‘‘ජිනීවා බලපෑම මත එන්. ජී. ඕ. කාරයන් හදන ව්‍යවස්‌ථාවක්‌ එපා’’ – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමි

(21.10.2017 – nethgossip.lk)

“චිත්‍රපට, සාහිත්‍ය කෘති හරහා පවා භික්‍ෂූන්ට සහ රණවිරුවන්ට පහර දෙනවා, ජිනීවා බලපෑම මත එන්. ජී. ඕ. කාරයන් හදන ව්‍යවස්‌ථාවක්‌ එපා ” අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

සංඝ සභාවල තීරණ‍යන් ප්‍රකාශ කිරීමට මහනායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බව අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසනවා. උන්වහන්සේ මෙලෙස ප්‍රකාශ කර සිටියේ පසුගිය දින කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවති “ශ්‍රී ලංකාව ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු – බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කළ ජාතික සමුළුවක් අමතමනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ,

“කුමන නමකින් හැඳින්වුවත්, මෙම මොහොත වන විට රටට, ජාතියට, ආගමට අහිතකර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රට හමුවේ තබා තිබෙනවා.

මේ මොහොත වන විට මල්වතු සහ අස්‌ගිරි සංඝ සභා දෙකේ ප්‍රකාශය පිළිබඳව ඇවිස්‌සීමක්‌ සිදු වී තිබෙනවා. දැන් කල්පනා කරන්නේ මේක කොහොමද මර්දනය කර ගන්නේ කියන එක තමයි. මීට කලකට පෙර අස්‌ගිරි මහා විහාරය, අනිකුත් නිකායවල නායක හිමිවරුන් සමඟ කරුණු කිහිපයක්‌ අවධාරණය කළා. අපි ප්‍රකාශ කළා නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳව අපි අවදියෙන් සිටින බව.

ජනාධිපතිතුමා මට පෞද්ගලිකව සඳහන් කළා ව්‍යවස්‌ථාදායක කමිටුව අපව හමුවීම සඳහා එවන බව.

මම අහගෙන සිටියා ලාල් විඡේනායක මහතා සඳහන් කළා මල්වතු අස්‌ගිරි හිමිවරුන්ගෙනුත් වාර්තා ලබාගත් බව. නමුත් එහෙම දෙයක්‌ සිද්ධ වූයේ නෑ. ඒවා අමූලික බොරු.

අපි දන්නවා දීර්ඝ කාලයක සිට අපගේ මාතෘභූමිය සංස්‌කෘතික උරුමයන්, බුද්ධාගම, සිංහල ජාතිය, අපත් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කරන ජනතාව සමග තිබෙන සමගිය කඩා බිඳ දැමීම සඳහා සිදුවන කටයුතු පිළිබඳව. ඒ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළා. ඒ වගේම ඔවුන් සමහර පවුල්වලටත් සම්බන්ධ වෙලා එම කටයුත්ත කිරීමට උත්සාහ කළා. ඔවුන් කුමන ආකාරයෙන් කටයුතු කළත්, අපි එම කටයුතු මර්දනය කර ගැනීමට සමත් වූවා. ඒ වගේම කොටි සංවිධානය හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයත් රණවිරුවන්ගේ සහ ජනතාවගේ මැදිහත්වීමෙන් මර්දනය කර ගැනීමට අප සමත් වූවා.

එම නිසා චිත්‍රපට, සාහිත්‍ය කෘති හරහා පවා භික්‍ෂූන්ට සහ රණවිරුවන්ට පහර දුන්නා. එම ක්‍රියාදාමය අදත් සිද්ධ වෙනවා. අදත් විවිධ පුද්ගලයන් යොදවා මාධ්‍ය මගින් භික්‍ෂූන්ට පහර දෙනවා. භික්‍ෂූන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කරනවා.

එම තත්ත්වය නතර කිරීමට කටයුතු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම විල්පත්තුව ඇතුළු වනාන්තර විනාශ කරන එක පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත්කරන ලෙසත් එම අකටයුතු නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එපමණක්‌ නොවෙයි සිංහල ජනගහනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද කියල සොයා බලන්න කියල අපි ඉල්ලා සිටියා. ඒ වගේම මේ රටට සරණාගතයන් ලෙස පැමිණ සිටින අය පිළිබඳවත් සොයා බලන ලෙස අපි ඉල්ලා සිටියා. උතුරට සහ දකුණට එකම නීතියක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා කරන ප්‍රකාශ වල සීමාවක්‌ නැහැ. එතුමා අපේ පන්සලට ආපු අවස්‌ථාවේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. අපිට කිසිම ජාති, ආගම් බේදයක්‌ නෑ. අපි බොහොම සුහදව කතා කරල එක රටක අපි සුහදව ජීවත්වෙමු කියල කිව්වා. නමුත් එතුමා එළියට ගිහින් “මල්වතු අස්‌ගිරි හාමුදුරුවන්ගේ ෆෙඩරල් විරෝධී මතය වෙනස්‌ වී නොමැති’’ බව සඳහන් කළා. විග්නේෂ්වරන් මහතා සිලෝන් ටුඩේ පත්තරයට සඳහන් කරල තිබෙනවා දේවානම්පියතිස්‌ස රජු දෙමළ රජකෙනකු බව. මොවුන් අදහස්‌ ප්‍රකාශ කරන්නේ මෙහෙම නම්, කටයුතු කරන්නේ මෙහෙම නම් මොවුන් සමග නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට හෝ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳව කතා කරල වැඩක්‌ නෑ.

අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය ද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ මේ රටේ මහජනතාව තමයි. අපි තීරණය කළේ ජිනීවා බලපෑම මත එන්. ජී. ඕ. කාරයන් හදන ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැහැ කියන එක තමයි. අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නම් නව ප්‍රවේශයකින් විශ්වාසවන්ත පිරිසක්‌ සමඟ එය සම්පාදනය කළ යුතු වනවා.

මල්වතු අස්‌ගිරි කාරක සංඝ සභාවන්ගේ ප්‍රකාශය නිකුත් වූ පසු දැන් මාධ්‍ය ආයතන වල ප්‍රධානීන්ට දුරකථනයෙන් අමතල විමසනවලු ඇත්තටම එහෙම එකක්‌ වුණාද කියලා. ඔය සාකච්ඡාවට මහනායක හිමියන් සහභාගි වූයේ නැහැ නේද කියලත් අහනවලු. මහනායක හිමිවරුන්ගේ ඡායාරූප, පුවත්පත්වල පළ කිරීම එම ආයතනවලට අයත් කටයුත්තක්‌. නමුත් සංඝ සභාවේ තීරණයත් සමඟ මහනායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ වරදක්‌ තිබෙනවද? සංඝ සභා දෙකේ තීරණය භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනකුගේ වැඩක්‌ ලෙස ලඝූ කිරීමටත් ආණ්‌ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටිනවා. මම වගකීමෙන් කියනවා අපි රැස්‌වූයේ නීත්‍යානුකූල ආකාරයට මහනායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිව බව. අපට හිතුවක්‌කාරී ලෙස මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව සංඝ සභා කැඳවීමට බැහැ’’ ලෙසද පවසා සිටියා.

මෙම අවස්තාවට ගෙවිඳු කුමාරතුංග, පූජ්‍ය ඔමාරේ කස්‌සප හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර , සුසිරිත් මෙන්ඩිස්‌ , පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමි, පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, පූජ්‍ය ගලගම ධම්මරිසි හිමි ඇතුළු ගිහි පැවිදි විද්වතුන් විශාල පිරිසක් සහභාගී වි සිටීම විශේෂත්වයකි ෴

*****************************************

‘රත්නප්‍රිය, වියන්ගොඩ, නෙවිල් ප්‍රනාන්දු’ වර්තමාන ආණ්ඩුවේ තෛනිකායික හිමිවරුන් ! – ඩලස්ගෙන් ප්‍රකාශයක්
(21.10.2017 – nethnews.lk)

ආණ්ඩුව සැලසුම් සහගතව මහා සංඝ රත්නය බේදභින්න කිරීමේ සැළසුමක් දියත්කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගිය 06 වනදා හම්බන්තොට පැවති විරෝධතාවයෙන් පසු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අයගේ පවල්වල සුවදුක් බැලීම සඳහා අද (21) අම්බලන්තොට ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පහත පරිදි එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වනු ලැබුවා.

‘‘වර්තමාන ආණ්ඩුව තෛනිකායික මහානායක හිමිවරුන් ලෙස සලකන්නේ රත්නප්‍රිය මහත්තයයි , ගාමිණි වියන්ගොඩ මහත්තයයි , නෙවිල් ප්‍රනාන්දු මහත්තයයි තමයි. මොකද එතුමන්ලාගෙන් තමයි උපදෙස් ගන්නේ. අපි පුංචිකාලේ ඉගනගත්තා ආනන්තරිය පාපකර්ම. ඉන් එකක් තමයි සංඝ බේදය. ආණ්ඩුව සැළසුම් සහගතව පූජනීය මහා සංඝයා බේදභින්න කිරීම සදහා යම් කුමන්ත්‍රණයක් දියත්කරලා තියෙනවා. එතුමන්ලාගෙන් මේ එළියට පැන්නේ ඒක.

ඒ වගේම මේ ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය වන්නේ ‘අධිකරණ නියෝග , කඳුළු ගෑස් , ජලප්‍රහාර’. මේක තමයි මේ ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *