා’, ‘පූජාසනයේ ඔබ හිඳුවා’, ‘පෙම් ලොවදී දුටු ඔහුමද මේ’, ‘ප්‍රේමය නම්’, ‘කඩමණ්ඩියේ දොළ අයිනේ’, ‘නවාතැන්පළ ඔබයි ඔබගේ සිනාවයි’, ‘විලක් වුණත් නිල් දිය පිරි’, ‘පිළිම නෙළා නැති විරුවන්’, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ඉස්සර මං ගිය පාසල ඇරිලා’, ‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’, ‘සයුරක් නොදුටු ගඟුලක්’, ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’, ‘දෙවොලේ නොකැළැල්’, විශාරද මාලනී බුලත්සිංහල ගැයූ ‘හිමි සණරාමර ලෝක සිවංකර’, ‘ප්‍රේමයේ විල් තෙරේ’, ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’, ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’, ‘සැන්දෑ අහස වගේ සැරසී’, ‘මා එක්කලා අමනාපව’, ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’, ‘මළ පොතේ අකුරු’, ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’, ‘සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ’, ‘කන්ද කෙන්ද කරනු පිණිස’, විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘සීතල පිනි බිංඳු බින්ඳු’, විශාරද අමරසිරි පීරිස් ගැයූ ‘ඇය යන්න ගියා මැකිලා’, විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ ‘බණ කියන රටක්’ ආදී ගීත රැසක සංගීතය නිර්මාණය කළේ ඔහු විසිනි.

ටී.එම් ජයරත්නයන් ගැයූ ‘සියක් ආයු ලැබ’, ‘මේ පුංචි රටේ’, ‘රත්තරන් නෙත් දෙකින්’, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ‘දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට’, ‘මාල ගිරවියේ’, ‘සඟවන්න එපා හසරැල්’, විශාරද මාලනී බුලත්සිංහල සමග බණ්ඩාර අතාවුද ගැයූ ‘කොහේ යන්නෙද කොහේ ඉන්නෙද’, බණ්ඩාර අතාවුද ගැයූ ‘ඔබ ඈත සඳ වී පායා’, ජානක වික‍්‍රමසිංහ ගැයූ ‘බාලිකාවියන් තක්සලා දොරින්’, ‘කිරුළ මුතු ලිහී’, ක්‍රිෂාන්ත එරන්දක ගයන ‘වී පැදුරෙන් ඉගිලී යන’, රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ‘සඳක් නම් බැස යන්න තිබුණා’ ආදී ගීතයන්ද ඔහුගේ සංගීතයෙන් හැඩ වූ ගීත ගොන්න අතර තිබේ.

රාගයට නොව ගීත රචනාවේ තිබෙන අන්තර්ගතය කුමක්ද යන්න සලකා බලා එය අර්ථ ගැන්වෙන තනුවක් සිය ජීවිත අත්දැකීම් තුළින් මුසු කළ මෙම සංගීතවේදියාට සහ මාලනී බුලත්සිංහල මහත්මියට ‘නිර්මාණි’ නමින් දියණියකද සිටි අතර, ඇය කුඩා කාලයේදීම ඩෙංගු රෝගය වැලඳීමෙන් මිය ගියාය.

සංගීතය යනු තමන්ගේ හිතේ ඇතිවන හැඟීම බව විශ්වාස කළ ඔහු, කිසියම් ගීත රචනයක් අතට ගත් පසු එහි අන්තර්ගතය හැරුණු විට එය ගායනා කරන්නට නියමිත තැනැත්තාගේ ගායන පරාසය කෙරේ අවධානය යොමු කළ අතර ඔහු රචකයා, ගායකයා සහ සංගීතඥයා යන තුන් කට්ටුවම බේරෙන ආකාරයට නිර්මාණකරණයේ යෙදීම පිළිබඳ ගැඹුරින් සිතා බැලූ සංගීතඥයෙකි.

ඒ අනුව පදගත අර්ථය මිසක් තනිකර සංගීතය රස විදීමට අපේ රසිකයන්ට දැනීමක් නැති බවත්, සංගීතය රස විඳීමට ඉගෙන ගත යුතු බවත්, සරල ගීයට එසේ ඉගෙනගත නොයුතු බවත්, නමුත් සංගීතය අසන සුළු පිරිසක් රටේ තවමත් සිටින බවත් ඔහු මියෙන තුරු විශ්වාස කළේය. ඒ අනුව අමරදේවයන්ගේ සිට නවකයන් දක්වාම එච්.එම්. ජයවර්ධනයන් විසින් ගී තනු නිර්මාණය කර ඇති අතර, ඔහු අතින් බිහිවූ ගී තනු සංඛ්‍යාව දහසකට ආසන්න වේ.

එච්.එම්. ජයවර්ධනයන් චිත්‍රපට සංගීතයටද සම්බන්ධ වී ඇති අතර, ඒ කැලෑමල්, ආරාධනා (රෝහණ වීරසිංහයන් සමග), ‘මුහුදු ලිහිණි’, ඇතුළු චිත්‍රපට ඔස්සේය. එහෙත් ඔහු කොතරම් නිහතමානී චරිතයක්දැයි කියතොත් ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටයට ඔහුට ලැබුණු ‘ජනාධිපති සම්මානය’ ප්‍රතික්ෂේප කළේ එය ලැබිය යුත්තේ ‘තුන්වැනි යාමය’ විත‍්‍රපටය වෙනුවෙන් සංගීතය නිර්මාණය කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ට බව පවසමිනි.

එහෙත් ඔහු 1981 වසරේ දී ආචාර්ය රෝහණ වීරසිංහ සමඟින් සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබීය.

– මාලන් විදානපතිරණ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *