උකුසු ඇස : කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරම

(15.04.2019 – 22:56 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

උකුස්සාගේ අද හෙළිදරව්ව ඒ පිළිබඳයි.

දෛනිකව විදෙස් රටවල සිට මෙරටට ගුවන් මගින් විශාල පිරිසක් දිවයිනට පැමිණේ.

එලෙස පැමිණෙන මගීන්ට මෙහි ස්ථාපිත කර ඇති තීරුබදු රහිත වෙළඳසැල් මගින් විදෙස් මැත්පැන් වැනිදෑ අඩු මිලට ගැනීමට හැකියාව පවතියි.

ඒ අනුව විදෙස් මත්පැන් රැගෙන එන ශ්‍රී ලාංකිකයින්ගෙන් කූට ලෙස එම මත්පැන් බෝතල් අඩු මිලට ගෙන මෙරටදී අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව ක්‍රියාත්මක උකුස්සා දින ගණනකාවක් පුරා කටුනායක ගුවන්තොටුපලෙහි සිදුකළ ගවේෂණයේදී දැකගත හැකිවුණේ එහි රැඳී සිටින සංවිධානාත්මක පිරිසක් මෙම ජාවාරම සිදුකරන බවයි.

එහිදී රුපියල් 300ක මුදලක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගන්නා මොවුන් ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ රැඳී සිටිමින් මෙරටට පැමිණි පුද්ගයෙකුගෙන් විදෙස් මත්පැන් ලබා ගන්නේය.

අනතුරුව එහි සිටි පුද්ගලයෙකු විසින් ජාවාරම්කරුවෙකුට මුදල් ලබා දී මත්පැන් බෝතල් රැගෙන යනු ලැබයි.

අප එහි යාමට පෙර ඔවුන් විසින් මිලදී ගත් විදෙස් මත් පැන් බෝතල් කිහිපයක්ද දැකගත හැකි විය.

මේ අතර පිටවීමේ පර්යන්තයට පිටතින් කිසිවක් රැගෙන ආ නොහැකි පසුබිමක තවත් අයෙක් විසින් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙහි රැදීසිටියදී විදෙස් මත්පැන් බෝතල් කිහිපයක් බෑගයක දමා රැගෙන ආ ආකාරය දැකගත හැකි විය.

මෙතරම් ආරක්ෂාවක් තිබියදීත් රටට බදුමුදල් අහිමි කරමින් ඔවුන් කිසිඳු පැකිලමකින් තොරව මෙම ජාවාරම ජයටම කරගෙන යන්නේ කෙසේද?

ගුවන්තොටුපල බලධාරීනි, මේ ඔබේ අවාධානය පිණිසයි.

*****************************************

විදුලි ඉංජිනේරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

(15.04.2019 – 18:42 +0530 – hirunews.lk/sinhala)

යම් හෙයකින් ප්‍රධාන පෙලේ තාප බලාගාරයක් හදිසියේ අක්‍රිය වුවහොත් යළි විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

ඊයේ දිනයේදී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 30 ට වඩා අඩු වූ අතර, එය 2017 වසරෙන් පසු වාර්තා වූ අඩුම ජල ධාරිතාව වීම විශේෂත්වයක්.

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට පසුගිය දින කිහිපයේදී වර්ෂාව පතිත වූ නමුත්, එය ජල ධාරිතාව ඉහළ යාමට ප්‍රමාණවත් වී නොමැති වී ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.

පවතින තත්ත්වය හමුවේ විදුලිය නිෂ්පාදනය කිරීමේදී සියයට 90 ක් තාප බලාගාර මගින් සිදුකිරීමට සිදුව තිබෙනවා.

උත්සව සමය එළඹීමත් සමග දිනක විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 32 දක්වා පහළ බැස ඇතත්, උත්සව සමය නිමා වීමෙන් පසු විදුලි ඉල්ලූම ඉහළ යා හැකි බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දුන්නේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ විදුලි බලාගාරය ආශ්‍රිත ජලාශවල සමස්ත ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහත වැටුණ ද රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 88 ක මට්ටමේ පවතින බවයි.

යල කන්නය සදහා එමගින් ජලය බෙදා හැරීම සිදුකෙරෙන අතර, ඒ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කළා.

එහෙත්, හදිසියේ තාප බලාගාරයක අක්‍රිය වීමක් සිදුවුවහොත්, යළිත් වරක් විදුලිය කප්පාදු කිරීමේ අවධානමක් පවතින බවයි ඔහු සදහන් කළේ.

පසුගිය මස 20 වදා නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ බිද වැටීමක් සිදුවූ අතර, ඊට පසු විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගනු ලැබුවා.

දින 15 කට ආසන්න කාලයක් සිදුවූ එම විදුලි කප්පාදුවෙන් පසු විදුලිබල අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ ඉදිරියේදී යළි විදුලි කැපීමක් සිදුනොකරන බවයි ෴

*****************************************

ප්‍රදේශ රැසක, පානීය ජල අර්බුදයක්

(15.04.2019 – 18:39 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද බහුතර ජනතාව උත්සවාකාරයෙන් සැමරුවත් ප්‍රදේශ රැසක ජනතාව පානීය ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඔවුන් චෝදනා කරන්නේ අලුත් අවුරුද්ද උදා වූ ඊයේ දිනයේ නැකත් අනුව චාරිත්‍ර ඉටු කිරීමට හෝ තමන්ට නිසි පරිදි ජලය නොලැබුණු බවයි.

ඒ අනුව, අම්බලන්තොට – පලුගස්ගොඩැල්ල ගම්මානයට මසකට ආසන්න කාලයක් ජල සැපයුම අඩාල වී තිබෙනවා.

එම ගම්මානයේ ජිවත් වන ජනතාව තම දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකිව පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.

ඇතැම් දිනවලදී රාත්‍රී කාලයේ අඩු පීඩනයකින් ජලය ලැබුණ ද මසකට අධික කාලයක් පුරා දහවල් කාලයේ ජලය නොලැබෙන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

මේ අතර, කළු ගගට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන ප්‍රදේශවල ජනතාව ද පානීය ජලය නොමැතිව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ 44,065 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

එසේම හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ බොහෝ ප්‍රදේශවලට උස් ස්ථානවලට ජලය නොලැබෙන තත්ත්වයක් මේ වනවිට පවතින බවයි.

*****************************************

15.04.2019

+++++++++++++++++++++++++++++++++++++

16.04.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *