කොටහේන කොච්චිකඩේ, කටාන, මඩකළපුව දේවස්ථාන 3 ක සහ කොළඹ කිංස්බරි, ෂැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල 3 නේ බෝම්බ පිපිරීමෙන් 207 ක් මියයයි 450 කට තුවාල

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයක පිපිරීමක්

(21.04.2019 – 09:21 +0530 – sinhala.adaderana.lk)

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ අද (21) උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

මේ වන විට තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇත.

ඒ වන විට විශාල පිපිරිසක් ‍දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට තුවාලකරුවන් සියලු දෙනා ඉතා ඉක්මනින් ජාතික රෝහල වෙත යොමු කරමින් පවතියි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

ස්ථාන 6 ක පිපිරීම් කිහිපයකින් මරණ 50 ඉක්මවයි

(21.04.2019 – 09:37 +0530 – lankadeepa.lk)

කොළඹ කොච්චිකඩේ, මීගමුව කොච්චිකඩේ සහ මීගමුව කටුවපිටිය යන දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 5 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද තවත් බෝම්බ පුපුරා ඇතැයි වාර්තා වේ.

මේ අතර මඩකලපුව ප්‍රදේශයේද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම් අද උදෑසන 8.45 ට පමණ මෙම සිදුවිම් වී තිබේ.

තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළු කරමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබුවෝ 80 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.‍

කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිපිරීමෙන් පුද්ගලයින් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් මිය ගොස් ඇතැයිද තොරතුරු වාර්තා වී ඇති අතර මේ වන විටි එහි ඇති සිරුරු ඉවත් කිරීමේ කටයුතු අරඹා තිබේ. දේවස්ථානය තුළ සැකකටයුතු පාර්සල් දෙකක් ද ඇති බව සඳහන් කරන පොලීසිය ඒවාද බෝම්බ විය හැකි බව සඳහන් කරයි.

මෙම ස්ථානවල රැදී සිටින ජනතාවට ඉවත් වන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරන අතර මෙම ස්ථානයන්හි ආරක්ෂාවද තර කර ඇතැයි ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු 40 කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහලට ගෙනවිත් ඇති අතර තුවාල ලැබුවෝ 160 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයිද තුවාල ලැබුවෝ අතර විදේශිකයින් විශාල පිරිසක් සිටින බවද රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

කොළඹ අගරදරගුරු නිල නිවසට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ ආරක්ෂාවක් සලසා ඇති අතර මේවනවිට සියලු දේවමෙහෙයන්ද අවලංගු කර තිබේ.

++++++++++++++++++++++++

කොච්චිකඩේ පල්ලියේ පිපිරීමෙන් 160 ක් රෝහලට

(21.04.2019 – 09:27 +0530 – hirunews.lk/sinhala)

කොච්චිකඩේ පල්ලිය තුල සිදුවු පිපිරීමෙන් තුවාල ලැබු 160 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

එමෙන්ම මඩකලපුවේ දේවස්ථානයක සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබු 300 දෙනෙකු රෝහල් ගතකර ඇති බවටයි වාර්තා වන්නේ.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

මඩකලපුව දේවස්ථානයේ පිපිරීමෙන් 25ක් මරුට

(21.04.2019 – 11:11 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම පිපිරීමෙන් තුවාල ලැබු 300 ක් පමණ රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

හෙට (22) සහ අනිද්දා (23) පාසල් නිවාඩු

(21.04.2019 – 11:41 +0530 – sinhala.adaderana.lk)

හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි ෴

++++++++++++++++++++++++

බස්රථ – දුම්රියවල පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතයි

(21.04.2019 – 12:19 +0530 – lankadeepa.lk)

සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්සල් බාරගැනීම ද නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (21) උදෑසන දේවස්ථාන සහ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය කර ඇතැයි ඔවුහු පවසති.

මේ අනුව අද (21 දා සිට) කිසිදු පාර්සලයක් බස්රථවල පටවා නොගන්නා ලෙස රියදුරු සහ කොන්දොස්තරවරුන්ට දැනුම දී ඇත.

මෙයට අමතරව සියලු දුම්රිය ස්ථාන සදහා ආරක්ෂාව සපයන ලෙස පොලිසියට හා දුම්රිය ආරක්ෂක හමුදාවට උපදෙස් දී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා පැවසීය ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

ෂැන්ග්‍රිලා ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සමුගනී

(21.04.2019 – 12:52 +0530 – lankadeepa.lk)

අද (21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

මායාදුන්නේ මහත්මියගේ බාල දියණිය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණීමෙන් පසු ෂැන්ග්‍රිලා හෝටලයේදී උත්සවයකට සහභාගී වෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

ශාන්තා මායාදුන්නේ මහත්මිය දශක දෙකකට වැඩි කාලයක් සිරිකත, රසමැදුර වැඩසටහන මෙහෙය වූ දක්ෂ පළපුරුදු සූපවේදිනියකි.

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

අද (21) සිදුවූ පිපිරීම් ගැන ආන්දෝලනාත්මක ලිපියක් පැතිරේ

(21.04.2019 – nethnews.lk)

එක්තරා අන්තවාදී සංවිධානයක විසින් ශ්‍රී ලංකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් සකස් කර ඇති බවට රාජ්‍ය බුද්ධි අංශය මගින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතට වාර්තාවක් භාරදී ඇති බවට පළවන පුවතක් සම්බන්ධයෙන් වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.

මෙම ලිපියට අනුව එම අන්තවාදී සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් පසුගිය අප්‍රේල් මස 11 වෙනිදා වගකිවයුතු අංශ වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් මාර්ගයෙන් වැඩිදුර තොරතුරු ලබාදී ඇති අතර අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා විසින් අදාළ වගකිවයුතු අංශ වෙත ලිපියක් මාර්ගයෙන් උපදෙස් ලබා දී ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මෙම ලිපියේ සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් මේ දක්වා ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහවුරු කිරීමක් සිදුකර නැහැ.

ඒ හේතුවෙන් මෙම ලිපිය සම්බන්ධයෙන් පුර්ව නිගමනයකට එළඹී තීරණ ගැනීමෙන් වැලකී සිටින ලෙස වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වශයෙන් සමස්ත ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා ෴

++++++++++++++++++++++++

++++++++++++++++++++++++

දෙහිවල සත්වෝද්‍යානය අසල උත්සව ශාලාවක පිපිරීමක් – 2 ක් මරුට

(21.04.2019 – 14:04 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල ප්‍රදේශයෙන් තවත් පිපිරීමක් වාර්තා වී තිබේ.

මීට ටික වේලාවකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි.

අදාළ ස්ථානයට මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත.

++++++++++++++++++++++++

ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට …

++++++++++++++++++++++++

https://twitter.com/i/status/1119854980205146112

++++++++++++++++++++++++

දෙමටගොඩත් පිපිරීම් දෙකක්

(21.04.2019 – 14:43 +0530 – lankadeepa.lk)

දෙමටගොඩ ප්‍රදේශයේ ස්ථාන දෙකක පිපිරීම් සිදුව ඇතැයි පොලීසිය කියයි.

දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවාසයක සහ සහ ගුවන් පාළම අසළ මෙම පිපිරීම් සිදුව තිබේ ෴

++++++++++++++++++++++++

මියගිය පිරිස 207 ක් දක්වා ඉහළට – තුවාලකරුවන් 450 යි – යළි දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය

(21.04.2019 – 17:36 +0530 – hirunews.lk/sinhala)

අද දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මියගිය පිරිස 207 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ආරක්ෂක අමාත්‍යංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක තුවාලකරුවන් 450 ක් සිටින බවයි පොලිස් මාධ්‍යප්‍රකාෂකවරයා ප්‍රකාශ කළේ.

සියලු තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී ඇති අතර එම දුරකථන අංකය වන්නේ 011 232 2485 යි .

විදේශකයින් සම්බන්ධ තොරතුරු දැනගැනීමට විශේෂ දුරකථන අංකය වන්නේ 011 232 3015 යි.

පොලිස් මූලස්ථානයේ ද විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇති බවයි මාධ්‍යප්‍රකාෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.

එසේම මේ වනවිට පනවා ඇති ඇඳිරිනීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි ෴

++++++++++++++++++++++++

දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 3 දෙනෙකු මරුට

(21.04.2019 – 16:57 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ – මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක පිපිරීමෙන් පොලිස් නිලධාරීන් 3 දෙනෙකු මිය ගොස් ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මිය ගිය පොලිස් නිලධාරීන් අතරට උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බවයි.

පිපිරීම් සමඟ දෙමටගොඩ අවට විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.

මෙම නිවසේ පිපිරීම් දෙකක් සමඟ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

……………………..

එමෙන්ම, දෙමටගොඩ – මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා.

එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද පසුව පොලීසීය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීම් සමඟ නිවසේ ගිනි ගැනීමක් ද වාර්තා වී ඇති අතර, මේ වන විට එම ස්ථානයට ගිනි නිවීමේ රථ ද කැදවා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ නිවසේ පළමු පිපිරීම සිදුවීම පරීක්ෂා කිරීමට යාමේදී දෙවන පිපිරීම සිදුවී ඇති බවයි.

අදාළ නිවෙස මෙන්ම යාබද නිවෙස්වල විශේෂ සෝදිසි මෙහෙයුමක් ද මේවන විට ක්‍රියාත්මකයි.

ඊට බෝම්බ නිශ්ක්‍රිය අංශය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටිනවා.

…………………….

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ සියළුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් නේවාසිකාගාරවල සිටින සිසුන්ට තවදුරටත් එහි රැදී සිටිය හැකි බවයි ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

++++++++++++++++++++++++

දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මිය යයි

++++++++++++++++++++++++

විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දමයි

(21.04.2019 – 04:44 +0530 – lankadeepa.lk)

රට තුළ සිදුවූ පිපිරීම් ගණනාවක් සමග උද්ගත වී ඇති තත්ත්වය සළකා බලා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන්ට, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබාදී ඇති බව ද මහාචාර්යවරයා සදහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට ඒවායේම රැදී සිටින්නට අවස්ථාව ලබා දී ඇතැයි ද සභාපතිවරයා කීවේය.

නේවාසිකාගාරවල සිටින සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි ෴

++++++++++++++++++++++++

කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැක කරන වෑන් රථයක් වැල්ලවත්තේ දී අල්ලයි

(21.04.2019 – 19:47 +0530 – sinhala.adaderana.lk)

අද (21) සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

++++++++++++++++++++++++

පිපිරීම්වලින් විදේශිකයින් 32 ක් ජීවිතක්ෂයට

(21.04.2019 – 19:29 +0530 – sinhala.adaderana.lk)

අද (21) උදෑසන සිදුවූ ප්‍රහාර වලින් විදේශිකයන් 32 ක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඔවුන් බෙල්ජියම, චීනය, එක්සත් රාජධානිය හා අමෙරිකාව යන රටවලින් මෙරටට පැමිණි පිරිස් බව ද වාර්තා වෙයි.

මේ අතර පිපිරීම්වලින් විදේශිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.

ඒ සඳහා වු දුරකථන අංකය වන්නේ 011 232 3015 යි.

++++++++++++++++++++++++

පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකකෙරේ

(21.04.2019 – 18:18 +0530 – lankadeepa.lk)

කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාර මරාගෙන මැරෙන ප්‍රහාර බවට පොලිසිය සැකකරයි.

කොච්චිකඩේ සහ මීගමුව දේවස්ථාන තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකරන හිස් දෙකක් පොලිසිය සොයාගෙන ඇත ෴

++++++++++++++++++++++++

ගුවන්තොටුපලට පිවිසෙන මාර්ගයක තබා ගිය පුපුරණ උපකරණයක් නිෂ්ක්‍රීය කරයි

(21.04.2019 – 23:58 +0530 – sinhala.adaderana.lk)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණය ගුවන් හමුදා භට පිරිසක් විසින් නිෂ්ක්‍රිය කර තිබේ.

අද (21) රත්‍රීයේ මෙම පුපුරණ උපකරණය නිෂ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

අද රාත්‍රී 10:00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර, පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි.

ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග දේශීය වශයෙන් නිපදවා, පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම පුපුරණ උපකරණය අද රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීය.

මෙම අවස්ථාව වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීය සංචාරය නිමවා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ආසන්නව තිබුණි ෴

++++++++++++++++++++++++

කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීමට පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයාගේ CCTV දර්ශන

(21.04.2019 – 22:15 +0530 – sinhala.adaderana.lk)

කටාන කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ලකළ බවට සැක කෙරෙන පුද්ගලයා දේවස්ථානයට ඇතුළු වන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍යයට මෙලෙස නිකුත් වී තිබේ.

++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *