වසර 15 කට පෙර තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන හතරක් කි‍්‍රයාත්මක වී තිබුණා…

(05.05.2019 – divaina.com)

arakshawa5

ඇමරිකානු රහස් වාර්තාවකින් හෙළිවන ඇත්ත මෙන්න… වසර 15 කට පෙර තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන හතරක් කි‍්‍රයාත්මක වී තිබුණා… බෝම්බ පිපිරීම් සිංහල අන්තවාදීන්ගේ වැඩක් – එරික් සෝල්හයිම්….

  • වාර්ගික දුෂ්කරතා ගැන කටයුතු නොකිරීමෙන් මෙවැනි ප‍්‍රහාර එල්ලවන බව ද්‍රවිඩ මන්ත‍්‍රී සුමන්තිරන් පවසද්දී වේගවත් අත්පොලොසන් හඬක්
  • තව්හිද් ජමාත් තහනම වැරදියි – සවුදි අරාබියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාවුඩ් යූසුප්
  • මුස්ලිම් දේශපාලකයන් ජාතික ආරක්‍ෂාවටද මැදිහත්වෙයි
  • බෝම්බ පිපිරීම් සිංහල අන්තවාදීන්ගේ වැඩක් – එරික් සෝල්හයිම්
  • ඉන්දියානු තවුහිද් ජමාත් සමඟ මෙරට තවුහිද් ජමාත් එක්ව කි‍්‍රයාකළා
  • සහරාන් හෂීම්ට ගැන 2017 දී වාර්තාවූවත් විමර්ශන සිදුවී නැත
  • අයිසිස් බෝම්බකරුවන් පුහුණුකළේ ආමි මොහිදීන්ද?
  • අයිසිස් ප‍්‍රහාරය ගැන මත දෙකක් පළවෙයි

‘‘කිසිදු ආරක්‍ෂක දුර්වලතාවයක් සිදුවී නැත. සැවොම තම රාජකාරිය කළා. මේ වගේ අනතුරු ඇඟවීම් කලින් කලට එනවා. ඇමරිකාවෙත් මේ දේ සිදුවෙනවා. මේ නිසා ජනතාව කලබලයට පත්කිරීමට කිසිවෙකු කි‍්‍රයාකළේ නැත.’’ – ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක – නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත

සුගිය පාස්කු ඉරිදා සිදුවූ අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමගම කොටි සංවිධානයේ අතිජාත මිත‍්‍රයාවූ නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝලහයිම් සිය ටුවිටර් පණිවුඩයෙන් පැවැසුවේ එම බෝම්බ ප‍්‍රහාර සිංහල අන්තවාදීන්ගේ ප‍්‍රහාරයක් බවයි. ඊට සමානව විමර්ශනයකින් තොරව බී.බී.සී සේවයද එම ප‍්‍රහාරය සිංහල අන්තවාදීන්ගේ ක‍්‍රියාවක් බව කියා සිටියේය.

හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද්රාද් හුසේන්ද ශ‍්‍රී ලංකාවේ සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර ගැන සැකපහල කරනු ලැබීය. එහෙත් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කළේ අයිසිස් ත‍්‍රස්ත කි‍්‍රයාකාරීන් බව පිලිගෙන තිබියදී සෝල්හයිම් තම ට්විටර් පණිවුඩය නිවැරදි කළේ නැත.

මේ පසුබිම මැද පසුගිය 28 වැනි ඉරිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දෙව්මැදුරේදී මියගිය පිරිස සිහිපත් කිරීමේ සමරුව ජනාධිපති මිචෙල් ඩි හිගින්ස් අගරදගුරු මාටින් සහ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩයනා සහ ශ‍්‍රී ලාංකික පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

මේ සමරුවට ඩබ්ලින් නුවර සිටින කොටි හිතවාදි දේවගැතියකු වූ ජුඩ්ලාල් ප‍්‍රනාන්දු නැමැත්තාද සහභාගිවී ශ‍්‍රී ලංකාවට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කළේය. අයර්ලන්ත ති‍්‍රත්ව විදුහලේ සහකාර මහාචාර්යවරයකු ලෙස කි‍්‍රයාකරන ජූඩ්ලාල් ශ‍්‍රී ලංකාව හමුදාකරණයට ලක්වී ඇති බවත් මෙම බිහිසුණු බෝම්බ ප‍්‍රහාරවලට හේතුවූයේ යටිකූට්ටු න්‍යාය පත‍්‍ර නිසා බව පළ කළේය.

මුස්ලිම් පූජකවරුන්ට අවමංගල උත්සව වලට සහභාගීවීමට ඉඩදී නැත. ඒකාබද්ධ සමරු උත්සව වලට සහභාගිනොවන ලෙස දැනුම් දුන්නා.

පලිගැනීමට දිරිදුන්නා. කතෝලික සහ ප්‍රොතෙස්තන්ත නායකයන්ට ආරක්‍ෂක උපදේශ වලට සවන්දීමට සිදුවුණා. ඒ පලිගැනීම යයි ඩූඩ්ලාල් ප‍්‍රනාන්දු නැමැත්තා තවදුරටත් කියා සිටියේය.

මේ කොටි හිතවාදියා මියගිය පිරිස සමරු උත්සවයට පැමිණි අයිරිස් ජාතිකයන් සහ ශ‍්‍රී ලාංකිකයන්හට පිළිබිඹුකිරීමට උත්සාහ කළේ මෙම පිපිරීම් පසුබිමේ බෞද්ධයන් සිටි බවයි.

එහෙත් අයර්ලන්තයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ජූඩ් ලාල් එල්ල කළ අභූත චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමට කි‍්‍රයාකළේ නැත. එසේම ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයද මේ කොටි හිතවාදියා අයර්ලන්ත ජනතාව නොමග යැවීමට කි‍්‍රයාකාරීම ගැන ප‍්‍රතිචාර දැක්වූයේ නැත.

මේ අතර ඉස්ලාමීය අන්තවාදය මෑතකදී කි‍්‍රයාත්මකවූ බවට විවිධ පාර්ශ්ව ජනතාව මුලාකිරීමට කි‍්‍රයාකරති.

2013 වසරේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යා භාර නිලධාරි ඩොනල්ඩ් කැම්ප් රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහසිගත වාර්තාවක් යවමින් නැගෙනහිර පළාතේ ඔසාමා සහ ජිහාද් නමින් සංවිධාන දෙකක් කි‍්‍රයාත්මක වන බවත් එම සංවිධානවලට අරමුදල් සපයන්නේ මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන සහ මැදපෙරදිග රටවල සේවය කරන ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් බවත් පවසා තිබුණි.

2013 වසරේදී ඇමරිකාවට එරෙහි විරෝධතා පැවැත්වීමට මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ කි‍්‍රයාකළ බවද එම රහස් වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත. මේ පෙරමුණේ නායකයා වූයේ අද එ.ජා.ප මන්ත‍්‍රීවරයකු ලෙස කි‍්‍රයාකරන මුජබිර් රහුමන්ය. මෙවන් පසුබිමක් මැද මෙරට බිහිසුණු පිපිරීම්වලට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානය තමිල්නාඩුවේ තවුහිද් ජමාත් සංවිධානය සමග දිගු කලක් තිස්සේ සබඳකම් පවත්වා ඇතැයි මෙට්රි හෙවත් මැදපෙරදිග මාධ්‍ය පර්යේෂණ ආයතනය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් දින දෙකකට පසු හෙළිකළේය.

එහෙත් මෙරට බුද්ධි අංශ අටක් තිබුණත් ඔවුන්ට ඒ බව වාර්තාවූයේ නැත. එසේම තමිල්නාඩුවේ ජමාත් තවුහිද් සංවිධානයේ පූජක ජසිනුල් අබ්දීන්ට මෙරටට ඒමට ඇරයුමක් ලැබී ඇතැයි අනාවරණය විය.

මේ අතර 2007 ඔක්තෝබර් 9 දා මෙරට සිටි ඇමරිකානු තානාපතිනි රොබට් බ්ලේක් මුස්ලිම් විද්වතුන් කීපදෙනෙක් කැඳවා වහාබ්වාදය ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වන්නේදැයි විමසා ඇත. එහෙත් එම විද්වතුන් ඊට නිසි ප‍්‍රතිචාරයක් දක්වා නැත.

එසේ වූවත් 2013 අපේ‍්‍රල් 3 දා කොළඹ මුස්ලිම් කණ්ඩායම් හතරක් කි‍්‍රයාත්මක වන බව ඇමරිකානු තානාපති කාර්යාලය රාජ්‍ය දෙපාර්තමේන්තුවට රහස් වාර්තාවක් යවමින් කියා සිටියේය. මේ වාර්තාව ඇමරිකාවට යවා තිබුණේ මෙරට සිටි ඇමරිකානු තානාපති ජෙප්රි ලන්ස්ට්ඩ් විසිනි.

මේ සංවිධාන ජමාත් ඉස්ලාම් – තවුහිද් ජමාත් තම්ලින් ජමාත් සහ ජමාත් මුස්ලර් බව එම රහස් වාර්තාවේ සඳහන් විය.

මෙම තොරතුරු තානාපති බලධාරීන්ට සපයා තිබුණේ හිටපු බුද්ධි සේවා නිලධාරියකු වූ එම් අයි කාදර් නැමැත්තෙකි.

නැගෙනහිර ප‍්‍රදේශයේ මුස්ලිම් කණ්ඩායම් හමුවීම සඳහා පාකිස්තාන් සංවිධායකයන් පැමිණෙන බවත් මුස්ලිම් තරුණයන් ජිහාද් – ඔසාමා සහ සදාම් නමින් හඳුන්වන කඳවුරුවලට සහභාගි වන බවත් එම හිටපු බුද්ධි නිලධාරියා තවදුරටත් අනාවරණය කර ඇත. මේ කටයුතුවලට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් උදව් කරන බවත් සවුදි අරාබියාවේ වර්ල්ඩ් ඇසම්බ්ලි බව මුස්ලිම් යූත් සංවිධානයද ඊට සහය වන බවත් හෙතෙම හෙළිකර ඇත.

මේ ඇමරිකානු රහස් වාර්තාවේ තවදුරටත් මෙලෙස දක්වා ඇත. ශ‍්‍රී ලංකා ජමාත් ඉස්ලාම් කොළඹ විශ්වවිද්‍යාලවල කි‍්‍රයාත්මක වේ. අරමුදල් සපයන්නේ සව්දි අරාබියාවේ මුස්ලිම් යූත් සංවිධානයයි. ජමාත් ඉස්ලාම් සංවිධානයේ තරුණයන් පාකිස්තාන්, සවුදි අරාබියාව – සුඩානය සහ යේමනය යන රටවල පාසල්වලට සහභාගි වේ.

තම්ලින් ජමාත් – ඉන්දුනීසියාව – මැලේසියාව – පාකිස්තානය – ඉන්දියාව සහ පිලිපීනයේ ශාඛා ඇත. මේ සංවිධානයට විදේශ සිසුන්ද සම්බන්ධ වේ.

මෙකී රහස් වාර්තාවෙන් තවුහිද් ජමාත් ගැන අවධානය යොමුවී නැත. එසේම මුස්ලිම් සටන්කාමීන් සහ පාතාල ලෝකය අතර දැඩි බැඳීමක් ඇතිබවත් ඉතාමත් කාර්යක්‍ෂම පාතාලලෝක කේන්ද්‍රස්ථානය මාලිගාවත්ත ප‍්‍රදේශය බවත් කොටි විසින් අත්හැර දැමූ අවි ආයුධ මොවුන් ලබාගෙන ඇති බවත් සැකකෙරෙන බවට ඇමරිකානු වාර්තාවේ දන්වා තිබේ.

එම රහස් වාර්තාවෙන් මෙරට කි‍්‍රයාත්මක වන මුස්ලිම් රාජ්‍ය නොවන සංවිධාන වල තොරතුරුද හෙළිකර ඇත. මෙහි දැක්වෙන්නේ එම තොරතුරුය.

  • වර්ල්ඩ් ඇසෙම්බිලි ඔෆ් යූත් – ටර්නර් පාර, බොරැල්ල
  • ඉන්ටර්නැෂනල් ඉස්ලාමික් ඊලිප් – පෙරේරා මාවත, දෙහිවල
  • ඒෂියන් පෙඩරේෂන් ඔෆ් මුස්ලිම් යූත් – පාර්ක් ඇවනිව්, බොරැල්ල
  • ෂබාබ් ඕගනයිනේෂන් – ගේ‍්‍රනියර් පාර, බොරැල්ල
  • ඊබර් ඕගනයිනේෂන් – බාන්ස් ප්ලේස්, කොළඹ 07
  • ඉස්ලාම් පවුන්ඬේෂන් – කල්දේරා මාවත, දෙහිවල
  • අන්මදිනා ජමාන් – බේස්ලයින් පාර, දෙමටගොඩ
  • පට්සකුල් අන්සාර් – පරගහදෙනිය, කුරුණෑගල
  • ඉස්ලාමීය අධ්‍යාපන ආයතනය – රෝහිනි පාර, වැල්ලවත්ත
  • ජමාතියල් උලමා – ඔරාබිපාෂා මාවත, මරදාන
  • හබ්බුල් අවුලියා – පිචර්ස් පටුමග, මරදාන
  • සෙරන්ඩිබ් රියර්ඩ් – කොළඹ
  • මුස්ලිම් වාර්ගික ආයතනය – බෝධි පාර, කොළඹ

මේ අතර තවුහිද් ජමාත් සංවිධානය ප‍්‍රමුඛ මුස්ලිම් කණ්ඩායම් හතරක් කොළඹ කි‍්‍රයාත්මකවූවත් බුද්ධි සේවා අංශ වෙන් වෙන් ලෙස මුස්ලිම් විමර්ශන ඒකක Muslim Desks ආරම්භ වී නොතිබුණි.

ඊට මූලික හේතුව වූයේ ඡුන්ද පදනම මත මුස්ලිම් දේශපාලන ජාලය මෙරට බහුතරයේ දේශපාලකයන්ව තම අණසකට නතුකරගෙන සිටීමයි.

එහෙත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ‍්‍රී ලංකාවේ අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් ගැන විමසිල්ලෙන් පසුවිය.

ඒ බව තහවුරු වූයේ අපේ‍්‍රල් 21 වැනිදා බෝම්බ පිපිරීම් වලින් පසු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අයිසිස් බෝම්බකරු සහරාන් හෂිම්ගේ දුරකථන සබඳතා දත්ත ශ‍්‍රී ලංකාවෙන් ලබාගැනීමයි.

එහිදී හෙළිවූයේ පසුගිය වසර අවසානයේ සහරාත් මාස තුනක් ඉන්දියාවේ ගතකර ඇති බවයි.

සහරාන් හෂිම්ගේ ඉන්දීය සබඳතා පිළිබඳව විමර්ශනය කළ ජාතික විමර්ශන ඒජන්සිය කේරලයේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරු රියාස් අබුබකර් හෙවත් අබුඩුවානා අත්අඩංගුවට ගෙන ඇත. තමා කේරළය තුළ බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව ඔහු අනාවරණය කර ඇත.

මොහු අත්අඩංගුවට ගැනීමට පෙර ජාතික ආරක්‍ෂක ඒජන්සිය සිදුකළ විමර්ශනයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවන බවට තොරතුරු ලැබී තිබුණි. එම ප‍්‍රහාරය ගැන අපේ‍්‍රල් 4 වැනි ඉන්දීය ‘රෝ’ බුද්ධි සේවය විසින් ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුණි.

මේ අතර ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ අයිසිස් ත‍්‍රස්තයන්ට බෝම්බ නිපදවීම සඳහා උදව් කළ හිටපු හමුදා සෙබළකු පිළිබඳව සොයන බවයි.

මොහු බදුර්දීන් මොහමඩ් මොහිදින් හෙවත් ‘ආමි මොහිදින්’ බව හෙළිවී ඇත.

අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ලත් තොරතුරු මත ‘ආමි මොහිදින්’ අයිසිස් ත‍්‍රස්තයන්ට බෝම්බ නිපදවීමට සහාය වී තිබේ.

මෙලෙස ශ‍්‍රී ලංකාවේ බෝම්බ පිපිරීමේ මෙහෙයුම නැගෙනහිර සිට ඉන්දියාව දක්වා කි‍්‍රයාත්මකවී ඇති බවට අනාවරණය වන අවස්ථාවේ මුස්ලිම් මූලධර්මවාදී කාන්තාවන්ගේ බුර්කා හිස් ආවරණය ත‍්‍රස්ත මර්දන පනත යටතේ ජනාධිපතිවරයා තහනමට ලක්කළේය.

මේ තහනමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් නැමැත්තා එරෙහිවිය. බලධාරීන් මෙම තහනම පැනවීමට පෙර මුස්ලිම් ආගමික නායකයන්ගෙන් අවසර ගතයුතු බවද ඔහු කියාසිටියේය. එහෙත් රටේ ජාතික ආරක්‍ෂාව ගැන තීරණ ගැනීමට මුස්ලිම් ආගමික නායකයන්ගෙන් උපදෙස් ගතයුතුද? එසේම මුස්ලිම් කවුන්සලයේ උප සභාපති තමන් කවුරු කියා සිතන්නේද? මුස්ලිම් පල්ලිවල කඩු තැන්පත් කර තිබුණේ ජනපති සහ ආරක්‍ෂක හමුදාවලට දැන්වීමෙන් පසුද? මේ අතර බුර්කා තහනමට එරෙහිව කටාරයේ සිට කි‍්‍රයාත්මක වන අල්ජසීරා රූපවාහිනී සේවාව වාර්තාවක් ප‍්‍රකාශයට පත්කරමින් ඊට ශ‍්‍රී ලාංකිකයන් විරෝධය දක්වා ඇතැයි සඳහන් කර ඇත.

මෙම පසුබිම මැද පසුගිය අපේ‍්‍රල් 8-10 සහ 14 යන දිනවලදී අයිසිස් සංවිධානය තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල කරන බවට නිවේදනය කර තිබුණි. එහෙත් එම අනතුරු ඇඟවීම් ගැන මෙරට නිසි අවධානයක් යොමුවී නැත. ජනපති කාර්යාලය, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ බුද්ධි අංශවල නිසි අධ්‍යයන ඒකක (Tnink Tank) නොතිබීම ඊට මූලික හේතුවයි.

ඇමරිකානු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ සිදුවූ අයිසිස් ප‍්‍රහාරයට අදාළ තොරතුරු හෙළිකරමින් පැවසුවේ අපේ‍්‍රල් 9 දා ප‍්‍රධාන බුද්ධි ප‍්‍රධානියා අපේ‍්‍රල් 9 දින ‘අතිශයින් රහසිගතයි’ යන තේමාව යටතේ පොලිස්පතිට අනතුරු අඟවමින් තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු සගයන් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කර ඇත.

එහෙත් පොලිස් ආරක්‍ෂාව වැඩිකර නැත. මෙම අපේ‍්‍රල් 9 දා රහස් බුද්ධි වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබුණේ ප‍්‍රධාන පෙළේ පල්ලිවලට සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයටද ප‍්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇති බවයි. ඉන්දීය බුද්ධි සේවා මෙම ප‍්‍රහාර එල්ලවූ උදෑසනද එකී ප‍්‍රහාරය ගැන ශ‍්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා තිබූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටියේය.

එහෙත් බුද්ධි අංශ හෝ පොලිසිය ඇඳිරි නීතිය කඩිනමින් පනවා ප‍්‍රහාරකයන් අල්ලා ගැනීමට කි‍්‍රයාකර නොතිබුණි. එසේම අයිසිස් ප‍්‍රහාරයේ නායක සහරාන් අල්ලා ගැනීමට පොලිසිය කි‍්‍රයාකළේ නැත. මන්ද ඔහු වටා බලවත් මුස්ලිම් දේශපාලන ජාලයක් තිබීමය.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් මඩකලපුවේ ජනතාව කුපිත කිරීමේ සිද්ධීන්වලට අවශ්‍ය වූවත් ඔහු අල්ලා ගැනීමට පොලිසිය උනන්දුවූයේ නැත.

කාතන්කුඩි ජනතාව සහරාන්ගේ රාජ්‍ය විරෝධි කි‍්‍රයාගැන දැන් විවිධ ප‍්‍රකාශ කළත් එම තොරතුරු කල්තියා බලධාරීන්ට ලබාදීමට කි‍්‍රයානොකළේ මන්දැයි හිටපු බුද්ධි ප‍්‍රධානියකු ඉරිදා දිවයිනට ප‍්‍රකාශයක් කරමින් ප‍්‍රශ්න කළේය.

ශ‍්‍රී ලංකා ධජය වැදගම්මක් නැති රෙදි කැබැල්ලක් බවක් තමාගේ අරමුණ ශ‍්‍රී ලංකාව ෂරියා රාජ්‍යයක් කිරීම බවත් සහරාන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුණි. එසේම ඔහු සවුදි ආධාර මත කාතන්කුඩි මුස්ලිම් දෙව්මැදුර ඉදිරියේ තවුහිද් දෙව්මැදුරක් ඉදිකළේය. මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය නම් සහරාන් කාතන්කුඩිහි අන්තවාදී මුස්ලිම් පල්ලියක් ඉදිකරන තුරු පොලිසියට හා බුද්ධි අංශවලට වාර්තා නොවුනේ මන්ද යන්නයි.

මෙයට ප‍්‍රධාන හේතුව වසර ගණනක් තිස්සේ මෙරට කි‍්‍රයාත්මක වූ මුස්ලිම් දේශපාලකයන්ගේ බලගතු ජාලය නිසායි.

වසර ගණනකට පෙර ඊශ‍්‍රායලය උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපළට ගොස් ත‍්‍රස්තවාදීන් මරා ප‍්‍රංශ ගුවන් යානාව සහ එහි සිටි මගීන් බේරාගැනීමේ සිද්ධිය දැක්වෙන ද රේඩ් ඔන් එන්ටැබේ චිත‍්‍රපටය එවකට විදේශ ඇමැතිව සිටි ඒ සී එස් හමීඩ් තහනම් කළේය.

අනතුරුව කොටින්ට එරෙහිව සටන් කිරීමට ඊශ‍්‍රායලයෙන් සහය ලබාගැනීමට තීරණයවූ අවස්ථාවේ ඇතැම් මුස්ලිම් දේශපාලකයෝ ඊට එරෙහිවූහ.

මෙවන් පසුබිමක් මැද බුද්ධි අංශ අඩපණ කිරීම ගැන රජයට චෝදනා එල්ල විය. එම අඩපණ කිරීම ආරම්භ වූයේ 2016 නොවැම්බර් 2 දා ජනාධිපතිවරයා හමුදා බුද්ධි සේවාවේ ප‍්‍රධානි බි‍්‍රගේඩියර් සුරේෂ් සැලේ එන්.ජී. ඕ කණ්ඩායමකගේ ඉල්ලීම මත ධුරයෙන් නෙරපීමයි.

ප‍්‍රංශ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියා ලෙසද කටයුතු කළ සුරේෂ් සැලේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙන හිටපු කොටි ත‍්‍රස්තයන් හඳුනාගැනීම සඳහා විදේශිකයකු යොදා තිබුණි. මේ විදේශිකයා ගැන හිටපු කොටි සැකකළේ නැත. එම මෙහෙයුමේදී ජිනීවා පැමිණෙන හිටපු කොටි ක‍්‍රියාකාරීන් රැසක් හෙළිවිය.

බි‍්‍රගේඩියර් සැලේ ඉවත් කිරීමෙන් පසු ධුරයට පත්වූයේ බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලකයි.

පසුගිය ජනවාරි 21 දා සිවිල් සංවිධාන යයි හඳුන්වාගත් එන්.ජී.ඕ කි‍්‍රයාකාරීන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ජාතිවාදය සහ ආගම් වාදය අවුස්සමින් මහින්ද යළිත් බලයට එන්න මාන බලනවා යනුවෙන් ප‍්‍රකාශයක් කරනු ලැබීය.

එහෙත් පසුගිය අපේ‍්‍රල් 21 දා ආගම්වාදය කි‍්‍රයාත්මක කළේ කවුරුන්ද? ඒ සම්බන්ධයෙන් ඉහත එන්.ජී. ඕ කි‍්‍රයාකාරීහු ගලේ පැහැරූ බළලූන් මෙන් නිහඬව සිටිති.

මේ අතර පසුගිය අපේ‍්‍රල් 25 දා ඉන්දීය එන්.ඩී.ටී.ටී. රූපවාහිනිය පැවසුවේ 2017 සවුපන් සෙන්ටර් වාර්තාවෙන් ඉන්දියාවේ සිට 75 ක්ද පාකිස්තානයේ සිට 650 ක්ද ශ‍්‍රී ලංකාවේ සිට 32 ක්ද අයිසිස් සංවිධානයට බැඳීමට සිරියාවට ගොස් ඇති බවයි.

මේ පසුබිම මැද අයිසිස් බෝම්බකරුවන් පුහුණුකර ඇත්තේ හිටපු හමුදා භටයකු වූ මොහිදින් මොහමඩ් හෙවත් ආමි මොහිදීන් බව වාර්තා විය. මොහු මෙතෙක් අසුවී නැත.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයද මේ සතියේ අනතුරු ඇඟවීමක් කරමින් යලිත් ප‍්‍රහාර එල්ලවිය හැකි බවට අනතුරු අඟවනු ලැබීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන ඇමරිකාවට තොරතුරු ලැබී නැති බව මුලින් කියාසිටි ඇමරිකානු තානාපතිවරිය ඉදිරියේදී ප‍්‍රහාර ඇතිවන බව කියන්නේ කෙසේද?

මේ අතර පසුගිය සඳුදා කොළඹ බණ්ඩාරනායක සමරු හලේදී මෙරට සුප‍්‍රකට එන්ජීඕ කල්ලිය රැස්වීමක් පැවැත්වූහ. මෙහිදී ද්‍රවිඩ මන්ත‍්‍රී සුමන්තිරන් නැමැත්තා පැවසුවේ වාර්ගික ජනතාවගේ දුෂ්කරතා ගැන අවධානය යොමුනොකිරීමෙන් මෙවන් ප‍්‍රහාර එල්ල වන බවයි. මින් සුමන්තිරන් කියන්නේ ඉදිරියේදීත් මෙවන් බිහිසුණු ප‍්‍රහාර එල්ලවනු ඇතැයි කියාද?

සුමන්තිරන් මේ ප‍්‍රකාශය කරද්දී වේගවත් අත්පොලොසන් හඬක් නැගුණි. කිසිවෙක් එම ප‍්‍රකාශයට විරෝධය දැක්වූයේ නැත. මුස්ලිම් සාම මහලේකම් කාර්යාලයේ ප‍්‍රධානියාව සිටි ජාවුද් යූසුප් නැමැත්තාද තව්හිද් ජමාත් සහ ජේඑම්අයි සංවිධාන තහනම වැරදි බව කියා සිටියේය.

කොළඹ මහබැංකු සේවකයෙක් වූ හඳගම නැමැත්තාද රැස්වීමට සහභාගිවෙමින් අධිකරණය ඇමැතිනිය දෝෂාරෝපණයට ලක්කළේය. භික්‍ෂූන් අධිකරණයට යොමුනොකරන බවට ඇය කර ඇති ප‍්‍රකාශය ඔහුගේ විවේචනයට ලක්විය. එහෙත් මොහු අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාරය හෙළාදුටුවේ නැත.

මේ පසුබිම මැද හිටපු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා මෙරටට පැමිණි බව හෙළිකළ තුර්කි ත‍්‍රස්තයන් පනස්දෙනාගේ කණ්ඩායම පුහුණුකළේ කවුදැයි හෙළිවිය. ඒ ඇමරිකානු සීඅයිඒ සහ එෆ්බීඅයි පොලිසියයි. මේ නිසා මෙරට ජාතික ආරක්‍ෂාව ගැන කුමන කතාද?

arakshawa2
arakshawa3
arkshawa4
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *