කුමන වනෝද්‍යානයට ඇතුළු වෙන්න නව නිර්ණායක කිහිපයක්

(19.04.2019 – 13:34 +0530 – sinhala.adaderana.lk)

කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර කෑමකට ලක්ව පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාදෙන නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර සිද්ධිය වූ ප්‍රදේශය සංචාරකයින් සඳහා වසා තැබීමට ද පියවර ගෙන තිබේ.

කුමන ජාතික වනෝද්‍යානය සදහා ඇතුළු වීමේදී සම්පුර්ණයෙන්ම ආවරණය වූ රථවාහන පමණක් ඇතුළු කිරීමටද පියවර ගෙන ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

ඊයේ (18) සිදූවූ සිද්ධිය අහඹු සිදුවීමක් ද එසේත් නැත්නම් දිවියා ආබාධයකට ලක්ව සිටියේද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

කුමන ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතව සිටි කම්කරුවෙකු දිවියෙකුගේ පහර කෑමකට ලක්ව ජිවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙකු තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

++++++++++++++++++++++++

කුමන වනෝද්‍යානයේ ජීවිතයක් බිලි ගත් දිවියා ජංගම දුරකථනයේ සනිටුහන් වු හැටි

(19.04.2019 – 19:04 +0530 – sinhala.adaderana.lk)

කුමන ජාතික වනෝද්‍යානය ආසන්නයේ සේවය කළ කම්කරුවෙකු දිවියෙක් පහරදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ සිද්ධියත් සමඟ අදාළ ප්‍රදේශය සංචාරකයින්ට තාවකාලිකව තහනම් කළ බවයි.

කුමන ජාතික වනෝද්‍යානය ආසන්නයේ බාබුරේ, බඹරගස්තලාව මාර්ගයේ කිරිපොකුණ නම් ස්ථානයේ සේවය කළ කම්කරුවන් පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, ඔවුන් ඊයේ (18) දහවල් ආහාරය රැගෙන එම ස්ථානයේ රැදී සිටියදී පස්වරු 2 ට පමණ එක්වරම දිවියෙක් කඩාවැදි ඇති බවයි.

සිද්ධිය ඇසින් දුටු අයෙක් අද දෙරණට කියා සිටියේ දිවියා අදාළ පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා ගෙන සිට ගත් බවයි.

තමා උදැල්ලෙන් පහර දුන් නමුත් දිවියා කිසිවක් නොකර අනෙක් පුද්ගලයා රැගෙන ගිය බව ද ඔහු සඳහන් කළේය.

පසුව කම්කරුවන් වනජීවී නිලධාරීන් සමඟ තම සගයා බේරාගැනීම සඳහා සෆාරි ජීප් රථයකින් කැළයට ගොස් තිබුණි.

ඒ, දිවියා සපාකෑමෙන් තුවාලවලින් වහනය වූ ලේ පහර ඔස්සේයි.

සුළු වේලාවකින් අනතුරට පත් පුද්ගලයා සොයා ගැනිමට වනජිවි නිලධාරින්ට හැකිවුවත් ඔහු ඒ වනවිට ජිවිතක්ෂයට පත්ව තිබුණා.

එම අවස්ථාවේදී කැලයේ සැඟව සිටි දිවියා ඉදිරියට පැන ජිප් රථයේ රියදුරුට පහරදී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, එහිදී ඔහු තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගනිමින් සිට ඇති බවයි.

එහිදී වහා ක්‍රියාත්මක වී ඇති වනජීවී නිලධාරීන් රබර් උණ්ඩ භාවිත කරමින් දිවියා වනයට පලවා හැර තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුලත් කෙරුණු රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට මාරු කර යැවුණි.

රෝහල් බලධාරින් ප්‍රකාශ කළේ, ඔහුට ශල්‍යකර්ම කිහිපයක් සිදුකර ඇති බවයි.

දිවියා පහරදීමෙන් ජිවිතක්ෂයට පත්වුනේ පොතුවිල් , කොමාරි , සංගමන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි සෙල්වදොරේ රවිචන්ද්‍රන් යන අයයි.

මේ අතර තමන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් කැදවූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා අද දෙරණට ඳෙහන් කළේය.

එමෙන්ම සිද්ධිය වූ ප්‍රදේශය සහ දිවියන් ගැවසෙන ප්‍රදේශ සංචාරකයින්ට තාවකාලිකව තහනම් කර තිබේ.

*****************************************

කෝටි 75 ක මුදලක් වංචා කළ සණස සභාපතිවරයා අත්අඩංගුවට

(19.04.2019 – 13:49 +0530 – lankadeepa.lk)

ගම්පහ විගොඩ සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75 කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද (19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සභාපතිවරයා ගම්පහ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5,000 කට ආසන්න සංඛ්‍යාවකගේ මුදල් වංචා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලිසිය මගහරිමින් සිටි සැඟවී සිටි සභාපතිවරයා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයකු අද (19) ලබාදුන් තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පදවාගෙන පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගම්පහ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *