ප්‍රභාකරන් හා විජේවීර ඉපදුණේ නැත්නම් මේ රට සුරපුරයක් – ආචාර්ය විජයදාස රාජපක්ෂ

(06.05.2019 – mawbima.lk)

ත්‍රස්තවාදයෙන් රටටත් ජනතාවටත් දිනා දුන් විමුක්තියක් නැති බවත් රෝහණ විජේවීර සහ ප්‍රභාකරන් ඉපදුණේ නැත්නම් මේ රට සුරපුරයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් සම්පාදිත ‘සටනින් සටන’ ග්‍රන්ථය ‍දොරට වැඩීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්ය. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එම ග්‍රන්ථය ජනගත කෙරිණි. එහිදී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය :

‘‘71 කැරැල්ල නිසා තරුණ ජීවිත 12,000 ක් අහිමි වුණා. 88-89 භීෂණය නිසා 60,000 ක් ජීවිත අහිමි වුණා.

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය බලන කොට හිරිකිතයි. ඒක මේ රටේ ඉතිහාසය නෙවෙයි. ඒක මේ රටේ සත්‍ය සිදුවීම නෙවෙයි. පක්ෂග්‍රාහීව නිර්මාණය කරපු කලාවට කරපු අවමානයක්. ඒත් ධර්මන් වික්‍රමරත්න පරිණත ලේඛකයෙක් විධියට අගය කළ යුතු බව මේ පොත කියවන විට හිතෙනවා. මේ ග්‍රන්ථය පක්ෂග්‍රාහී නැහැ.

මේ ග්‍රන්ථයට ධර්මන් නම යොදා තිබෙන්නෙ ‘සටනින් සටන’ කියලයි. මම මේක ලිව්ව නම් නම දාන්නෙ ‘ජවිපෙ දෙවැනි ත්‍රස්තවාදය’ කියලා.

පළමුවැනි ත්‍රස්තවාදය අපි ඇහුවෙ ජවිපෙ 71 කැරැල්ලෙන්. එදා ආණ්ඩුව මිනී මරපු එකත් ජවිපෙ මිනී මරපු එකත් සාධාරණයි කියල තර්ක කරන්න පුළුවන්. ඒත් ඒවා තර්ක විතරයි. මානව ගුණධර්මවලට අයිති නැහැ.

රටක් පාලනය කරන්න දාර්ශනිකයො, උගත්තු, බුද්ධිමතුන් ඕන. අපේ රටේ කැරැලි දෙකක් සිදු වුණා. සිංහල තරුණ කොටස් ඊට සහභාගි වුණේ. අපේ රටේ තුන්වැනි ත්‍රස්තවාදය ප්‍රභාකරන්ගෙ ත්‍රස්තවාදයයි. අද වන විට තියෙන්නෙ ආගමික නාමයෙන් විකෘති මානසිකත්වයෙන් පෙළෙන අමනෝඥයන්ගේ ත්‍රස්තවාදයක්. මේක වල්මත් වෙච්ච සමාජයක්. සාරධර්ම පිරිහෙන සමාජයක්.

නීතිඥ විජයදාස ලියනාරච්චි ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙක්. ඔහු මේ රටේ කාවද මරන්න ඕන කියල තීන්දු කරන කමිටුවේ සාමාජිකයෙක්. ජවිපෙ මරන අයගෙ නම් ලැයිස්තු තීරණය කරන තැන ඔහු සිටියා.

විජයදාස උස්සපු දිනයට කලින් දවසෙ මගේ මාරයා හතර පස් දෙනෙක්ගෙ කණ්ඩායමක් විධියට මගේ පස්සෙන් ආවා. එදා මම කාටවත් නොදැනෙන්න අලුත් කඩේ උසාවියෙන් පිටවෙලා ගිහිල්ලා සැඟවිලා හිටියා. ඊට පහුවැනිදා තමයි අලුත්කඩේ මහෙස්ත්‍රාත් උසාවිය ඉස්සරහ බෝගහ ළඟදී විජයදාස ලියනාරච්චි අල්ලගෙන ජීප් එකක දමාගෙන ගෙනිහින් තිබුණෙ. එදා විජයදාස කවුද කියල ඇහුවම කවුරුත් මාව පෙන්නන්න ඇති. එහෙම නොවන්නට මගේ පිටිපස්සෙ එන්න වුවමනාවක් නැහැ.

ලෝකයේ කොතැනක හෝ තැනක ත්‍රස්තවාදය තිබෙනවා නම් ඒක සාමයට බාධාවක්. ත්‍රස්තවාදයට අපේ රටේ දේශපාලනය සම්මිශ්‍රණය වෙලා තිබුණා. ත්‍රස්තවාදය එකතු වෙලා ප්‍රතිපාර්ශ්වයේ මිනිස්සු මරා ගත්තා. දේශපාලන නායකයන්ගේ ගෙවල්වල මිනීමරු ත්‍රස්ත නායකයන් තියාගෙන සිටියා.

රෝහණ විජේවීර සිදුකළ ත්‍රස්තවාදී සටන් දෙක තුළින් ජනතාවට විමුක්තියක් දිනා දුන්නෙ නැහැ. රට ආර්ථිකය වැටිලා කියල ජවිපෙ සහෝදරයො කියනවා. ඇත්ත. 88-89 ට්‍රාන්ස්ෆෝමර් 1000 ක්, බස් 400 ක් ගිනි තිබ්බා. තේ කර්මාන්තශාලා 40 ක් ගිනි තිබ්බා. ත්‍රිවිධ හමුදාවෙ මිනිස්සු මරන්න බැරි නම් බිරියයි දරුවොයි මැරුවා. මොකද්ද ත්‍රස්තවාදය හරහා දිනා දීපු විමුක්තිය.

ප්‍රභාකරන් ත්‍රස්තවාදයෙන් දෙමළ ජනතාවට ලබාදුන් විමුක්තිය කුමක්ද? සමස්ත දෙමළ ජනතාව විනාශ කළා.

ධර්මන් වික්‍රමරත්න ලියපු මේ පොත මම ලිව්ව නම් අවසන් කරන්නෙ අපේ රටේ ජීවත් වන අපිත්, ඉපදෙන්න ඉන්න පරම්පරාවටත් වෙච්ච සාපය තමයි රෝහණ විජේවීර සහ ප්‍රභාකරන් ලංකාවෙ ඉපදීම කියල. දෙයියනේ කියල ඔවුන් ඉන්දියාවෙවත් ඉපදුණා නම් ලංකාව සුරපුරයක්.’’

දෙනගම ධම්මික රණවීර

*****************************************

සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර තවත් 38ක් එක්ක අවසන් පුහුණුව කරපු IS කඳවුරක් නුවරඑලිය බ්ලැක්පූල් වලින් සොයාගැනෙයි

(06.05.2019 – mawbima.lk)

නුවරඑලිය බ්ලැක්පූල් ප්‍රදේශයේ තව්හිත් ජමාත් සංවිධානය (ISIS) විසින් නුවරඑලිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කදවුරක් නුවරඑලිය පොලිසය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලනු ලැබුවා.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි ත්‍රස්තවාදියෙකුගෙන් ප්‍රශ්න කිරිමේදි ඔහුනේ ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කදවුර සොයා ගැනිමට ආරක්ෂක අංශ සමත්වි ඇත.

මෙම පුහුණු කදවුර තුල 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කදවුරට සහරාන්ද සහභාගි වි ඇති බවත්, දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කල මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් අප්‍රේල් 17 වෙනි දින සහරාන්ගේද සහභාගිත්වයෙන් සිදු කල ඇති බවයි දැනට සිදු කර ඇති මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

නුවරඑලිය බ්ලැක්පූල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත ලබාගත් දෙමහල් නිවසකයි මෙම පුහුණු කදවුර පවත්වාගෙන ගොස් ඇත්තේ.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයු නුවරඑලිය බ්ලැක්පූල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

– නීටා පද්මකුමාරි

+++++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් නිවසක තිබී හමුදා නිලඇඳුම් 500 කට අධික තොගයක් සොයාගැනේ

(06.05.2019 – mawbima.lk)

හමුදාවන්ට නිල ඇදුම් මසන එකම ආයතනය වන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතනය විසින් නිෂ්පාදිත හමුදා නිලඇඳුම් 500 කට අධික තොගයක් ගාල්ලේ තලාපිටියේ මුස්ලිම් නිවසක තිබී අද (6) පෙරවරුවේ ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල තලාපිටියේ තක්කියා පාරේ නිවසක පරීක්ෂාවට ලකකිරීමේදී මෙම යුද හමුදා නිලඇදුම් 500 කට අධික තොගය සහ හිස්වැසුම් 50 කට අධික තොගයක් ගාල්ල පොලීසිය විසින් සැකකරුවකු සමග අත්අඩංගුවට ගෙන තිබේ .

හමුදා නිල ඇඳුම් මසන එකම සමාගම ලෙස සැලකෙන ගම්පහ රණවිරු ඇපරල් ගාමන්ට් ආයතයෙන් මෙම නිලඇඳුම් තොගය ලබාගෙන ඇතිබවට කරුණු හෙළිවීඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන සහ සතිෂ් ගමගේ හා මූලස්ථාන ⁣ප්‍රධන පොලිස් පරීක්ෂක අරූණ ලාල් මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අනුජ ලංකාදේවමහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට සිදුකළහ.

ගාල්ල – තරිදු භාග්‍ය විජේහේවා

+++++++++++++++++++++++++++++++++++++

ප්‍රශ්න කිරීම් වලින් මුස්ලිම් තරුණයාගේ කටින් කියවුණු ලොකු අපරාධයකට ගෙනාපු කඩු 16 ක් බේරුවලින් සොයාගනී

(06.05.2019 – mawbima.lk)

කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරන මුස්ලිම් තරුණයෙකුගෙන් ලද තොරතුරු වලට අනුව බේරුවල ප්‍රදේශයේදී සඟවා තිබූ කඩු 16 ක් සොයාගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

අදාල තොරතුරු ලබාදුන් පුද්ගලයා ජාතීන් අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුනා.

මෙලෙස පොලිස් භාරයට ගැනුන කඩු 16 පුද්ගලයින් 4 දෙනෙකුට ලබාදී තිබුණු බවයි පොලිසිය පවසන්නේ. අදාල පුද්ගලයා මීට වසරකට පෙර කඩු 50 කට ආසන්න ප්‍රමාණයක් බේරුවල ප්‍රදේශයේ ඔහුගේ හිතවතුන් අතර බෙදාදී ඇති බවයි පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ ෴

*****************************************

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේවාලය හින්දු කෝවිලක් කරන්න නියෝග…

(07.05.2019 – 08:40 +0530 – lankacnews.com)

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය සමබන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනුකොට ඇති නුඩු දෙකකින් එක් නඩුවක තින්දුව 06 දින මුලතිව් මහෙස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින් කුමාර් මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලයේ නීරාවි පුල්ලයාර් කෝවිල ලෙස නම සඳහන් කළ යුතු බවටත් දෙපාර්ශවය අතර සාමය කඩවීමේ සිදුවීමක් නොවන බවට වූ පොරොන්දුව සමගින් බැඳුම්කරයකට අත්සන් කළ යුතු යැයි යන නියෝගය මුලතිව් මහේත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා විසින් ලබා දෙන ලදි.

මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කොට ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කල යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව 06 දින ලබා දුන් අතර , පුරා විද්‍යා භූමියකට ඇතුල් වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කොට පුරාවිද්‍යා භූමියේ කැනීමක් කල බවට වූ බී වාර්ථාව දෙවන නඩුව වෙයි.

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝහන තල්පාවිල මහතා කියා සිටියේ –

ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලයේ මෙතෙක් නම් කොට ඇති ඝනපති විෂ්ණු කතරගමදේවාලයට නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කිරීම සාධාරණ නොවන බවටත් මුලතිව් අධිකරණයේ පැවති නඩු විභාගයට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයාම පැමිණ දැනුම් දුන්නේ අදාල ස්ථානයේ කෝවිලක් නොමැති බවටත් එය බෞද්ධ සිද්ධස්ථානයක් වන බවත් එවැනි පසුබිමක පන්සලක් තුල කෝවිලක නමක් තැබීම යුක්ති සහගත නොවන බවටත්ය.

එමෙන්ම ගූගල් සිතියම් මාර්ගයෙන්ද අවුරුදු කිහිපයක් පසුපසට ගෙන නිරීක්ෂණය කිරීමේදීද එවැනි කෝවිලක නමක් නොමැති බවත් බෞද්ධ සිද්ධස්ථානයක් පමණක් සඳහන්ව ඇති අවස්ථාවක මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් ගුරුකන්ද රජමහා විහාරය තුල කෝවිලක් ඇති බවටත් එය නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම් කරන ලෙසට නියෝගයක් ලබා දීම සාධාරණ නොවන බවටය.

පාර්ශව දෙක අතර සාමය ආරක්ෂා වීම සඳහා වූ බැඳුම්කරයට අත්සන් කළද සෑම පන්සලකම දේවාලයක විෂ්ණු කතරගම දෙවියන්ගේ පිළිම ඇතුලත් දේවාලයක් තිබුනද කිසිදු පන්සලක කෝවිලක් නොතිබීමත් මෙසේ පන්සල තුල කෝවිලක නමක් යෙදීමට නියෝගය ලබා දීම පිළිනොගන්නා හෙයින් වව්නියාවේ මහාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගන්නා බවට මුලතිව් මහෙස්ත්‍රාත් වරයාට දැනුම් දුන බවටද නීතිඥ රෝහණ තල්පාවිල මහතා වැඩි දුරටත් පැවසීය.

නඩු තීන්දුව සඳහා මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන්ද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

*****************************************

පාස්කු බෝම්බයෙන් බිමටම වැටුනු සංචාරක හෝටල් හිමියෝ මහින්ද හමුවෙති..

(07.05.2019 – 08:02 +0530 – lankacnews.com)

සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංගම්වල නියෝජිතයින් හා විපක්‍ෂක නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්විණී.

පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ යෝජනාවට සහභාගී වන මන්ත්‍රීවරුන්ට සංචාරක ක්‍ෂේත්‍රයේ සිටින්නන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳ අදහස් ලබා ගැනීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

පාස්කු ඉරිදා දින සිදුවූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මාර්ගය වන සංචාරක කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බවත් ඒ නිසා සංචාරක කර්මාන්තයෙන් යැපෙන පවුල් විශාල සංඛ්‍යාවක් කිසිදු පිළිසරණක් නොමැති තත්වයට පත්ව ඇති බව චසංචාරක සංගම් නියෝජයින් මෙහිදී පැවසීය.

සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ මධ්‍ය පරිමාන හා කුඩා හෝටල් හිමියන්, මාර්ග උපදේශන සේවා සපයන ආයතන, සංචාරක මඟ පෙන්වන්නන් හෝටල් වලට තම නිශ්පාදන ලබා දෙන්නන්, සේවය කරන කාර්ය මණ්ඩල සංචාරකයින් දිවයිනට නොපැමිණීම නිසා විශාල අවදානමකට ලක්ව ඇති බැවින් ක්‍ෂේත්‍රයේ නියුතු වූවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඔවුන් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සියලුදේ ගැන අවධානය යොමු කර මෙම විවාදයේදී ආණ්ඩුවේ අවධානය මේ සඳහා යොමු කරවීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, ලක්‍ෂමන් යාපා අබේවර්ධන, නිමල් ලන්සා, කනක හේරත්, තාරක බාලසූරිය, ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, ඩී.වී චානක, පියල් නිශාන්ත, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ ආචාර්ය නාලක ගොඩහේවා, විපක්‍ෂ නායක පාර්ලිමේන්තු ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *