පෙම්වතිය නිසා මිතුරාගේ ගෙල කැපූ ඝාතන සිද්ධියේ තවත් දර්ශන මාධ්‍යයට නිකුත් වෙයි

(17.04.2019 – 18:47 +0530 – sinhala.adaderana.lk)

පෙම් සබඳතාවක් මුල්කරගනිමින් ත්‍රිකුණාමලයේ ඊයේ (16) සිදුවූ ගෙල කැපීමේ සිද්ධියට අදාළ තවත් සී.සී.ටී.වී දර්ශන පෙළක් අද (17) මාධ්‍යයට නිකුත් විය.

එහිදී සැකකරු සිද්ධිය සැළසුම් කරන අයුරු මෙන්ම තුවාල ලබා සහාය ඉල්ලමින් දුව යන තරුණයාගේ දර්ශන ද අප වෙත ලැබී ඇත.

එම දර්ශනවලට අනුව සිද්ධියෙන් මියයන තංගතුරේ ධනුෂ්ටන් හට කිසිවකුත් උදව් නොකරන අතර අවසානයේ පිහිට වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල පදිංචිව සිටි 20 හැවිරිදි තංගතුරේ ධනුෂ්ටන් නැමැති තරුණයා ඊයේ උදෑසන ගෙල කපා ඝාතනය කර තිබුණේ ඔහුගේ මිතුරෙකු විසින්.

බානුඩීන් ඩැනියල් නැමැති 20 හැවිරිදි තරුණයෙක් විසින් මෙම ඝාතනය සිදු කර තිබූ අතර ඔහු අදාළ ඝාතනය සඳහා භාවිත කළ බවට සැලකෙන පිහිය මිලදීගෙන තිබුණේ අසල පිහිටි වෙළඳ සැලකින්.

සී.සී.ටී.වී දර්ශනවලට අනුව පිහිය මිලදී ගැනීමෙන් පසු ඔහු ඝාතනය සිදු කිරීමට තෝරා ගත් ස්ථානය නිරීක්ෂණය කර තිබේ.

පසුව ඩැනියල් විසින් තම මිතුරා එම ස්ථානයට රැගෙන එනු පෙනේ.

ඩැනියෙල් තම මිතුරාගේ ගෙල කපා දමන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබුණත් මාධ්‍ය සදාචාරයට ගරු කරමින් එම දර්ශන විකාශනය නොකිරිමට අද දෙරණ තිරණය කළේය.

ගෙලෙහි කැපුම් තුවාල සහිතව ධනුෂ්ටන් සහාය ඉල්ලා ආසන්නයේ පිහිටි ත්‍රිරෝද රථ ගාල වෙත දිව ගියේය.

එහෙත් මෙහි සිටි කිසිදු ත්‍රිරෝ රථ රියැදුරෙක් ධනුෂ්ටන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වන්නේ නැත.

පසුව මේ තුවාල කරු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර දෙසට දිව ගියේය.

අප වාර්තාකරු සදහන් කළේ, එහිදී නාවික හමුදා නිලධාරීයෙකු තම ටී ෂර්ටයෙන් රුධිරය පිටතට ඒම වැලැක්වීම සඳහා ගෙල පෙදෙස ආවරණය කර ඇති බවයි.

පසුව ඔවුන් තංගතුරේ ධනුෂ්ටන් ඉක්මනින් රෝහල වෙත රැගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි වුයේ නැත.

++++++++++++++++++++++++

ආත්මාර්ථය පරාර්ථයට හරවන්නේ කෙසේ ද?

(17.04.2019 – 12:31 +0530 – newsfirst.lk/sinhala)

මානව සමාජය වේගයෙන් දියුණුව කරා ගමන් කරන විට සමාජයේ වටිනාකම් සහ අගනාකම් (Norms & Values) ක්‍රමයෙන් දියවී යන්නේ ඇයි ද යන ප්‍රශ්නාර්ථයට ලෝකයේ බොහෝ විද්වත්හු පිළිතුරු සොයමින් සිටිති.

  • ලෝකය දියුණුවත්ම මිනිසා හුදකලා වන්නේ ඇයි?
  • සාමාජීය සත්ත්වයා ක්‍රමයෙන් කෘත්‍රිම වටපිටාවක තනි වීමට උත්සාහ දරන්නේ ඇයි?
  • සමාජය යථාර්ථවාදී සමාජයෙන් බැහැරව කෘත්‍රිම සාමාජයක සන්නිවේදන මෙවලම් ඔස්සේ, මිශ්‍ර වීමට උත්සාහ දරන්නේ ඇයි? (Virtual Society)

මෙවැනි ප්‍රශ්න රාශියකට අද වන විට අපි මුහුණ දී සිටිමු. මිනිසුන් උපතින්ම ආත්මාර්ථකාමි වුවත් සමාජානුයෝජනය හරහා ආත්මාර්ථය පරාර්ථයක් කර ගැනීමට බොහෝ සමාජවල මිනිසුන් උත්සාහ දරනු දැක ගතහැකි ය. අතීතයේ සංස්කෘතීන් අතර පරාර්ථකාමී සබඳතා වර්ධනය වී තිබූ අතර විවිධ සංස්කෘතික උත්සව හරහා එම තත්ත්වය වඩාත් ප්‍රදර්ශනය විය. විශේෂයෙන් අලුත් අවුරුදු උත්සවය එම පාරාර්ථකාමී හැගීම් වර්ධනය කරන සමූහික රංචු ලැදියාවකින් යුත් අවස්ථාවකි. මෙම අවුරුදු සමයේ සිදුවූ ඇතැම් සිදුවීම් දෙස බැලීමේදී අපට නැවතත් සිතීමට සිදුව ඇත්තේ, අප පරාර්ථයෙන් ආත්මාර්ථයට ගමන් කරමින් සිටිනවා ද? ආත්මාර්ථයෙන් පරාර්ථයට ගමන් කරමින් සිටිනවා ද? යන්නයි.

පසුගිය දිනෙක ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සිය මිතුරා විසින් ගෙල කපා දැමණු තරුණයෙකු තමන්ට උදව් කරන ලෙසත්, තමන් රෝහලකට රැගෙන යන ලෙසත් මහමග සිටි පිරිස්වලින් අයැද සිටිනු CCTV කැමරා දර්ශනවල සටහන්ව තිබිණ. එහෙත් කිසිවෙකුත් ගෙලෙන් රුධිරය වැගිරෙමින් සිටි එම තරුණයා රෝහලකට රැගෙන යාම හෝ ඔහු වෙත ගමන් කිරීම හෝ ප්‍රතික්ෂේප කළේ ය. අවසානයේ අධික ලෙස රුධිර වහන වී එම තරුණයා අවසානාවන්ත ලෙස මහමග මිය ගියේ ය.

බල්ලෙකු, බළලෙකු හෝ පණ අදිමින් සිටියදී වතුර උඟුරක් කටට වත් කරන සමාජයක් ලෙස ලාංකීය සමාජය ප්‍රකට ය. එහෙත් මාරාන්තික තුවාල ලබා මහමග තනිවී ජීවිතය අයදින තරුණයෙකු රෝහලට රැගෙන යාම ප්‍රතික්ෂේප කිරීමට තරම් වත්මන් සමාජය කෲර වූයේ ඇයි?

මෙහි අප නොදකින මානයන් කිහිපයක් තිබිය හැකි ය.

මෙවැනි මාරාන්තික තුවාල ලැබූ පුද්ගලයෙකුට උදව් කිරීම හෝ එලෙස උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයාට නීතිමය ක්‍රියාවලියට මැදිහත්වීමට සිදුවිය හැකි ය. එසේම ඔවුන්ගේ ධනය සහ කාලය ඒ වෙනුවෙන් වැය කිරීමට ද සිදුවිය හැක. මේ නිසා අනතුරට ලක් වූ සහ මහමග තුවාල සිදුවී සිටින නාඳුනන පුද්ගලයින්ට උදව් කිරීමට මෙරට සාමජයේ සාමාජිකයින් බිය විය හැකිය. මන්ද එලෙස උදව් කළ පුද්ගලයින්ට උසාවි ක්‍රියාදාමයන්ට පවා මැදිහත්වීමට සිදුවන බැවිනි. එහෙත් මානුෂිකත්වය යන්න උසාවි ක්‍රියාදාමයට වඩා ඉහළින් පවතින්නක් විය යුතුයි.

අනෙක් අතට මෙලෙස තුවාල සිදුවූ පුද්ගලයින් සමාජයට බරක් වූ පිළිලයක් වූ අපරාධකාරයින් විය හැකි ය. එවැනි අය ජීවත්වනවාට වඩා මිය යාම සුදුසු යැයි ඇතැමෙකු සිතනවා විය හැකි ය. එවැනි වටපිටාවකදී එවැන්නෙකුට උදව් කිරීමට තවත් අයෙකු ඉදිරිපත් නොවනු ඇත.

පසුගිය දා ත්‍රිකුණාමලයේ සිද්ධිය පොදුවේ ගත් කල අද මහමග අනතුරුවලදී අනතුරට පත්වන පුද්ලයෙකු රෝහලකට ගෙන යාමට පවා බොහෝ අය මැලි වෙති. මෙය අභාග්‍ය සම්පන්න සාමාජ තත්ත්වයකි. මන්ද දිනෙක ඔබට හෝ මට ද මෙවන් ඉරණමක් අත්විදිමට සිදුවිය හැකි බැවිනි.

ලාංකික සමාජය මෙම මානසික තත්ත්වයට පත්වීමට හේතුව කුමක් ද?

මෙය සමාජ විද්‍යාඥයින් විසින් හෝ මෙරට විද්වතුන් විසින් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදුකරනු ලබන පර්යේෂණයක් හරහා වටහා ගත යුත්තකි. බොහෝ බටහිර රටවල මෙම තත්ත්වය පසුගිය දශක කිහිපය තුළ වර්ධනය විය.

ඇතැම් රටවල පුද්ගලයෙකු මහමග මියගොස් සිටිය ද ඇතැමුන් එය නොදැක්කා සේ යන තත්ත්වයක් දැකිය හැකි ය. එහෙත් එම රටවල වගකිවයුතු නිලධාරියෙකුට එම රටවල සන්නිවේදනය හා තාක්ෂණය දියණු තත්ත්වයක පවතින නිසා ඉතා පහසුවෙන් හා කඩිනමින් එම ස්ථානයට ළඟා වීමේ හැකියාව පවතී. එවිට අනතුරට හෝ අපරාධයට ලක්වූ පුද්ගලයාට සහන සැලසීම පහසු කටයුත්තකි. තව ද බෙහෝ රටවල් සිවිල් සමාජය දැනුමින් සහ ආකල්පවලින් පොහොසත් වන අතර ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට උපදේශනය (Counseling) පත්ව තිබේ. උපදේශනය හරහා ආකාල්පමය සංවර්ධනයක් ඇති කිරීමට එම සමාජවල වගකිවයුත්තට හැකිව තිබේ.

ශ්‍රී ලංකාවේ සාමජයට ද දැන් වහාම උපදේශනය (Counseling) අත්‍යවශ්‍ය වී ඇති බව සඳහන් කළ යුතු ය.

දරුවාගේ සිට වැඩිහිටියා දක්වා උපදේශනයෙන් ආකල්ප වර්ධනය කිරීමට, වෙනස් කිරිම සහ සකස් කිරීමට කටයුතු කළ හැකි ය. පෙර පාසල, පාසල, වැඩබිම, කාර්යාලය, හමුදාව සහ පොලීසිය මෙකී සෑම ස්ථානයකම උපදේශනය තිබිය යුතු ය. උපදේශනය යනු හුදු කියමනක් පමණක් නොවන අතර එය විද්‍යාත්මක ක්‍රමවේදයකි. වහා ම උපදේශන මධ්‍යස්ථාන පිහිටුවා ඒවායේ සේවය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දීමට ක්‍රියාකිරීම හරහා යහපත් ආකාල්ප ඇති කොට සමාජයේ යළි වටිනාකම් හා අගනාකම් නැවත ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කළ යුතු කාලය උදාවී ඇත. එය නීතිරීති හරහා ඉටු කළ නොහැක්කකි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

20.04.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *