බුද්ධි අංශ හීන කරවා ත‍්‍රස්ත‍්‍රවාදය ගෙට ගෙන්වා ගැනීම…

(05.05.2019 – divaina.com)

2009 මැයි මස 19 වැනි දින අවසන් වූ දශක තුනක තිබූ දරුණු අර්බුදකාරී තත්ත්වය හේතු කොටගෙන දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර, අතිවිශාල තවත් කොටසක් ශාරීරික මෙන්ම මානසික දුබලතාවනට ගොදුරුවූ බව දැක්වීම නොරහසකි. ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛස්ථානයක් දීම, දේශපාලන නායකත්වය හා ත‍්‍රිවිධ හමුදාවන් සහ පොලිසියේ නිර්භීත ක‍්‍රියාවලිය හේතුකොටගෙන එකල තිබූ කෲර තත්ත්වයෙන් රට බේරා ගැනීමට හැකි විය. එතැන් සිට දශකයකට ආසන්න කාලයක් නිදහස භුක්ති විඳීමට ශ‍්‍රී ලාංකිකයනට වාසනාව තිබිණි. එහෙත් මෑතකදී හටගත් අර්බුදය හේතු කොටගෙන නැවත වරක් රට දැඩි අස්ථාවර තත්ත්වයකට පත්වීම අප සැම කම්පනයට පත් කරන අවාසනාවන්ත සිද්ධියකි.

2019 අපේ‍්‍රල් මස 21 වන දින පාස්කු ඉරිදා දේව මෙහෙයයන් පවත්වමින් තිබූ ප‍්‍රසිද්ධ දේවස්ථාන 3 ක, කොළඹ තරුපහේ හෝටල් 3 ක සහ තවත් ස්ථාන 2 ක ඇතිවූ පිපිරීම් ඉතා සුළු මොහොතකින් කෙසේ සිදුවූවාද යන්න අදහාගත නොහැකිය. කෙසේ නමුදු මෙදින සිද්ධිය සිදු වී ඉතා සීමිත කාලපරාසයක් තුළ මෙම පහරදීම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය මීට දින කිහිපයකට පෙර දැන සිටි බවත්, එම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් එම බුද්ධි තොරතුරු අංශ කිහිපයකටම යොමු කර තිබූ බවත් දැක්වෙන පුවත හෙළිදරව් වීමත් සමග ඒ අනුව ක‍්‍රියා නොකිරීම හේතුකොටගෙන පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කෙරෙහි දැඩි විවේචනයක් දේශපාලනඥයන්ගෙන් පමණක් නොව දිවයිනේ සෑම ජන කොට්ඨාසයකින්ම එල්ලවිය.

බුද්ධි තොරතුරු තිබියදී එම තොරතුරු පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්වීම නොසැලිකිලිමත්භාවය හේතු කොට ගෙන සිදුවූවක්ද, එසේත් නොමැතිනම් එම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැතිවීම නිසා නොසලකා හැරියාද යන්න සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක්කිරීම වැදගත් වේ. ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වයක් නොදීමත්, අයිතිවාසිකම් පදනම් කරගත් යහපාලනයක් මත පරිපාලනය ගොඩනැගීමත් නිසා බුද්ධි තොරතුරු අගය අඩුවීම නොවැළැක්විය හැකි බැව් බොහෝදෙනාගේ විශ්වාසයයි.

‘අපරාධය’ සංකීර්ණ ගැටලුවක් වන අතර ඊට සරල පිළිතුරක් නොමැත. මේ නිසා අපරාධයක් සිදු වීමට පෙර වැළැක්වීමත්, අපරාධය සිදුවූවාට පසු එය විමර්ශනය කිරීමත් යන දෙකටම පොදුවේ පදනම් වනුයේ බුද්ධි තොරතුරුයි. බුද්ධි තොරතුරු සරලව නිර්වචනය කළහොත් එය විශ්ලේෂණයකට යොමුවූ අඩු කිරීම්, එකතු කිරීම්වලින් පසුව ලබා ගන්නා තොරතුරු බුද්ධි තොරතුරු ලෙස දැක්වීම සරල නිර්වචනයකි. බුද්ධි අංශ විවිධ ක‍්‍රම මගින් තොරතුරු ලබා ගන්නා අතර, එම තොරතුරු පුළුල් ලෙස විශ්ලේෂණයට ලක් කෙරේ. එසේ විශ්ලේෂණයට ලක්වූවාට පසුව ‘එම තොරතුරු එසේ විය හැකිය’ යන ඉහළ ප‍්‍රවණතාවට පත්වූ විට එය දැඩි සැලකිල්ලට ගත යුතු බුද්ධි තොරතුරකි.

බුද්ධි අංශය විසින් ලබා දුන්නා යැයි දක්වන තොරතුරු මේ සිද්ධිය සම්බන්ධ ප‍්‍රථම තොරතුරුද නැතහොත් මීට පෙරද මෙවැනි තොරතුරු හෙළි වූ අවස්ථා තිබේද? එම අවස්ථාවලදී ගත් පියවර කුමක්ද? එම තොරතුරු ලැබුණු විට රජය කුමන අයුරකින් ක‍්‍රියා කරනු ලැබුවාද යන්න පරීක්ෂා කළ යුතුව ඇත. මාධ්‍යවල පළවන ආකාරයට මෙම තොරතුරු දැනට වර්ෂ 2 1/2 කට පෙර 2016 නොවැම්බර් මස 18 වන දින එවකට අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතා විසින් අය වැය විවාදයේදී ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වල ක‍්‍රියාකාරීත්වය රටට තර්ජනයක් විය හැකි බවත්, මේ ක‍්‍රියාවන් නිසා බරපතළ සිදුවීම් සංඛ්‍යාවක්ද සිදු වී ඇති බවත් දක්වා ඇත. මෙම තොරතුරු සත්‍ය වී ඇත. මෙම තොරතුරු පාර්ලිමේන්තුවේදී රජයේ ඇමැතිවරුන් සිටියදී වගකීමෙන් කර ඇති ප‍්‍රකාශයකි. ඒ සම්බන්ධයෙන් කුමන පියවරක් අග‍්‍රාමාත්‍යවරයා, විෂය භාර ඇමැතිවරයා, බුද්ධි නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් ගත්තේද, ගන්නා ලද පියවර කුමක්ද යන්න අද ජනතාව විසින් ප‍්‍රශ්න කරනු ලබයි. මේ හෙයින් පාස්කු ඉරිදා ඇති වූ මෙම ඛේදජනක සිද්ධියෙන් ජීවිත හානිවූවන්, සදාකාලික නොහැකියාවට පත්වූවන්, අනාථ වූ දෙමව්පියන්, දරුවන්, නෑ හිතමිතුරන් වෙනුවෙන් රජය සිය වගකීම පිළිගෙන ඊට නිසි ප‍්‍රතිචාර දැක්විය යුතුය.

එසේම පසුගිය වර්ෂ 4 1/2 තුළදී විවිධ කරුණු මත පොලිස් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම හේතු කොටගෙන අද රාජ්‍ය නිලධාරීන් අකර්මන්‍ය තත්ත්වයකට පත් වී ඇති අතර එම නිලධාරීන්ගෙන් වගකීමෙන් හා කැපවීමෙන් සිය රාජකාරී කටයුතුවල නිරතවීමක් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට පත් වී ඇත. එසේම බුද්ධි නිලධාරීන්ද විවිධ හේතුන් මත අද රිමාන්ඞ් ගතකිරීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් තුළ තම රාජකාරී කටයුතු කිරීමට දැඩි බියක් ඇත. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ක‍්‍රියාත්මක නොවූයේ මෙම බිය නිසා වන්නට ඇතැයි බොහෝ දෙනෙක් අදහස් කරති. කෙසේ වෙතත් අවසාන ප‍්‍රතිඵලය භුක්ති විඳීමට සිදු වූයේ රටේ ජනතාවටය. අනවශ්‍ය ප‍්‍රමාණයට වඩා මිනිස් අයිතිවාසිකම් හා විවිධ වූ වෙනත් අයිතිවාසිකම් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ඉස්මතු කිරීම හේතුකොටගෙන වර්තමානයේ පොලිස් නිලධාරීහු නායකත්වය ගෙන කැපවීමකින් ක‍්‍රියා කිරීමට මැළිකමක් දක්වති. මැළිකමක් දක්වන්නේ සිය රාජකාරි කටයුතු කිරීමේදී විවිධ වූ අයිතිවාසිකම් හේතු කොටගෙන ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අධිකරණ ක‍්‍රියාවලියකට යොමු කරනු ලබන හෙයිනි.

විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යවලින් දැන ගැනීමට ලැබුණු තොරතුරු අනුව පාස්කු ඉරිදා දිනයේ සිදු වූ සිද්ධිය සම්බන්ධ තොරතුරු ශ‍්‍රී ලංකා බුද්ධි අංශය විසින් ලබා දී ඇත්තේ අපේ‍්‍රල් මස මුල් සතියේදී බව පෙනේ. එම සැපයූ බුද්ධි තොරතුරු පොලිස්පති විසින් ප‍්‍රභූ ආරක්ෂක අංශයට සහ වෙනත් අංශ කිහිපයකට සුදුසු පරිදි ක‍්‍රියා කිරීමට ඉදිරිපත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පසු විපරමක් හෝ නොකළ බවට තොරතුරු ඇති අතර මෙලෙස මෙම තොරතුරු සාමාන්‍ය තත්ත්වයෙන් සැලකුවේ කුමක් හෙයින්ද? බුද්ධි අංශය විසින් පොලිසියට මෙම තොරතුරු ඉදිරිපත් කළාක් මෙන්, මෙම තොරතුරු අදාළ ඇමැතිවරයාට, ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරීනට, හමුදාවනට යොමු නොකළේ කුමක් හෙයින්ද? බුද්ධි අංශය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශවල පිහිටුවා ඇති අතර, බුද්ධි තොරතුරු පොලිස්පති වෙත යොමුකළාක් මෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට, ආරක්ෂක ඇමැතිතුමාට හා අනෙකුත් හමුදා මාණ්ඩලික නිලධාරීන්ට යොමු නොකළා යැයි දැක්වීම පිළිගත හැකි කරුණක්ද? කෙසේ වුවද මෙතෙක් මාධ්‍ය මගින් අනාවරණය වූ කරුණු අනුව බුද්ධි අංශය විසින් මෙම ඛේදවාචක සම්බන්ධයෙන් තොරතුරු සැපයීමට පෙර, වවුනතිව් සිද්ධියෙන් මාවනැල්ලේ බුදු පිළිම හානිකිරීමේ සිද්ධිවලින් පැහැදිලිව පෙනී යන්නේ මෙම ත‍්‍රස්තවාදී කණ්ඩායම් ගැන රජයට තොරතුරු ලැබී ඇති බව සත්‍ය බවයි. ඒ හේතුවෙන් එකී වගකීම අන්‍යයන් කෙරෙහි පැවරීම වෙනුවට රජය විසින් එම වගකීම භාරගත යුතුය යන්න බහුතර මතය වන අතර, වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන්ද මෙම වගකීම භාරගත යුතුව ඇති බව ජනතාව අදහස් කරයි.

ඉහත සඳහන් සිද්ධීන් පිළිවෙළින් අධ්‍යයනය කළහොත් මෙම ත‍්‍රස්තවාදී කල්ලිය කලක සිට මෙම ත‍්‍රස්ත කටයුතුවලට සූදානම් වූ බවක් පැහැදිලිව පෙනේ. බුද්ධි නිලධාරීන්, රජයේ ඇමැතිවරුන් මෙම සිද්ධීන් වෙන් වෙන්ව සිදුවූ හුදකලා සිද්ධීන් ලෙසට සලකන්නට ඇතැයි පෙනීයනු ඇත.

එසේම ඉස්ලාම් රැඩිකල්වාදය 2010, 2011 වර්ෂවල ශ‍්‍රී ලංකාවේ ක‍්‍රමයෙන් වර්ධනය වූ බවක් බුද්ධි අංශය දැන සිටි අතර, මෙම බුද්ධි අංශය මෙම විප්ලවකාරී අදහස් වර්ධනය කරන ස්ථාන, එම ස්ථානවලට පැමිණෙන දේශකයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටි බව පෙනේ. එසේම ලංකාවට පැමිණෙන ඉස්ලාම් ධර්මය උගන්වන රැඩිකල් දේශකයන් බුද්ධි අංශවල ඇසට ලක්වීම නිසා එම කාලය තුළදී මෙය වර්ධනය වීම බොහෝදුරට නතරවිය.

කෙසේ වුවද 2015 වර්ෂයේදී මෙම තත්ත්වය වෙනස්වූ අතර, රාජ්‍ය ආරක්ෂා ප‍්‍රතිපත්තිවලට ප‍්‍රමුඛතාවක් නොලැබීමෙන් මේ විප්ලවකාරී ඉස්ලාම් කණ්ඩායම් වර්ධනය වූ බව දැක්වීම අවිවාදයෙන් දැක්විය යුතුය. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සූදානම් කිරීම දිනකින් දෙකකින් මාසයකින් කළ හැක්කක් නොවේ. මෙලෙස සූදානම් කරන මිනිසකුගේ සම්පූර්ණ මානසිකත්වය වෙනස් කර තමන්ගේ ජීවිතය ආගම වෙනුවෙන් කැප කිරීමට යෝග්‍ය කෙනෙකු බවට සූදානම් කිරීම කෙටි කාලයකින් කළ නොහැක. මේ නිසා මෙම ත‍්‍රස්තවාදීන් ලංකාවේ වර්ෂ 3-4 ක්ම මෙම කාර්යයේ නිරත වූ බව පෙනී යන අතර, රජයද ජාතික ආරක්ෂාවට ප‍්‍රමුඛත්වය නොදීම හේතුකොටගෙන ත‍්‍රස්තවාදී කල්ලිවල ක‍්‍රියාකාරකම් වර්ධනය වූ බව පෙනීයයි.

බුද්ධි අංශ සාමාන්‍යයෙන් අනාවැකි පළකරන, විය හැකි කරුණු හෝ සිදුවිය හැකි අවස්ථාවන් විදහා දක්වන බුද්ධි තොරතුරු සපයන අංශයකි. ඉන්දියාවේ බාහිර බුද්ධි අංශය ලෙස සලකනු ලබන්නේ RESEARCH AND ANALYSIS WING(RAW) යන ආයතනය වන අතර මෙම ආයතනය පිහිටුවා ඇත්තේ 1968 වර්ෂයේදීය. වර්ෂ 1968 ට පෙර බුද්ධි තොරතුරු සම්බන්ධ වගකීම පැවරී තිබුනේ ‘INTELLIGENCE BUREAU’ (IB) යන ආයතනයට වන අතර, එය අභ්‍යන්තර මෙන්ම බාහිර බුද්ධි තොරතුරුද එක් රැස් කිරීමේ කාර්යයේ යෙදී ඇත. වර්ෂ 1962 ඇතිවූ ඉන්දු-චීන දේශසීමා අරගලයේදී එම ප‍්‍රහාරයන් එල්ලකිරීම සඳහා දේශසීමාවේ චීන හමුදාවන් රැස්කර තිබූ අයුරු සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු එක්රැස් කිරීම අසාර්ථක වූ නිසා ඉන්දීය රජය, මෙමි ‘RAW’ නමැති ආයතනය ස්ථාපනය කර එය ශක්තිමත් ආයතනයක් බවට පත්කළ අතර, එම ආයතනයේ සාර්ථකත්වය පෙන්නුම් කළේ ප‍්‍රධාන වශයෙන් බංග්ලාදේශය පකිස්තානයෙන් වෙන් වූ අවස්ථාවේදී සපයන ලද සාර්ථක බුද්ධි තොරතුරු නිසා වේ. එතැන් සිට දිනෙන් දිනි‘RAW’ ආයතනය ශක්තිමත් වූ අතර ඉන්දීය රජයේ ආරක්ෂක අංශ පමණක් නොව විදේශීය රටවල්ද එහි ශක්‍යතාවය මෙන්ම තොරතුරුවල විශ්වසනීයත්වයද පිළිගෙන ඇත. මෙවැනි ආයතනයකින්, ශ‍්‍රී ලංකාවේ දේවස්ථානවලට හානි සිදුවිය හැකි යැයි, යම් ප‍්‍රහාරයක් එල්ලවිය හැකි යැයි තොරතුරු ලැබුනානම් එම තොරතුරු කෙරෙහි විශ්වාසයක් නොතැබුවේ ඇයිද යන්න තවත් වැදගත් ප‍්‍රශ්නයකි.

රටක බුද්ධි තොරතුරුවල නියැළී ඇති ආයතනයක වගකීම එම බුද්ධි තොරතුරු ලබාගෙන ක‍්‍රියා කරන ආයතනවලට ‘විශ්වාසයක් ඇතිවන අයුරින් බුද්ධි තොරතුරු සැපයීම’ය. එසේම බුද්ධි නිලධාරීන් රාජකාරි කිරීමේදී ඔවුන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වන අතර, එසේ නොවුණහොත් එම නිලධාරීන්ගෙන් උපරිම සේවයක් ලබා ගැනීමට නොහැකිවනු ඇත. මේ නිසා බුද්ධි අංශ නිලධාරීන් නිර්භීතව, අවංකව ක‍්‍රියාශීලීව කටයුතු කිරීමට නම් ඔවුන්ගේ ක‍්‍රියාවන් මුක්ත කිරීමට නව නීති සම්පාදනයක් කෙරෙහි නෙත් යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි සිතමි. උදාහරණ වශයෙන් MOSSAD ආයතනය ඊශ‍්‍රායලයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්වාධීනව පිහිටුවා ඇති අතර, එය රහසිගත පටිපාටියක් යටතේ ක‍්‍රියාත්මක වන්නෙකි. එසේම එංගලන්තයේ MI5 ආයතනයට සේවය කරන නියෝජිතයන්ට ඇතැම් ක‍්‍රියාවලින් මුක්තවීමට නීති ඇති බව එරට සිදු වූ විමර්ශනවලින් හෙළි වී ඇත. මෙයින් මා උත්සාහ දරනුයේ බුද්ධි අංශය ලත් තොරතුරු අවතක්සේරු කිරීමක් නොව, ඉහළ විශ්වසනීයත්වයකට තොරතුරු සැපයිය හැකි නම් ලබා ගන්නා ආයතනය ක්ෂණිකව ක‍්‍රියා කිරීමට පෙළඹෙනවා පමණක් නොව තොරතුරුවල දක්වා ඇති කරුණු මත ක‍්‍රියා නොකළහොත් කිසි පැකිළීමකින් තොරව එම අයට විරුද්ධව දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට ඉතා පහසුවන බව කීවාය. ලෝකයේ ඉහළම විශ්වසනීයත්වයක් ලබා ඇති බුද්ධි අංශ ඇතැම් විටෙක අසාර්ථක වී ඇත. උදාහරණ වශයෙන් ඇමරිකාවේ සැප්තැම්බර් 11 වෙනි දින සිද්ධිය, එංගලන්තයේ 1981 බි‍්‍රස්ටල් නගරයේ ඇති වූ කැරලි කෝලාහල, එසේම එංගලන්තයේ පාපන්දු ක‍්‍රීඩාවන්හි ඇති වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවන බව ඊට පෙර දැන ගැනීමට MI5 සහ MI6 යන ආයතනවලට පවා නොහැකි විය. මේ නිසා බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ක‍්‍රියා නොකළ අය කෙරෙහි ඇඟිලි දිගු කරනවා වෙනුවට රජය විසින් එහි වගකීම බාරගෙන ඉදිරියේදී මෙවැනි ක‍්‍රියා සිදුනොවීම සඳහා ප‍්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වේ. ප‍්‍රථමයෙන්ම රජය රටේ ආරක්ෂාවට ප‍්‍රමුඛස්ථානය දිය යුතුයි. ඒ සමගම බුද්ධි තොරතුරු සැපයීමට පිහිටුවා ඇති ආයතනය මෙහෙයවන නිලධාරීන් එම අංශය විසින් සිදුකළ යුතු කාර්යභාරය පිළිබඳව මනා ලෙස දැනුවත් විය යුතු අතර ක්ෂණිකව යමක් අවබෝධකර ගැනීමේ දැනුම් මට්ටමක සිටින නිලධාරීන් බඳවා ගත හැකිය.

බුද්ධි අංශවලට ඇතුළත් වී ක‍්‍රියා කිරීමට සෑම කෙනෙක්ම සුදුසුකම් නොලබති. ඒ නිසා තිබිය යුතු සුදුසුකම් පැහැදිලිව හඳුනාගෙන බඳවා ගැනීම් කළයුතු අතර, ඒ බඳවාගත් නිලධාරීන් දැඩි පුහුණුවකට යොමු කිරීම වැදගත් වේ. මෙම පුහුණුවේදී විවිධ භාෂා ඥානයන් ප‍්‍රගුණ කිරීම, අන්තර්ජාතික දේශපාලන තත්ත්වය, අන්තර්ජාතික ත‍්‍රස්තවාදය මෙරටට බලපෑ හැකි ආකාරය ආර්ථික අවදානම යනාදි දැනගත යුතු කරුණු සොයා ස්වයං අධ්‍යයනයේ යෙදිය හැකි කැපවීමෙන් හා වගකීමෙන් ක‍්‍රියාකරන නිහතමානී නමුත් නායකත්වයක ලක්ෂණ පෙන්නුම් කරන අය බුද්ධි අංශයට බඳවාගත යුතුයි. මානව සම්පත් පමණක් නොව ඊට අවශ්‍ය භෞතික සම්පත් ද විශේෂයෙන් නව්‍ය උපකරණ ලබාදීම වැදගත් වේ. නූතන ලෝකයේ බුද්ධි තොරතුරු රහසිගතව රැස් කරන විවිධ වූ නව්‍ය උපකරණ රාශියක් ඇති අතර, මෙම උපකරණ බුද්ධි අංශය වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය උපකරණ වේ. වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික සම්මේලන, වැඩමුළුවලට නිලධාරීන් සහභාගි කර ගත යුතු අතර, එසේම බුද්ධි තොරතුරු රැස් කිරීමේදී විශේෂ මෝටර් රථ, පණිවුඩ හුවමාරු කරන යන්ත‍්‍ර, තොරතුරු රැස් කරන කාමර, තොරතුරු සපයන්නන් ආරක්ෂා කිරීමට ආරක්ෂිත ස්ථාන, විදේශීය බුද්ධි තොරතුරු අංශ සමග සම්බන්ධතාවක් ගොඩනැගීමට අවශ්‍ය වාතාවරණය සැකසීම යනාදී කරුණු මෙන්ම මෙම අංශවලට ස්වාධීනව වැඩ කිරීමේ වාතාවරණයද සැකසීම ඉතා වැදගත් වේ. මෙම අංශවලට දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව වැඩ කිරීමේ වාතාවරණය සකස් කිරීම වැදගත් වේ.

එසේම අයි එස් ත‍්‍රස්තවාදීන් ශ‍්‍රී ලංකාව තෝරා ගත්තේ ඔවුන්ගේ අරමුණු ඉතා පහසුවෙන් ක‍්‍රියාත්මක කිරීමට හැකි වූ නිසාය. සෑම අපරාධකරුවෙක්ම අපරාධයකට යොමු වන්නේ අසුවීමේ අවදානම අඩුවීම හේතුකොටගෙනය. මෙම අසුවීමේ අවදානම අඩුවීමේ වාතාවරණය 2015 බලයට පැමිණි රජය නොදැනුවත්ව හෝ මෙම ක‍්‍රියාව සාර්ථක වීමට අවශ්‍ය පසුබිම සකස් කළා යැයි බොහෝ දෙනකුගේ මතයයි. 2014 අග දක්වා ජාතික ආරක්ෂාවට දුන් ප‍්‍රමුඛත්වය 2015 සිට අඩුවීම, අයිතිවාසිකම් මත පදනම් වුණු යහපාලන පරිපාලනය ත‍්‍රස්තවාදීන්ට ශ‍්‍රී ලංකාව ඉතා පහසුවෙන් සිය අරමුණු ඉටුකර ගැනීමේ පහසු ඉලක්කයක් බවට පත්වීම නිසා, මෙම ඛේදවාචකය සිදුවූ බව නිදහස් මතධාරීන්ගේ මතයයි. මේ නිසා මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට රාජ්‍ය ආරක්ෂාවට නැවත වරක් ප‍්‍රමුඛස්ථානය දී අනෙකුත් ප‍්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වේ.

චන්ද්‍රා ප‍්‍රනාන්දු
පොලිස්පති (විශ‍්‍රාමික)
සභාපති, ශ‍්‍රී ලංකා ආසියානු අපරාධ නිවාරණ පදනම

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *