ත‍්‍රස්තවාදයේ අනතුර මුලින්ම දැන්වූ වනාතවිල්ලුව… එදා මොකද වුණේ?

(05.05.2019 – divaina.com)

ඉකුත් පාස්කු ඉරු දින මුළු ලොවම කම්පාවට පත් කරමින් සිදු කළ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව හමුවේ වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව සම්බන්ධව යළිත් කතාබහට ලක් විය.

ඉකුත් ජනවාරි මස 16 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මාවනැල්ල බුද්ධ ප‍්‍රතිමා කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවකු වන සාහීර් නමැත්තා පුත්තලම වනාතවිල්ලුව කරඩිපුවල් ප‍්‍රදේශයේ ලැක්ටෝ නමැති වත්තේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන අවස්ථාවේ මෙම පුපුරන ද්‍රව්‍ය සහිත ගබඩාව ආරක්ෂක අංශ විසින් සොයා
ගැනුණි.

පුත්තලම සිට පරණ මන්නාරම් මාර්ගයේ කිලෝ මීටර් 15 ක් පමණ ගිය පසු කරඩිපුවල් ගම්මානය හමු වේ. මාර්ගයේ බටහිරින් කලපුව දෙසට කිලෝමීටර් හතරක් පමණ ගමන් කළ පසු මෙම ලැක්ටෝ වත්ත හමුවේ. එම මාර්ගය වැලි සහිත මාර්ගයකි. මාර්ගය දෙපස ඝන කැලෑව පිහිටා තිබේ. ඉඩම පිහිටියේ හුදකලා ජනශූන්‍ය ප‍්‍රදේශයකය. අක්කර 80 ක පමණ වපසරියකින් යුත් මෙම ඉඩම පොල් සහිත ඉඩමකි. එහෙත් ඉඩමේ තැනින් තැන ලඳු කැලෑ සහිත ය. ඉඩම පටන් ගන්නා ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඇතුළට ගිය පසු ඇස්බැස්ටස් සෙවිලි කළ කොන්ක‍්‍රීට් ගල්වලින් නිම කළ කුඩා ප‍්‍රමාණයේ නිවසකට සමාන ගොඩනැගිල්ලකි. ඒ අවට පොල් අතු සෙවිලි කළ තවත් කුඩා ප‍්‍රමාණයේ නිවෙස් දෙකක් ද පිහිටා ඇත. පුපුරන ද්‍රව්‍ය සහිත ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ ඇස්බැස්ටස්වලින් නිම කළ ගොඩනැගිල්ලේය.

ජනවාරි 16 වැනි දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම මෙම ස්ථානයට පැමිණියේය. නිලධාරීන් පැමිණියේ මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවකු ද සමගිනි.

බුදු පිළිම කැඞීමට සම්බන්ධ සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම හමුවේ සාහීර් නමැත්තා අත්අඩංගුවට ගන්නට පැමිණිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අදාළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි විය.

නමුත් පාළුවට ගිය සරුවට වැඩි තිබූ අක්කර 80 කට ආසන්න පොල් ඉඩම තුළ ඒ මොහොතේ රැඳී සිටි පාසල් සිසුවකු හා තවත් තරුණයින් තිදෙනෙකු ඉඩම තුළ රැඳී සිට හමු විය.

ඔවුන් රැඳී සිටීම ගැන ප‍්‍රශ්න කිරීමේදී වැදගත් කිසිවක් පවසා නැති නමුත් එහි පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසගේ තියුණු උකුසු ඇස් මෙම ඉඩමේ අස්සක් මුල්ලක් නෑර යොමු කරන්නට විය.

එහිදි කිසිවකු නොසිතූ දැවැන්ත පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වූයේ යුද්ධය නිමවී වසර 10 ක් ගෙවී යමින් තිබූ මොහොතේ නැවතත් රටම කථා බවට ලක් කරමිනි.

එහිදී ස්ථාන කිපයක වළ දමා තිබූ පිපිරවීම් සඳහා යොදා ගන්නා ඩෙටනේටර් 100 ක්, පිපිරවීම් සඳහා යොදා ගැනෙන වයර් කෝඩ් විශාල ප‍්‍රමාණයක්, එසේම ශ‍්‍රී ලංකාව තුළ අලෙවි කිරීම තහනම් කර ඇති බෝම්බ සැකසීමට යොදා ගැනෙන නයිටේ‍්‍රට් ඇසිඩ් ලීටර් 20 බැගින් වූ කෑන් හයක් , අධිබල පිපිරවීම් සඳහා ගන්නා සී-ෆෝ කිලෝ 75 කට ආසන්න ප‍්‍රමාණයක්, බෝර 12 ගිනි අවි දෙකක්, පතොරම් තොගයක් වනාන්තර කෑම්ප් සඳහා යොදා ගන්නා විශාල කූඩාරම් දෙකක්, කැමරා, පරිගණක, වියළි සළාක තොගයක්, අල් කුරාණය පොත් විශාල ප‍්‍රමාණයක්, පැදුරු තොගයක් සහ තවත් දෑ රැසක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙහි බරපතලම කරුණ වන්නේ මෙම පුපුරන ද්‍රව්‍ය තොගයේ තිබූ සී-ෆෝ කිලෝ සැලකිය යුතු ප‍්‍රමාණයක් ඒ වන විටත් බහළුම් වලින් කිසියම් කටයුත්තක් වෙනුවෙන් රැගෙන තිබීමත් එයට අමතරව නයිටේ‍්‍රට් ඇසිඩ් කෑන් කීපයක් ද හිස්ව පැවතීමයි.

මෙම සිදුවීම වාර්තා කිරීමට පුත්තලම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් කීපදෙනෙක් එම ස්ථානයට පැමිණි සිටියහ. ඔවුන් උදෑසන සිටම දහවල් වනතුරුත් පැවැති අව් රශ්මිය නොතකා කැමරා අටවාගෙන සිද්ධිය යහමින් වාර්තා කිරීමට සැරසී සිටියත් ආරක්ෂක අංශ ඔවුනට එම ස්ථානයට ළඟාවීමට අවසර ලබා දුන්නේ නැත. ඊට හේතුව ඉහළින් ලැබී ඇති නියෝග නිසා විය හැකිය. පැය ගණනාවක් රැඳී සිටි ඔවුනට පුපුරන ද්‍රව්‍ය සහ ආයුධ පුරවාගත් වාහන පවනට බඳු වේගයෙන් යන අයුරු පමණක් සිය කැමරාවල සටහන් කිරීමට හැකි විය. මෙම සිද්ධිය කන වැකුණු ප‍්‍රදේශවාසීන් අදාළ ස්ථානයට ගව් ගණන් දුරින් රැඳී සිටියේය. ඔවුනට ද දැක බලා ගැනීමට හැකි වූයේ දූවිලි අවුස්සාගෙන අධික වේගයෙන් ගමන් ගන්නා වාහන පමණි.

එදින රාත‍්‍රියේ ප‍්‍රදේශයේ ජනතාව සිය රූපවාහිනී යන්ත‍්‍ර ඉදිරියේ කුතුහලයෙන් නෙත් අයා බලා සිටියේ සියැසින් බලා ගැනීමට නොහැකි වූ එදින ලැක්ටෝ වත්තේ සිදුවීම දැක බලා ගැනීමටය. එහෙත් ඒ සඳහා රූපවාහිනී නාලිකාවල ඉඩ වෙන් කර තිබුණේ තත්පර කීපයකි. යුද සමයේ නම් මෙවැනි සිද්ධීන් නාලිකාවල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය ලෙස දිග හැරේ. පසුදින පුවත්පත්වල ද පොල් ගෙඩි අකුරුවලින් මුල් පිටුවේ සටහන්ව ඇති බවට සිතා ප‍්‍රදේශයේ බොහෝ දෙනෙක් පුවත්පත් මිලදී ගත්ත ද ඒ සඳහා ඉඩ වෙන් කර තිබුණේ ඇතුල් පිටුවල මරණ දැන්වීමකට ඉඩ වෙන් කරනවා හා සමානය. මෙම සිද්ධියට මාධ්‍යයෙන් ප‍්‍රසිද්ධියක් ලබා නොදුන්නේ ආරක්ෂක හේතුන් මත ද එසේත් නැත්නම් කාගේ හෝ කිසියම් පාර්ශ්වයක හෝ බලපෑම් මතද එ දවස ජනතාව තුළ ඇති වූ ප‍්‍රශ්නාර්ථයකි. අදත් එය එදා මෙන් ජනතාව තුළ සැකයක් කුතුහලයක් පවතී.

මෙහි භයානකකම අදාළ පරීක්ෂණ අංශ ඉහළ අංශවලට තොරතුරු ලබා දී තිබුණද පරීක්ෂණ පිළිබඳව සැලකිය යුතු අවධානයක් වගකිවයුතු අදාළ පුද්ගලයන් නොගත් බවට වාර්තා වෙයි.

මෙම වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සිද්ධියට අත්අඩංගුවට ගත් පුත්තලම නගරයේ පදිංචි සිව්දෙනාගෙන් දෙදෙනකු මුදා හැර තිබුණේ අදාළ සිද්ධියට සම්බන්ධ නොමැති බවට පරික්ෂණවලදී අනාවරණය වීම අනුව බව සඳහන්ය.

වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බව කියන සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අංශ දැඩි උත්සහයක් ගෙන තිබුණ ද එය අවසාන මොහොත දක්වා නොහැකි විය. මේ සියල්ල හමුවේ අපරාධ පරික්ෂණ නිලධාරීන් තම පරීක්ෂණ සිදුවෙමින් තිබියදී රටම කම්පා කරමින් පසුගිය 21 දින පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවට වනාතවිල්ලුව ගැන නැවතත් කථා බහට ලක් විය.

රට පුරා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් මාලාවට සම්බන්ධ ත‍්‍රස්තයන් වනාතවිල්ලුව කරඩිපුවල් ප‍්‍රදේශයේ මිනිස් වාසය සම්පූර්ණයෙන් නොමැති කැලෑබද මෙම ප‍්‍රදේශය තෝරා ගෙන තිබීම පුදුමයක් නොවන බවද සඳහන් කළ යුතුමය. මන්ද මෙම ඉඩම කෙළවරේ පිහිටි පුබුදුගම කලපුව ද මේ ත‍්‍රස්ත ක‍්‍රියාවන් සඳහා යොදා ගන්නට ඇතැයි ද මේ වන විට සැක මතුව තිබේ.

කෙසේ නමුත් ලැක්ටෝ වත්ත සිද්ධිය පරීක්ෂණවලින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එයින් දෙදෙනකු මුදා හැර තිබේ. මෙම සැකකරුවන් අතරින් මාවනැල්ල බුද්ධ ප‍්‍රතිමා කඩා බිඳ දැමීමේ පිරිස් ද වෙයි.

කෙසේ නමුත් වනාතවිල්ලුව කරඩිපුවල් පිපිරීම් ද්‍රව්‍ය සොයා ගත් ස්ථානය කිසිම අයකුටම සැක නොසිතන ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ කුකුළු ගොවිපළක් පවත්වාගෙන යන මුවාවෙනි.

කුකුළු ගොවිපළට සේවයට පිරිස් පැමිණෙන මුවාවෙන් නිරන්තරයෙන් පිරිස් මෙම ස්ථානයට පැමිණ ඇති බවත් මෙම ස්ථානයට වැඩි පිරිසක් පැමිණ ඇත්තේ රාත‍්‍රි කාලයේ බව ද කියති.

එසේම පැමිණෙන වාහනවලින් වීදුරු සම්පූර්ණයෙන් කළු කරන ලද වෑන් රථ සමග කැබ් රථ කීපයක්ද රාත‍්‍රි කාලයේ නිරන්තරයෙන් මෙම ඉඩමට පැමිණි බවට මෙම ඉඩමට කිලෝ මීටර් කිපයක් දුරින් ඇති එම ඉඩමට පැමිණිය යුතු මාර්ගයේ පිහිටි මංගලපුර ගම්මානයේ පිරිස් පවසති.

සියල්ල සිදු වුවද මේ පිළිබඳව කිසිදු බුද්ධි අංශයකට අදාළ ඉඩම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගන්නා තුරු අනාවරණය වී නොතිබුණි.

මංගලපුර ගම්මානයේ පිරිස් මේ ස්ථානයට පසුගිය කාලයේ පැමිණ තිබුණ ද වසරක වැනි කාලයක් තුළ කිසිම ආකාරයකින් පැමිණ නොතිබූ බව ද කියයි.

එයට හේතුව වන්නේ ලැක්ටො වත්ත හිමිකරුගේ පුත‍්‍රයා ජනතාව බිය කරමින් පවසා ඇත්තේ ඉඩම වටා බඳින කඳන් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීමට (ගිනි අවි විශේෂයක්) ඉඩම වටා බැඳ ඇති බවත් ඉඩමට ඇතුල් නොවන ලෙසය.

මේ සියල්ල හමුවේ ඉඩමට කිසිවකු පැමිණීම සම්පූර්ණයෙන් නවතා දැමීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බව කියයි.

මෙම සිද්ධිය හමුවේ ප‍්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ මෙවන් අනතුරක් කිසිදා සිදු වේ යැයි නොසිතූ බව ය. එමෙන්ම මෙම වත්තට වාහන නිරන්තරයෙන් ගමන් කළ ද ඒ සම්බන්ධව සැක නො සිතුවේ රටේ තිබුණු සාමකාමී වාතාවරණය හා කුකුළු ගොවිපළක් පවත්වාගෙන යෑම නිසා බව ද බඳින තුවක්කු ඉඩමේ තැනින් තැන් සඟවා ඇති බවට ලැබූ තොරතුරු නිසා බවය.

මේ සම්බන්ධව අදහස් දක්වන ලැක්ටෝ වත්ත ආසන්නයේ පදිංචිව සිටින ඩී. ඇන්සලින් මහත්මිය මෙසේ කීවාය.

මම පදිංචිවෙලා ඉන්නේ මෙම වත්තට කිලෝමීටර් කීපයක් එහායින්. එහෙත් අපි වත්ත පැත්තට ගොඩක් කාලෙකින් ගියේ නෑ. ඔය ලැක්ටෝ මුදලාලි හොඳ මනුස්සයා… එයා මැරුණාට පස්සේ පුතා තමයි ඉඩම බලා ගත්තේ. එයාත් හොඳ ළමයෙක්. නමුත් මාස ගණනාවක ඉඳලා එයා වෙනසක් දැක්කුවා. ඒ වෙනසත් එක්ක කිසිම කෙනකුට වත්තට එන්න ඉඩ ලැබුණේ නැහැ. ඊට පස්සේ වැඩිහරියක් රාත‍්‍රියට විශාල පිරිසක් මේ ඉඩමට වාහනවලින් ආවා, අපි එච්චර ගණන් ගත්තේ නැහැ. නමුත් දැන් ආරංචි වෙන කථා එක්ක අපිට දැන් තේරෙනවා ලොකු විනාශයකට මෙතැන මොනා හරි වෙලා තියෙනවා ඇය දැඩි කම්පනයකින් කීවාය.

මෙවන් කඳවුරක් යුද්ධය නිම වී වසර දහයකට පසු සොයා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු අංශ නිහඬව සිටියේ ඇයි. සිද්ධියට සම්බන්ධ දේශපාලනඥයන්ගේ උවමනාවන් මත නොවේද. එදා මේ සම්බන්ධව සොයා බලා නිසි ක‍්‍රියාමාර්ග ගත්තා නම් පාස්කු ඉරු දින මිනිස් සංහාරයක් ඇති නොවන බව නම් කාටත් හැඟෙන කරුණකි. රටේ නායකයින් මීට සම්බන්ධ දේශපාලනඥයන් ගැන තොරතුරු අනාවරණය වී තිබියදීත් ඔවුන්ට නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට මැලිවන්නේ ඇයි ප‍්‍රශ්නයකි. කෙසේ වෙතත් හිසරදයට කොට්ටෙ මාරු කරනවා මෙන් මීට තාවකාලික විසඳුම් ලබා දී ජනතාව රැවටිය නොහැක. එකිනෙකාට බෝලය පාස් කරමින් අත පිස දැමීමට වෙර දරන මේ ජනතා හිතවාදී යැයි කියාගන්නා පිරිස් ගැන ජනතාවට ඇත්තේ මහත් පිළිකුලකි.

රටම කැළඹූ සිදුවීම් මාලාවට අදාළ වූ වනාතවිල්ලුව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායම් ද අද වන විට සොයා එමින් තිබීම ද විශේෂත්වයකි.

wanatha
wanatha2
wanatha3
wanatha4

– අමරනන්ද විජේසේකර – මහවැව

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *