ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමයෙන් චෝදනාවක්

(10.04.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඉදිරි කටයුතු සදහා උපදෙස් ගැනීමට බලහත්කාරයෙන් පත් කෙරුණු විදේශීය ආයතනයට තවදුරටත් මුදල් ගෙවීමට ගුවන් සමාගම තව දුරටත් මුදල් නොගෙවිය යුතු බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම් නිදහස් සේවක සංගමය පවසනවා.

කටුනායක පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් මේ බව සදහන් කළා.

++++++++++++++++++++++++

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එරෙහිව යුරෝපා අධිකරණයක නඩු පැවරීමේ අවදානමක්

(10.04.2019 – 21:08 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික කළමනාකරණ කමිටුවේ තීරණය පරිදි ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකිරීම වෙනුවෙන් උපදේශන සේවා ලබාගත් විදෙස් සමාගමකට ගෙවිය යුතු මුදල් හිඟතැබීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එරෙහිව යුරෝපා අධිකරණයක නඩු පැවරීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

ඔවුන් අද මාධ්‍ය හමුවකදී කියා සිටියේ අදාල උපදේශන සමාගමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකන් සමාග‍මේ කඩාවැටීමටද හේතු වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයපතිරත්න මහතා :

‘‘පසුගිය 2015 වසරේදී වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් මෙම ආර්ථික කළමනාකරණ කමිටුව සහ මුදල් අමාත්‍යාංශය මෙම නයිරාස් සමාගමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාර දුන්නා.

මෙම සමාගම මෙම වාර්තාව සම්පාදනය කිරීම සඳහා පාදක කර ගෙන ඇත්තේ යුරෝපයේ කෙටි දුර ගුවන් ගමන් මෙහෙයවන රයන් එයා ගුවන් සමාගම සහ එයා ලිංගස් ගුවන් සමාගම බවත් , එම ගුවන් සමාගම් ලන්ඩන් නුවර පැවැත්වෙන රැස්වීම් සදහා කුඩා බ්‍රිෆ් කේසයක් පමණක් රැගෙන යන විධායක නිලධාරීන් රැස්වීම් සදහා උදෑසන රැගෙන ගොස් සවසට ආපසු ගෙන ගොස් ඇරලවන ඒවා බවත් පැවසීය.

එහෙත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මැද පෙරදිග , මොස්කව් , මෙල්බර්න් , ෆ්‍රෑන්ක්පර්ට් , පැරිස් ආදී දිගු දුර ගුවන් ගමන් මෙහෙයවන, එක් ගුවන් මගියෙකු කිලෝ ග්‍රෑම් 40 කට වඩා බර ගමන් මලු රැගෙන යන ගුවන් සේවයක් බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව අවධානය යොමු කළ නයිරාස් වාර්තාවේ නිර්දේශය වී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවකයන්ගේ ප්‍රමාණය අඩු කරන ලෙසයි.

එහෙත් එම නිර්දේශය යුරෝපයේ රයන් එයා සහ එයා ලිංගුස් සාමාගම් වලට වලංගු වුවද , විශාල ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදු කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කිසිසේත්ම අදාළ නොවන බවද ජනක විජයපතිරත්න මහතා පැවසීය.

ඊට අමතරව මෙම නයිරාස් සමාගම ඔවුන්ගේ සමාගමේ ඉහළ නිලධාරීන් 10 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දෙපාර්තමේන්තු 10 ක ප්‍රධානීන් ලෙස පත් කරන ලෙසද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබූ බවයි .

නිදසුනක් ලෙස මෙම නයිරාස් සමාගමේ ඉයන් මේ නැමැති නිලධාරීවරයාට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන වානිජ නිලධාරී තනතුර සදහා යෝජනා කර තිබූ බවයි.

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනට ඉතා ලාභදායීව සහ සාර්ථකව පවත්වා ගෙන යනු ලබන සිංගප්පූරුව , තායිලන්තයේ බැංකොක් , සහ ඉන්දියාවේ චෙන්නායි වෙත යන ගුවන් ගමන් වාර සීමා කරන ලෙසද නිර්දේශ ලබා දී ඇති බවයි .

මෙම නයිරාස් නිලධාරීන් වෙත සේවක වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා කිසිවක් මෙම වාර්තාවේ නිර්දේශ ලෙස ඇතුළත් වී නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම වාර්තාව පිළියෙළ කිරීම සදහා මෙරටට පැමිණ සිටි නයිරාස් නිලධාරීන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෝටල් සහ නවාතැන් පහසුකම් ලබා දුන් අතර , ඒ සදහා තම ගුවන් සේවය රුපියල් ලක්ෂ 100 ක පමණ මුදලක් ගෙවා ඇති බවත් , ඊට අමතරව යුරෝපයට පමණක් නොව මෙම සමාගමට අදාළ නොවන සිංගප්පූරුව වැනි ගමනාන්ත කරා ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය නොමිලේ ගුවන් ටිකට් පත් විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් අනාවරණය කළේය.

ඊටත් අමතරව මෙම නයිරාස් සමාගමේ නිලධාරීන්ට ශ්‍රී ලංකාව තුළ ගමනාගමන සදහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර , එම සමාගමේ නිලධාරීන්ගේ එදිනෙදා වියදම් සදහා “පොකට් මනි ” ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් අප රටේ ජනතාවගේ මුදලින් ලබා දී ඇති බවද පැවසීය .

මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය වාර්ෂික අලාභය රුපියල් මිලියන 16,000 දක්වා අඩු කරගෙන සිටියදී , මෙම නයිරාස් සමාගමේ යෝජනා නිසා එම වාර්ෂික අලාභය රුපියල් මිලියන 40,000 දක්වා වැඩි වූ බවද විජයපතිරත්න මහතා පැවසීය.

මේ නිසා මෙම හිඟ මුදල් ගෙවීම සිදු කළ යුත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එරෙහිව මෙම කුමන්ත්‍රණය දියත් කළ අසාර්ථක ආර්ථික කළමනාකරණ කමිටුව සහ මුදල් අමාත්‍යාංශයේ මෙයට සම්බන්ධ නිලධාරීන් විසින් ගෙවිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා.

මේ නයිරාස් වාර්තාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක වෘත්තීය සමිති වලට එවකට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා වසං කළා . ඒත් අපි එම වාර්තාව සොයාගෙන අධ්‍යයන කළා .

මේ වාර්තාව පිළිබඳව රටේ ජනාධිපතිවරයා , එවකට විෂය භාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙතද ඉදිරිපත් කර නැහැ.

අපේ රට අපි කියන දේ නොපිළිගන්නා , සුද්දෝ කියන දේ පිළි ගන්නා , ඒ සදහා ඔවුන්ට මුදල් ද ගෙවන රටක් බවට පත්ව ඇති බවද පැවසීය.

මෙම ශ්‍රී ලන්කන් ආයතනය එක් එක් අයගේ අවශ්‍යතා මත වසා දමන්නට බැහැ . මේක අප රටේ ජාතික ගුවන් සේවය . අද උපදින දරුවාට තව අවුරුදු 20 කින් මෙම ගුවන් සේවයේ සේවය කිරීමට පුළුවන් වෙන්න ඕනෑ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *