ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ.. – අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..

(16.04.2019 – 14:10 +0530 – lankacnews.com)

වසර අවසානයට පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ රණතුංග මහතා එම පෙරමුණේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට එම වේදිකාවට ගොඩවිය හැකි බවත් දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම පෙරමුණ බිහි වන්නේ එම වේදිකාවෙන් බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කෙළ් මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප්‍රජාව උඩුගම්පොළ දී මුණගැසුණු අවස්ථාවේදීය.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය :

මෑත ඉතිහාසයේ උදාවෙච්ච අන්තිම නරකම සිංහල අවුරුද්ද තමයි 2019 දී අපට සමරන්න වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද නරක් වෙලා තියෙන්නේ නැකතේ වරදකින්වත්, ජනතාවගේ වරදකින්වත් නෙමෙයි, ආණ්ඩුවේ වරද නිසයි. මිනිස්සුන්ට බඩට කාලා, ඉණට ඇඳලා ඉන්න නැති අවුරුද්දක් උදා වුණේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසයි.

අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750 ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150 යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.

2015 දී යහපාලන ආණ්ඩුව රටේ බිහිවෙන කොට රට තිබුණු තැනයි අද රට තියෙන තැනයි සන්සන්දනය කරලා බලන්න. මේකට දේශපාලනය ගාව ගන්න එපා. පාට කණ්නාඩි ගලවලා බලන්න 2015 දී කටට රහට කාපු අපි අද ලෙවකන තත්ත්වයට වැටිලා නැද්ද කියලා. අවුරුදු හතරක් වගේ කෙටි කාලයක් ඇතුළත රටට මේ වගේ තත්ත්වයක් උදා කරපු එක විශ්වකර්ම වැඩක්.

මේ ආණ්ඩුව පහුගිය අවුරුදු හතරට කරපු එකම වැඩක්වත් තියෙනවද? කුලියාපිටියට වොක්ස්වැගන් ගෙනාවා කියලා ජනතාව රැවට්ටුවා. අන්තිමට වොක්ස්වැගන් කොම්පැණියම කිව්වා තමුන් ලංකාවේ ‘ප්‍රොජෙක්ට්’ එකක් කරලා නැහැ කියලා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් ගෙනාවා කිව්වා. අන්තිමට ඒකත් පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වුණා.

බොරුවට පම්පෝරි ගහලා විවෘත කරන්නේ 2015 ට ඉස්සර අපි පටන් ගත්තු වැඩ මිසක් මේ ආණ්ඩුවේ වැඩ නෙමෙයි. ආණ්ඩුවේ ඇමැතිලා බෙලිඅත්තට ගිය කෝච්චියේ ආඩම්බරෙන් නැගලා ගියාට ඕවා හැදුවේ අපේ ආණ්ඩුවෙන් කියන එක මිනිස්සුන්ට අමතක නැහැ. මේ අයට විවෘත කරන්න වගේම විකුණන් කන්නත් ඉතුරු වෙලා තියෙන්නේ අපි හදපුවා තමයි.

ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කිව්වට අවුරුදු තුනෙන් රටේ ආර්ථිකය බින්දුවට වැටුණා. මහ බැංකුව මංකොල්ල කාලා රට විනාශ කිරීමේ වගකීම ගන්න අද කවුරුත් නැහැ. අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා වගේ වගක් නැතුව ඉන්නවා. හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවට වෙලා සැපට ඉන්නවා. අන්තිමට ජනතාවට තමයි හැම එකකම පාඩුව විඳින්න වෙලා තියෙන්නේ.

අද රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ අභියෝගය ජයගන්න පුළුවන් එකම කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුවේ කණ්ඩායම පමණයි. මුළු රටම අප කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. ආණ්ඩුව ඒක දන්න නිසා තමයි කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැතුව හැංගි මුත්තන් කරන්නේ. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය ඊළග මැතිවරණයෙන් ආරම්භ වෙනවා.

අපි අවුරුදු හතරක් තිස්සේ මේ ආණ්ඩුවට එරෙහිව සටන් කළා. ජනාධිපතිවරණයට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස පහක විතර කාලයක්. ඒ ටිකත් ඉවසලා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න අපට හැකියාව තිබෙනවා. අලි, කොටි, සීනු තුන් හවුල එක මිටට අරගෙන පරද්දන්න ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබෙනවා.

පොදුජන පෙරමුණ කියන්නේ පක්ෂයක් විතරක් නෙමෙයි රටම එකට එකතු කරන වේදිකාවක්. ඒ වේදිකාවට අපේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑම කෙනකුට ගොඩනගින්න පුළුවන්. අපේ වේදිකාව කාටත් ගරු කරන, කාගේ අදහසුත් ප්‍රතික්ෂේප නොකරන තැනක්. ඒක රට හදන වේදිකාවක්. ඒක රට දිනවන වේදිකාවක්. ඊළඟ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන අපේක්ෂකයා බිහිවෙන්නේ අපේ කඳවුරෙනුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

*****************************************

අගමැති රනිල් ආයෝජකයන් පන්නා දැමුවා.. අර්බුදයට වගකිව යුත්තු අගමැතියි.. – ශ‍්‍රීලනිප මහ ලේකම්

(16.04.2019 – 15:50 +0530 – lankacnews.com)

මෙරට ඇතිවී තිබෙන විදුලි අර්බුදයට ප්‍රධාන වගඋත්තරකරු වවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

විදුලි ෂේත්‍රය සඳහා පැමිණි ආයෝජකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කවුන්සලය විසින් එළවා දැමූ බවයි.

කොළඹදී මාධ්‍ය අමතමින් මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය ෴

*****************************************

රට තවත් දුවන්න බෑ.. රජයේ සේවක පඩි ගෙවන්නවත් සල්ලි නෑ..

(16.04.2019 – 13:20 +0530 – lankacnews.com)

වර්තමානය වන විට රට තුල ඇතිව තිබෙන ආර්ථික අර්බුදය නිසා තවත් වසර 2 කට වඩා රට ඉදිරියට ගෙන යාමට නොහැකි යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ නුදුරේදීම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද නොහැකි තත්වයට රට පත් වනු ඇති බවයි.

මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය ෴

*****************************************

ගාලු කුමාරි දුවයි – කැළණිවැලි තාමත් මඟ

(16.04.2019 – 13:54 +0530 – sinhala.adaderana.lk)

කිරුළපන සහ නාරාහේන්පිට අතර දුම්රිය මාර්ගයේ අද (16) උදෑසන සිදුවු දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට මේ වනවිටත් බාධා එල්ල වී තිබේ.

මේ අතර ගාලු කුමාරි දුම්රියේ එක් මැදිරියක්ද පීලි පැනිමකට ලක් වීම නිසා එම දුම්රියද ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියක් අද උදැසන කිරුළපන සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර කාලිංග මාවත ප්‍රදේශයේ දි පිළී පැනිමකට ලක්විය.

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයට මෙන්ම දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකට සහ දේපල කිහිපයකටද මෙලෙස හානි වී තිබුණි.

එමෙන්ම දුම්රිය මාර්ගය හරහා දිවෙන පාලමකටද පිළිපැනිම නිසා හානි වී තිබුණි.

කෙසේවෙතත් මෙම පිලිපැනිමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව තිබුනේ නැහැ.

මෙලෙස පීළි පැනිමකට ලක්වුනේ උදෑසන 4.55 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන ලද දුම්රියයි.

පිළිපැනිම නිසා කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිටත් ඇන හිට ඇති අතර දුම්රිය පිළිගත කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර බෙලිඅත්තේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වෙමින් තිබු ගාලු කුමාරි දුම්රියේ මැදිරියක් ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ පිලී පැනීමකට ලක්විය.

ඒ එම දුම්රිය අද උදෑසන 7.25 ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වීම ආරම්භ කර මීටර් 500 ක් පමණ ඉදිරියට ධාවනය වෙමින් තිබියදීයි.

කෙසේවෙතත් ගාලු කුමාරි දුම්රිය පීළිගත කිරිමේ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති අතර එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට හික්කඩුව දක්වා සීමා කර ඇති බවද වාර්තා වෙයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *