ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් – ISIS නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසයි

(30.04.2019 – 06:39 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවේ පසුගිය 21 වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත.

ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වසර 05 කට පසුව මෙම වීඩියෝ පටයක් නිකුත් කර ඇති බවයි.

මෙම ත්‍රස්ත නායකයා 2014 වසරට පසුව නිකුත් කරන ලද පළමු වීඩියෝව ද මෙය බව වාර්තා වේ.

ඔහු මෙම වීඩියෝව පසුගිය 18 වනදා රූගත කර ඇති බව වාර්තා වන අතර පසුව එම වීඩියෝවට හඬ පටයක් එක් කොට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ප්‍රහාරකයින් සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ඉකුත්දා එල්ලවූ ප්‍රහාරය සිරියාවේ Baghouz ප්‍රාන්තයේදී තම කණ්ඩායම ලද පරාජයට පළිගැනීමක් ලෙස ISIS ත්‍රස්ත නායකයා එම වීඩියෝ පටයේ සඳහන් කර ඇත.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සඳහන් කරන්නේ ISIS ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාව තුල සිදුවූ බෝම්බ ප්‍රහාරයන් හරහා සිය සංවිධානයට මේ වන විට උදාවී ඇති පසුගාමීත්වය නැති කර ගැනීමේ උත්සහයක යෙදෙන බවයි.

ඔහු විසින් ශ්‍රී ලංකවට අමතරව මාලි හිදී ප්‍රංශ සාම සාධක හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද සිය සතුට පළකර ඇත.

ඉදිරියේදී තම ත්‍රස්ත සංවිධානය අතින් ගිලිහුණු ඉරාකය සහ සිරියාවේ භුමි ප්‍රදේශ තමන් සතුකර ගන්නා බවටද එම වීඩියෝව හරහා ප්‍රකාශ කර ඇති අතර තම සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවලට එරෙහිව අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

සිරියාවේ මොසුල් හිදී අවසන් වරට ISIS ත්‍රස්ත නායකයා සිදුකරන ලද වීඩියෝවෙන් අණතුරුව ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක වාර්තා නොවීය.

මීට පෙර ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියේ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම ත්‍රස්ත නායකයා මිය යන්නට ඇති බවයි.

++++++++++++++++++++++++

අද දින (30.04.2019) සිදු කළ සෝදිසි මෙහෙයුම්

(30.04.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

අප්‍රේල් 26 වැනිදා කල්මුණේ සයින්දුමරුදු ප්‍රදේශයේදී පිපිරීම් 03 ක් සිදුකරගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් එම ස්ථානයට පැමිණීමට හා බෝම්බ ප්‍රවාහනය කිරීමට යොදාගත් බවට සැකකෙරෙන වෑන් රථයක් අද (30) සොයාගැනුණේ කැකිරාව මරදන්කඩවල ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක සඟවා තිබියදීයී.

අදාළ වෑන් රථය ද සමඟ එහි හිමිකරු වන එම ප්‍රදේශයේම පදිංචි අබුසාලි නසාර් නමැත්තාද කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ආගමික පූජකවරයෙකුගේ ඉල්ලීමක් මත අදාළ බෝම්බකරුවන් මෙම වෑන් රථයෙන් කල්මුණේ ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවයි.

එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරියක් ද අද සුංගාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ සැකකරුවන් තිදෙනෙකු සමගයි.

කොටහේන ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක සැකසහිත ලෙස රැඳී මිටි පුද්ගලයින් දෙදෙනෛකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සතුව තිබි අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් සීඩී තැටි 3 ක් , දුරකථන 11 ක්, වෝර්කිටෝර්කි 2 ක් , නිවෙස් කිහිපයක දොර යතුරු හා විදෙස් මුදල් ඇතුලු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරින් බව වාර්තා වන අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මැයි 02 වනිදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර හිමි විය.

මේ අතර මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල් හක් හා මොහොමඩ් ඊබ්‍රහිම් සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනා සැඟව සිටි ගම්පොල පාවහන් වෙළෙඳසැල අද යළි පරික්ෂාවට ලක් කෙරුණි.

එහිදි ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දේශනා ඇතුළත් විඩියෝ පට හා මරාගෙන මැරෙන පුහුණුව ඇතුලත් එම සංවිධානයේ ලියකියවිලි අන්තර්ගත දෘඪාංග පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ වෙළෙඳ සැලේ රහසිගත ස්ථානයක සඟවා තිබියදීයී.

මේ අතර කොළඹ ඇතුලු පළාත් ගණනාවකට තියුණු ආයුධ බෙදා හැරි බවට සැකකෙරෙන ඉස්ලාම් පුජකයින් දෙදෙනෙකු කුරුනෑගල නාරම්මල ප්‍රෙද්ශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සතුව තිබි කඩු 9 ක් හා ජංගම දුරකථන 3 ක් ද පොලිස් භාරයට ගැනුනි.

මාතලේ පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදි මාතලේ ඩෝල පාර ප්‍රදේශයේ පිහිටි නිවසක තිබි ඩෙටනේටර් 2 ක් හා දුරදක්නයක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර එහිදි සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගැනුණි.

මේ අතර බණ්ඩාරවෙල දබගොල්ල ප්‍රදේශයේ ඉඩමක සෞදි අරාබියේ බෝරා නායකයෙකුගේ යැයි පැවසෙන ගොඩනැගිල්ලක් අද ආරක්ෂක අංශ විසින් පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ එය සෝදිසියට ආරක්ෂක අංශවලට බාදා එල්ල වුණි.

මෙවන් පසුබිමක බණ්ඩාරවෙල පන්නල ව්‍යාපාරික ස්ථානයක්ද ආරක්ෂක අංශ විසින් පරික්ෂාවට ලක් කළ අතර එහි තිබූ අධිතාක්ෂනික සිනමා ශාලාවක්ද පරීක්ෂාවට ලක්වුණි.

මේ අතර පුත්තලම විළුක වැව අසල පාර්සලයක තිබි ජිව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙන අතර බෝර ‍12 වර්ගයේ ගිනි අවියට යොදන උණ්ඩ 9 ක්, බෝර 16 ගිනි අවියට යොදන ජිව උණ්ඩ 18 ක් ඒ අතරට අයත්.

මේ අතර මන්නාරම අඩම්බන් පොලිස් වසමට අයත් විඩත්තල්තිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී ඩෙටනේටර් 06 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අත්අඩංගුවට ගත් පිරිස අතර රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුද වන බවට ප්‍රචාර පැතිර ගියේය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය පවසන්නේ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු එහිදී අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව කියන මොහොමඩ් සානුස් නමැත්තා මීට පෙර සිය පක්ෂය නියෝජනය කරමින් මාන්තෙයි බටහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති බවත් , ඔහු මේ වන විට පක්ෂයෙන් ඉවත් වී සිටින අයකු බවත් එම නිවේදනයේ සඳහන්.

ඒ අතර කෝට්ටේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී එච්.එම්.අලි උසුමාන් සහ ඔහුගේ සහෝදරයා අද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඒ නාගරික මන්ත්‍රීවරයාගේ සොහොයුරාගේ නිවසේ තිබී කඩු කිහිපයක් සොයාගැනීමේන පසුවයි.

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට මොහොමඩ් රෂීම් මොහොමඩ් ඉර්ෂාන් නමැති 36 හැවිරිදි අයෙකු සීතාවක පොලිස් අධිකාරී කාර්යාලය අත්අඩංගුවට ගෙන තිබේ.

නින්දවූර් ප්‍රදේශයේ කලක් වාසය කර තිබූ ඔහු මෙම ප්‍රදේශයට පැමිණ තල්දූව ප්‍රදේශයේ මුස්ලිම් ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති අතර අදාළ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් මෙවලම් රැසක් ද පොලිස් භාරයට ගැනුණි.

එමෙන්ම පාදුක්ක කුරුගල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 28 හැවිරිදි පුද්ගලයෙකු යුධ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 06 ක් සහ ජංගම දුරකතන 08 ක් සමගින් පාදුක්ක පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණි.

අදාළ ඇඳුම් කට්ටල ද සමග ගුවන් ගමන් බලපත්‍රයක්,විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි කළ ලොරි රථයක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අතර වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දුරගමන් බස්රථ නවතනු ලබන හෝටල් පරිශ්‍රයක තිබී බෝම්බ හා පතොරම් තොගයක් ඊයේ (29) සවස සොයාගැනුණු අතර පීඩන බෝම්බ 03ක් හා ආර්.පී.ජී.උණ්ඩයක් ද ඒ අතරට අයත්.

එමෙන්ම වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේ නිවසක අපජලය ගලායන කාණුවක පයිප්පයක් තුළ සගවා තිබූ කඩු දෙකක් සමග සැකකරුවෙකු වවුනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුනේය.

මේ අතර නාරම්මල බිහල්පොල ගොඩගම විහාරස්ථානයක් අසල පෞද්ගලික ඉඩමක තිබි බෝම්බ 4 ක් සොයා ගැනුණු අතර ඉන් අවදානම් තත්ත්වයේ තිබු බෝම්බයක් ආරක්ෂක අංශ විසින් ආරක්ෂිතව පුපුරුවා හරිනු ලැබේය.

හොරණ ගෝනපොල නගරය ආසන්නයේ පැය හතරකට අධික කාලයක් නවතා තිබු මෝටර් රථයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් දැඩි කලබලයට පත්ව සිටි අතර ආරක්ෂක අංශ එය සෝදිසි කරන අවස්ථාවේ හිමිකරු එතැනට පැමිණියේය.

මීටියාගොඩ කහව ප්‍රදේශයේ යතුරුපැදියක් මිලට ගැනීමට පැමිණි මාලදිවයින් ජාතිකයින් තිදෙනෙකු සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයෙකු එම යතුරුපැදියේ ලිපිලේඛන ද රැගෙන පලායන අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුම ආසන්නයේදී පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනු ලැබුවා.

එසේම අද අලුයම 4.00 සිට වීරකැටිය,යක්ගස්මුල්ල මුස්ලිම් ගම්මානය ආරක්ෂක අංශ වල සෝදිසියට ලක් වූ අතර එහිදී අනන්‍යතාව තහවුරු කිරීමට සමත් නොවූ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ත්‍රිකුණාමලය චීන වරාය කරමලඋත්තු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියේදී වනලැහැබක සඟවා තිබූ කඩු තුනක් ද ආරක්ෂක අංශ භාරයට ගැනුණී.

මදුරන්කුලිය විරුතෝඩෙයි ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදුකළ සෝදිසියකදී ජාතික තවුහීද් ජමාත් සංවිධානයට අයත් දැන්වීම් පුවරු කිහිපයක් පුළුස්සා දමා තිබියදී ආරක්ෂක විසින් සොයාගනු ලැබුවේය.

ඒ සම්බන්ධයෙන් අදාළ දේවස්ථානයේ සභාපතිවරයාව සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

වැලිමඩ පාදිනාවෙල ප්‍රදේශයේ ගෙවත්තක සිදු කළ සෝදිසියකදී වෑන් රථයක් හා ඒ තුළ තිබී රුපියල් ලක්ෂයකට ආසන්න විදෙස් මුදල් නෝට්ටු තොගයක් පොලිස් අත්අඩුගවට ගැනුණේ ඒවායේ හිමිකාරීත්වය තහවුර කිරීමට කිසිවකු අසමත් වීම නිසයි.

++++++++++++++++++++++++

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්තවාදීන් උතුරේ සැගව සිටින බවට තොරතුරු.. හමුදාවෙන් දැඩි පරික්ෂාවක්…

(30.04.2019 – 12:40 +0530 – lankacnews.com)

කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්හි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතරේ ස්ථාන කිහිපයක සැගව ඇති බවට ආරක්ෂක අංශ වෙතට බුද්ධි තොරතුරු ලැබීමත් සමග මේ දිනයන්හි පුලුල් සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇත.

මේ අනුව යුද හමුදා සෙබලුන් විසින් වව්නියාවේ මුස්ලිම් ගම්මාන කිහිපයක් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කල අතර වව්නියාව නගරයේ මේ දක්වා සිදු කරන ලද සොදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.

එමෙන්ම මන්නාරම් දිස්ත්‍රීක්කයේද සිදු කරන ලද හදීසි සෝදිසි පරික්ෂාවකින් සැකකටුයු පුද්ගලයින් 12 දෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් උතුරේ මුස්ලිම් ගම්මානයන්හි සැගව සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම ගම්මානයන්හි නිවාස තුල ආගමික ස්ථාන ඇතුලු ස්ථානයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට උතුරේ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

++++++++++++++++++++++++

පිපිරවීම් කරන ඩෙටනේටර තොගයක් සමගින් සිවු දෙනෙක් අත්අඩංගුවට.. පල්ලියකින් හමුදා ඇදුම්…

(01.05.2019 – 00:05 +0530 – lankacnews.com)

මන්නාරම අඩම්පන් පාලවිය ප්‍රදේශයේ වෙළඳසැලක් පරික්ෂා කළ යුද හමුදා සෙබලුන් පිරිසකට ඩෙටනේටර් 10 ක් තිබී හමු වී ඇති අතර එහි සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යුද හමුදාව පවසයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 54 බලසේනාවට අයත් සෙබලුන් පිරිසක් විසින් අදාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කල අවස්ථාවේදී එක්තරා කඩ කාමරයක් වහලය පරික්ෂා කිරීමේදී ඩෙටනේටර් 10 ක් සගවා තිබී හමු වී ඇත.

අංක 129, 05 වන හරස් වීදිය, පාලවිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචි අබ්දුල් හනූජ් නැමති මුස්ලිම් සැකකරු සමග එහි සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කුඩා වඩුමඩුවක් පවත්වාගෙන ගිය අයෙකුද සිටින අතර ඔහුට අයත් බැංකු පොතක රුපියල් කෝටි 10 ක පමණ මුදලක් තිබී ඇති හෙයින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩෙටනේටර් තොගය යුද හමුදා සෙබලුන් විසින් වැඩි දුර පරික්ෂණ සඳහා අඩම්පන් පොලීසිය වෙතට භාර දුන් බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

මේ අතර යාපනය අල්ලයිපිඩ්ඩි මුස්ලිම් පල්ලියක් තුල තිබී යුද හමුදා ආරක්ෂක කබායක් ඇතුලු තවත් උපකරන කිහිපයක් හමු වූ බවට ආරක්ෂක අංශ පවසයි.

අදාල මුස්ලිම් පල්ලිය පිළිබඳව ලැබුනු තොරතුරකට අනුව පොලීසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව විසින් සිදු කරනු ලැබූ සොදිසි මෙහෙයුමකදී මෙම ආරක්ෂක කබාය අත්අඩංගුවට ගෙන ඇත.

අදාල යුද හමුදා ආරක්ෂක කබායට අමතරව කමාණ්ඩෝ බලකාය විසින් පරිහරනය කරන ජල පුරවනයක්, ටී.56 පතුරම් දෙකක් හා රතිඤ්ඤා කරල් කිහිපක්ද තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අදාල යුද හමුදා ඇඳුම් කව්රුන් විසින් තිබ්බේදැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර අදාල පිරිස් සොයා ආරක්ෂක අංශ විසින් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

++++++++++++++++++++++++

මුස්ලිම් දේවස්ථාවල තිබී හමුවන ආයුධ එම දේවස්ථායන් පිරිසිදු කිරීම සඳහා ගෙනඑන්නට ඇති ඒවා බව මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි. (30.04.2019)

++++++++++++++++++++++++

රිශාඩ් මරාගෙන මැරෙන බෝම්බයක්..තීනියාවල හාමුදුරුවෝ කියපු කතාව මෙන්න.. (27.04.2019)

https://www.youtube.com/watch?v=L2BU2iq0ImY

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Poppycock regarding the video and US claims that Abu Bakir set up the massacre to avenge losing the Caliphate. It is more like US misinformation campaign to justify their efforts to gain foothold in SLK. Remember the Portuguese and Dutch and British that landed only to stay a short period until they repaired their ships. But they ended up dictating terms to Lankans and occupying the country for 500 years. We dont want another Syria in SLK, bring them here and our developments and civilization and culture will be destroyed. Our security services can solve own problems, but we need a government with a backbone, and not headed by our present useless and corrupt leaders.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *