මාකඳුරේ මධූෂ් ඩුබායිවලින් පිටුවහල් කරයි – කටුනායකදී CID බාරයට

(05.05.2019 – 05:51 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ බාරයට ගෙන ඇත.

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් අද අළුයම 5 ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපලට ළඟා වී ඇත.

පසුගිය පෙබරවාරි 05 වන දින ඩුබායිහි පැවති සාදයක් අතරතුර මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් අතර එම පිරිස අතර ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා, රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන අය ද සිටියේය.

අත්අඩංගුවට ගත් පිරිස් සම්න්ධයෙන් එරට ආරක්ෂක අංශ පරීක්ෂන පවත්වා අවස්ථා කිහිපයකදී එරටින් පිටුවහල් කරනු ලැබුවේය.

ඔවුන්ගෙන් පිරිසක් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගත කෙරුණු අතර තවක් පිරිසක් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැරීමට පියවර ගත්තේය.

තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකදුරේ මදුෂ් ඩුබායි අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද එරට අධිකරණය ඊට අවස්ථාව ලබාදුන්නේ නැත.

මාකදුරේ මදුෂ් මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් 50 කට අධික සංඛ්‍යාවකට අවශ්‍යව සිටින පුද්ගලයෙකු වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

කොල්ලකෑම් සම්බන්ධයෙන් මදුෂ් අවසන් වරට අත්අඩංගුවට පත්ව ඇත්තේ 2005 වසරේදී ය.

2006 වසරේ දී ඔහු විසින් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනි හිත්තැටියගේ මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

ඊට අමතරව තවත් ඝාතන රැසකට සහ කොල්ලකෑම් රැසකට මදුෂ් පොලීසියට අවශ්‍ය වී සිටින සැකකරුවෙකි.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාගෙන අමල් පෙරේරාගේ පුත්‍ නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදා හරිණු ලැබුණි.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගැනුණු ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පසුගියදා මුදා හැරුණි.

රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අ‍ප්‍රේල් 25 දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ඒ ගංජා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් මතයි.

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම ඝාතන සිද්ධි රැසක සැකකරුවකුද වූ මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේදී පසුගිය 28 අත්අඩංගුවට ගැනුණි.

වැඩිදුර ප්‍රශ්න කිරීමට මධුෂ් CID මූලස්ථානයට

(05.05.2019 – 08:46 +0530 – sinhala.adaderana.lk)

අද (05) පෙරවරුවේ කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන විත් ඇත.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අද පෙරවුරවේ දිවයිනට පැමිණි මාකඳුරේ මදුෂ් එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මාකඳුරේ මදූෂ් අද අලුයම 05:00 ට UL 226 දරණ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණියේය.

සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදූෂ් පසුගිය පෙබරවාරි 05 වන දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

++++++++++++++++++++++++

මාකඳුරේ මධුෂ්, ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරේ – කටුනායකදී CID භාරයට

(05.05.2019 – 05:52 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුලූ දරුණු අපරාධ රැසකට සම්බන්ධ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් අද අලුයම 5 ට පමණ කටුනායක ගුවන් තොටුපලේදී මෙලෙස පොලිස් භාරයට ගැනුනා.

ඔහු ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන්.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතනය මාකඳුරේ මධුෂ්ට මුලින්ම එල්ලවූ චෝදනාව වන අතර ඉන් අනතුරුව පාතාල ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණා.

ඒ අතර මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම, දරුණු ගනයේ කොල්ලකෑම්, පැහැරගැනීම්ද වනවා.

මෑත කාලීනව මාකඳුරේ මධුෂ් පිළිබඳ වැඩිම අවධානය යොමුවූයේ කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා සමයං ඇතුලු පාතාල සාමාජිකයින් පස්දෙනෙකු, බන්ධනාගාර නිලධාරියෙකු ඇතුලු හත්දෙනෙකු ඝාතනය කිරීමයි.

එය ඩුබායි හි සිට මාකඳුරේ මධුෂ් මෙහෙයවා තිබූ අතර, මෙරට තවත් පාතාල නායකයෙකු ලෙස සැළකෙන අංගොඩ ලොක්කා ඊට සහයෝගය ලබාදී තිබුණා.

ඩුබායි හි සාදයකදී පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලු 31 දෙනෙකු අත්අඩංගුවට පත්වුයේ පසුගිය පෙබරවාරි 5 වනදායි. අත්අඩංගුවට පත්වූ පිරිස අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ද සිටියා.

මෙම පිරිස ඩුබායි හිදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

එම මෙහෙයුමේදී මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් පාතාල නායකයන් 15 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනුනා.

මෙවැනි පසුබිමක් තුළදී ඩුබායි හිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ මාකඳුරේ මධූෂ්ගේ සූරියවැව පදිංචි පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව්. ශ්‍රියාණි විසින්.

අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට මෙරටින් නීතීඥයන් දෙදෙනෙකුද මෙම කාලසීමාව තුළ ඩුබායි වෙත පිටත්ව ගොස් තිබුණා.

විදේශ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව අත්අඩංගුවේ සිටි මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුලූ පාතාලයේ ප්‍රබලයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මෙහෙයුමක්ද ක්‍රියාත්මක කළා.

ඩුබායි හි නීති කටයුතු අවසන් වීමෙන් පසු මාකඳුරේ මධුෂ් හැර අත්අඩංගුවේ පසුවූ සෙසු සැකකරුවන් 30 දෙනා පසුගිය සතිය වනවිට මෙරටට පිටුවහල් කෙරුණා.

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට එවීම ප්‍රමාදවූයේ පිටුවහල් කිරීමට එරෙහිව ඔහු විසින් ඩුබායි අධිකරණයේ ගොනුකළ අභියාචනයක් හේතුවෙන් ෴

++++++++++++++++++++++++

මධුෂ් පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලඥයෙක් සකස් කර දුන් ව්‍යාජ විදේස ගමන් බලපත‍්‍රයෙන්…

(05.05.2019 – 10:00 +0530 – lankacnews.com)

මාකදුරේ මධුෂ් මෙරටට පිටුවහල් කර ඇත්තේ මෙරට දේශපාලනඥයෙකුගේ උදව්වෙන් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයෙන් බව වාර්තා වෙයි.

ගුවන් තොටුපල බලධාරීන්ට ඉදිරිපත් කරන ලද N 5480656 දරන විදේශ ගමන් බලපත්‍රයේ දැක්වුනේ වර්ණකුලසූරිය අජිත් එරංග නම හා ගම්පහ පදිංචි අයෙක් ලෙසයි.

මධුෂ් ශ‍්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත්තේද එම ව්‍යාජ ගමන් බලපත‍්‍රය උපයෝගී කර ගනිමින් බව මීට පෙර හෙලිව තිබිණ.

මධුෂ්ට ව්‍යාජ විදෙස් ගමන් බලපත‍්‍රයක් සකස් කර දීමට දේශපාලඥයෙකු උදවු කර ඇති බව වාර්තා වීමත් සමගින් දේශපාලඥයන් කිහිප දෙනෙකුම එම චෝදනාව තමනට එල්ල නොකරන්නැයි ඉල්ලමින් එය ප‍්‍රතික්‍ෂේප කරන ලදී ෴

++++++++++++++++++++++++

මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරණ ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර , ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණි . ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 790516478V ලෙස සදහන්ව තිබූ අතර , එම ගුවන් ගමන් බලපත්‍රය 2015.04.30 දින නිකුත් කර තිබුණි.
(05.05.2019 – 06:14 +0530 – lankadeepa.lk)

++++++++++++++++++++++++

(05.05.2019 – nethnews.lk)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *