වහාබ් අන්තවාදයේ අනතුර වසර පහකට පෙර හෙළි කළෙමු ; පාස්කු ප‍්‍රහාරයෙන් දරුවන් පනහකට ආසන්න ප‍්‍රමාණයක් මරණයට!

(05.05.2019 – divaina.com)

සුරතල් දැරියක වූ ස්නේහා සවින්ද්‍රි ප‍්‍රනාන්දු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම සඳහා මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගොස් තිබිණි. ස්නේහා සති කිහිපයක් පුරා සතුටින් සැලසුම් කරමින් සිට ඇත්තේ තම 13 වන උපන් දිනය සැමරීම ගැනය. එහෙත් ඒ දිනය සැමරීමට ඇයට අවස්ථාවක් හිමි නොවිණි. ඒ වහාබ් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරය නිසාය. ස්නේහාගේ මව වන නිරාශා ප‍්‍රනාන්දු කදුළු පිරි දෙනෙතින් යුතුව බීබීසී සිංහල සේවයට සිය දියණියගේ මතකය අවදි කර තිබුණේ මෙසේය.

‘‘එයා පුංචි කිරිල්ලියක් වගේ හිටියේ. එයා නැටුම්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඕන දේකට එයා නැටුවා. කවුරු හරි එයාට නටලා පෙන්නන්න කිව්වොත් එයා සාරියක් හරි දිග සායක් හරි ඇඳගෙන නටලා පෙන්නනවා. අපි එයාට ගෙදරට කිව්වේ දෝණි කියලා. එයා මගේ පළවෙනි දරුවා. මම එයාව උකුළේ තියාගෙන නිදි කළා. මගේ අත්වලින් වඩාගෙන හැදුවා. මම එයාව හැදුවේ වැඩුවේ ගොඩක් ආදරයෙන්. ඒත් දැන් එයා මාව දාලා ගිහින්.’’

බෝම්බය පුපුරන අවස්ථාවේ ඔවුන් දේවස්ථානයේ තුන් වැනි බංකු පේළියේ අසුන්ගෙන සිට ඇත. ස්නේහාගේ සිරුරට බෝම්බ ප‍්‍රහාරයෙන් දැඩි හානි සිදුව තිබූ අතර ඇයගේ මෘත දේහය නිවසට රැගෙන එන ලද්දේ මුද්‍රා තැබූ පෙට්ටියකය. මුස්ලිම් අන්තවාදයේ යක්ෂ ප‍්‍රහාරයට බිළිවූ ස්නේහාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ කවරකුද? ඇත්තෙන්ම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් දරුවන් පනහකට ආසන්න ප‍්‍රමාණයක් මරණයට පත්වී තිබිණි.

2013 වසරේදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් වහාබ් හා සලෆි අන්තවාදය පෝෂණය කිරීම වෙනුවෙන් තෙල් සම්පත් බහුල අරාබි රටවල් සිදුකරන ක‍්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් එළිදැක්විණි‘ මේ වාර්තාවට අනුව මාලි රාජ්‍යයේ සිට සිරියාව දක්වාත් සිරියාවේ සිට ඈත ඉන්දුනීසියාව දක්වාත් වහාබ් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම්වලට සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් නොමසුරුව ආධාර ලබාදුන් ආකාරය හෙළිකර තිබිණි‘ වහාබ්වාදය පෝෂණය පිණිස සවුදි සමාජ සේවා සංවිධාන වැය කර ඇති මුදල ඩොලර් බිලියන දහයකි’ සිරියාවේ සිට ඇෆ්ගනිස්තානය දක්වාම අසරණ වැසියන් ඝාතනය වන්නේත් පීඩා විඳින්නෙත් මේ සමාජ සේවා ආධාර හරහා පැමිණි තුවක්කු හා උණ්ඩ නිසා නොවේද? 2019 පාස්කු ඉරිදා දිනයේ ස්නේහා බිළිගත්තේද අරාබි මුදල්වලින් පෝෂණය වූ සංවිධානවල ත‍්‍රස්තවාදයට නොවේද?

මීට වසර පහකට පමණ පෙර සිටම අපි වහාබ් අන්තවාදයේ භීෂණය ගැන හෙළි කළෙමු. එය සමහරුන්ට බිල්ලන් මැවීමක් බඳු විය. නමුත් එදා අප හෙළි කළ දේ අද යථාර්ථයක් බවට පත්ව ඇත්තේ මිනි කඳු ගොඩගසමිනි. මෙය අපේ හද කම්පනය කරයි. එදා සිරියාවට ඉරාකයට පමණක් සීමාවූ අන්තවාදය කටුවපිටිය පල්ලිය තුළටත් පැමිණ ඇත. 2014 දෙසැම්බර් මාසයේදී මුස්ලිම් අන්තවාදයේ අනතුර හෙළි කිරීම උදෙසා ‘අන්තවාදයේ භීෂණය’ එළි දැක්වූවෙමු. එම ග‍්‍රන්ථය එදාටත් වඩා අදට වැදගත්ය. 2014 දී ‘අයි.එස්.අයි.එස්’ සංවිධානය තමන් ඇති කරන ඉස්ලාමික රාජ්‍යයේ සිතියම ප‍්‍රකාශයට පත්කර සිටියේය. එහි කුරසාන් නමින් හඳුන්වා තිබූ ඉස්ලාමික රාජ්‍යයට ලංකාව, ඉන්දියාව මෙන්ම චීනයේ ද විශාල කොටසක් අයත් විය. මෙම කරුණු ‘අන්තවාදයේ භීෂණය’ ග‍්‍රන්ථයේ ඇතුළත් විය’ ඇත්තෙන්ම වහාබ්වාදීන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරියේ කුරසාන් රාජ්‍යයේ බලය පැතිරවීමට නොවේද?

එහි පළවූ ‘සුන්නි වහාබ්වාදය මනුෂ්‍ය ශිෂ්ටාචාරයට තර්ජනයකි’ යන ලිපිය මෙලෙස උපුටා දක්වමි :

ගාසා තීරයේ යුද ගැටුම් ඉහළ යෑම කොළඹ මාලිගාවත්ත ද උණුසුම් කරනු ලැබූවේ තවුහිද් ජමාත් සංවිධානයේ උද්ඝෝෂණ පෙළපාලිය නිසාය. ඊශ‍්‍රායලයට විරෝධය පෑම පිණිස මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. තවුහිද් ජමාත් සංවිධානයේ අනුගාමිකයන්ට, විශේෂයෙන් ඔවුන් මුස්ලිම් ජාතිකයන් ලෙස ගාසා තීරයේ මරණයට පත්වන සහෝදර මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාරට බැසීමට අයිතියක් ඇත. නමුත් මොවුන් සිරියාවේ වහාබ්වාදීන් ඇතිකළ කැරැල්ල නිසා එක්ලක්ෂ පනස් දහසකට අධික මුස්ලිම්වරු ඝාතනය වීම ගැන උද්ඝෝෂණය නොකරන්නේ මන්ද යන්න අපට ප‍්‍රශ්නයකි. ඊශ‍්‍රායල් ප‍්‍රහාර නිසා මිය ගියේ පලස්තීන වැසියන් එක්දහස් පන්සියයකට ආසන්න පිරිසකි. නමුත් සිරියාවේ ඝාතනය වී ඇති පිරිස ඊශ‍්‍රායල් හමුදා ප‍්‍රහාරවලින් මියගිය ගණනට වඩා සිය ගුණයකි. එහෙත් සිරියාවේ මුස්ලිම්වරුන්ගේ කඳුළු තවුහිද් ජමාත් සංවිධානයට නොපෙනෙන්නේ මන්ද? එසේ නොපෙනෙන්නේ ඔවුන්ද වහාබ්වාදය අනුගමනය කරන නිසාද?

ඊශ‍්‍රායලය වැරදි කරන්නා සේම හමාස් සංවිධානයද වැරදි කරන බව පිළිගත යුතුය. හමාස් සංවිධානය ඊශ‍්‍රායලයට ප‍්‍රහාර එල්ල කරන්නේ මුස්ලිම් පල්ලිවල සිටය. සමහර අවස්ථාවල පාසල්, රෝහල් පරිශ‍්‍ර යොදාගෙන යුදෙව් රාජ්‍යයට එරෙහිව රොකට් ප‍්‍රහාර එල්ල කරති. හමාස් සංවිධානය තම ජනප‍්‍රියභාවය රැකගැනීම වෙනුවෙන් පලස්තීනුවන්ගේ මළ සිරුරු උපයෝගී කර ගන්නා බවට සැක නැත. කොටි සංවිධානය රෝහල් පරිශ‍්‍රවල සිට හමුදාවට කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළ අතීතය අපට අමතක නැත. තවුහිද් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව කිසි දිනක පාරට බසීද? නැත. ෂියා මුස්ලිම්වරුන් සිය ගණනක බෙලි කපා දැමීමට එරෙහිව පාරට බසීද? නැත. සුන්නි වහාබ්වාදයේ සැබෑ ස්වරූපය දැන් ලොවට හෙළිදරව් වන්නේ අබුබකර් අල් බැග්ඩැඩිගේ යක්ෂ සේනාව උතුරු ඉරාකයේ මොසුල් නුවර එල්ලා ගැනීමෙන් පසුව කළ කී දෑ අනුවය. අයි.එස්.අයි.එස්. සංවිධානයේ අණට අකීකරු වුවහොත් අත්වන්නේ මරණය මිස අනෙකක් නොවේ. ක‍්‍රිස්තියානීන් දහස් ගණනින් තුර්කි පාලනයට නතු ප‍්‍රදේශ වෙත පලායන විට බරක් ඔබාමාටත් බකන්නිලාගෙන සිටින්නට බැරි විය. වසර හාරදහසක් පැරැණි ආගමක් අදහන යසාදි ගෝත‍්‍රිකයන් සමූල ඝාතනය කිරීමට අයි.එස්.අයි.එස්. යක්ෂයන් උත්සාහ කරන විට ඇමරිකාව ගුවන් ප‍්‍රහාර ආරම්භ කළේය. සුන්නි වහාබ්වාදයේ සැබෑව දැන් හෙළිව ඇත. ඇත්තෙන්ම බැග්ඩෑඩිගේ සංවිධානය අල්ඛයිඩාවටත් වඩා දරුණු වන අතර මොවුනගේ පාලනයට නතු ප‍්‍රදේශවල මුස්ලිම් නොවන කිසිවකුටත් ජීවත් විය නොහැක. මේ වහාබ්වාදය පරාජය නොකළහොත් එය මනුෂ්‍ය ශිෂ්ටාචාරයටත් තර්ජනයක් වන බව පැහැදිලිය.

ලිබියාවේ මහජන කැරැල්ලකින් අවසානයේ ගඩාෆි මරණයට පත්විය. තෙල් සල්ලි මත අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ ගඩාෆි අවසානයේ සැඟවී සිටියේ බෝක්කුවක් යටය. ගඩාෆි සොයා ගැනීමට ප‍්‍රංශ විශේෂ බළකාය ද සහාය ලබාදුන් බව ප‍්‍රකට කරුණකි. නමුත් අද ලිබියාව අසාර්ථක රාජ්‍යයක් වී ඇත. වහාබ්වාදීන් හා එයට විරුද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිව තිබේ. 2011 මාර්තුවේදී සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ වූ විට ඇමරිකාව හා බටහිර ලෝකය බෙහෙවින් සතුටු විය. මේ කැරැල්ලෙන් බෂාර් අසාද් පරාජය වූයේ නම් සිදුවන්නේ කුමක්ද? සමස්ත මැද පෙරදිගම වහාබ් අන්තවාදය විසින් ගිලගැනීමය. අල් බැග්ඩෑඩි අසාද් පාලනයට එරෙහිව අල් නුෂ්රා කණ්ඩායම සමග සටන් කළේය.

අයි.එස්.අයි.එස්. කණ්ඩයම අල් කයිඩා නායක අල් ස්වාහරිගේ උපදෙස් ද ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඔවුන් අල් කයිඩා සංවිධානය හෝ ගණන් ගත්තේ නැත. ස්වාහරී අල් බැග්ඩෑඩිට උපදෙස් දුන්නේ සිරියාවේ සටන් කිරීම අත්හැර ඉරාකය පිළිබඳ සම්පූර්ණ අවධානය යොමු කරන ලෙසය. නමුත් මෙම 43 හැවිරිදි ත‍්‍රස්ත නායකයා විසින් යෝජනාව ප‍්‍රතික්ෂේප කර ඇත. මොහු බින්ලාඩන්ටත් වඩා භයානකය.

අයි.එස්.අයි.එස්. සංවිධානය පෝෂණය කරන්නේද සවුදි අරාබිය බව රහසක් නොවේ. සෞදි අරාබි ඔත්තු සේවාහි ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බණ්ඩාර් සුල්තාන් කුමරු මීට මාස කිහිපයකට පෙර ප‍්‍රකාශ කළේ ෂියාවරුන්ට දෙවියන්ගේ පිහිටම ලැබේවා යන්නයි. එසේ කීවේ මන්ද තමන් විසින් පෝෂණය කරනු ලබන වහාබ් අන්තවාදීන් කෙළින්ම ෂියාවරුන්ට එරෙහිව සටන් කරන බව හොඳින්ම දන්නා නිසාය. මොසුල් නගරය අල්ලාගත් පසු අල් බැග්ඩෑඩිගේ සහචරයන් ෂියා මුස්ලිම් පල්ලි විනාශ කළේ එම නිසාය. බිලියනයකට අධික සුන්නි මුස්ලිම්වරුන් ලොව වාසය කරති. නමුත් ෂියා මුස්ලිම්වරුන්ගේ ප‍්‍රමාණය විශාල නොවේ. සවුදි අරාබියට අවශ්‍ය ෂියා මුස්ලිම්වරුන්ට පහර දීමටය. ඉරානයට ගුවන් ප‍්‍රහාර එල්ල කරන්නැයි සවුදි අරාබියේ අබ්දුල්ලා රජුම ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව විකිලික්ස් වෙබ් අඩවිය මගින් හෙළිකර තිබිණි. සවුදි අරාබියානු ආධාර ලබන ලංකාවේ තවුහිද් ජමාත් සංවිධානයේ දේශපාලන සමාජ අරමුණු කුමක් දැයි අප ප‍්‍රශ්න කළ යුතුය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය යටකර ගනිමින් වහාබ් අන්තවාදය වේගයෙන් පැතිර යන බව රහසක් නොවේ. අළුත්ගම බේරුවල ගැටුමට මූලික වූයේ කවුද? වහාබ් අන්තවාදීන්ය. අළුත්ගම බොදු සමුළුවට ගොස් ආපසු නිවෙස් බලා යමින් සිටි බෞද්ධයන්ට ගල් ප‍්‍රහාර එල්ල කළේ කවුද?

2013 නොවැම්බර් 03 වැනිදා දිවයින පුවත්පතට ‘අනුරපුරයෙන් මතු වූ වහාබ්වාදයේ අනතුර හඳුනාගනිමු’ මැයෙන් ලිපියක් ලියූවෙමු. එයින් අප අවධාරණය කර සිටියේද සාම්ප‍්‍රදායික මුස්ලිම් සමාජය යට කරමින් සුන්නි වහාබ්වාදය හිස එසවීම ඉතා භයානක බවයි. පසුගිය වසරේ හජ්ජි උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ මුස්ලිම් මහා විද්‍යාලයේ පල්ලියට පැමිණි මුස්ලිම් කාන්තාවන්ට මේ තවුහිද්වරු බාධා පමුණුවා මහත් කලබැගෑනියක් ඇති කර තිබිණි. ලංකාවේ වෙසෙන්නේ සුන්නි මුස්ලිම්වරුය. එම නිසාම මෙහි වහාබ්වාදය අතු ඉති ලියලා වැඞීමට ඉතාම හොඳ පසුබිමක් ඇත. ලංකාවේ තවුහිද් ජමාත් සංවිධානය ඉරාකයේ අයි.එස්.අයි.එස්. සංවිධානය ගැන දරන මතය කුමක්ද? එය රටටම හෙළිකළ යුතුය. මුස්ලිම්වරුන් අතින් මුස්ලිම්වරු ඝාතනය වෙද්දී තවුහිද් ජමාත් සංවිධානය නිහඬය. ඔවුන්ට මුස්ලිම්වරුන් ගැන කැක්කුමක් ඇතිවන්නේ ඊශ‍්‍රායලය ගාසා තීරයට ප‍්‍රහාර එල්ල කරන විටය. එහෙත් මේ සුන්නි වහාබ්වාදය නිසාම අද මුස්ලිම් ලෝකයම අවුලකට ඇදවැටී නැද්ද? වහාබ්වාදය පැතිරවීම පිණිස 1970 සිට සවුදි අරාබිය ඩොලර් බිලියන 87 ක් වැයකර ඇත. මේ ආධාර හේතුවෙන් ලොව පුරා මුස්ලිම් පල්ලි 1500 ක් ඉදිකර ඇත. නැගෙනහිර කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ සම්පූර්ණ බලය අල්ලාගෙන ඇත්තේ වහාබ්වාදීන් විසිනි. අයි.එස්.අයි.එස්. සංවිධානය ලෝක සාමයට රතු එළි දල්වා ඇත’ එනිසාම මේ සුන්නි වහාබ් අන්තවාදය පරාජය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය’ නැති නම් මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විශාල අවුලකට ඇද වැටෙනු ඇත.

චතුර පමුණුව

+++++++++++++++++++++++++++++++++++++

බදාදාට (08) පාසලේ බෝම්බ තියනවා ISIS කොඩිය එක්ක ආපු ලියුම

(06.05.2019 – mawbima.lk)

යාපනය චුන්ඩික්කුලි බාලිකා විදුහල්පතිනියගේ නිවෙසට එම විදුහලේ බෝම්බ තබන බව සඳහන් කරමින් අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ධජයද ඇතුළත් ජාතික තවුහිද් ජමාත් සංවිධානය නමින් ලිපියක් එවා ඇති බව යාපනය පොලිසිය පවසයි.

චුන්ඩික්කුලි බාලිකාවේ විදුහල්පතිනි රුසිධරන් දුෂ්‍යන්ති මහත්මියගේ නිවෙසට මෙම තර්ජනාත්මක ලිපිය පෙරේදා (04 දා) ලැබී ඇති අතර එම අවස්ථාවේම විදුහල්පතිනිය ඒ බව පොලිසියට දැනුම් දී ඇත.

මේ අනුව අදාළ ලිපියේ අයි.එස්.අයි.එස්. ධජයට අමතරව තරුණයකුගේ ඡායාරූපයක්ද දක්නට ලැබෙන අතර එම තරුණයා කවුරුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත් එම ලිපිය දෙමළ බසින් ලියා ඇති බවත් යාපනය පොලිසිය පවසයි.

දෙමළ බසින් ලියා තිබූ ලිපිය සිංහල බසට පරිවර්තනය කිරීමේදී එහි සඳහන්ව ඇත්තේ මෙලෙසිනි :

චුන්ඩික්කුලි විදුහල්පතිනිය

මෙම දේශය අල්ලාහ්ගේ දේශයයි. මෙහි ඉස්ලාම් ජනතාව පමණක්ම ජීවත්විය හැකියි. මෙය අපගේ පූජනීය භූමියයි. ඔබලා වැනි කිතුනුවන් හෝ වෙනත් කිසිවකුත් ජීවත්විය නොහැකිය. එසේ ජීවත්වීමට ඉඩ නොදෙමි. බදාදා දින 2019.05.08 පාසලේ බෝම්බ තියනවා. සියලුම කිතුනු සිසුන් මරා දමනවා. අල්ලාහ් සත්‍යයි. සියලුම පාසල්වල බෝම්බ තියන්න ජිහාත් සාමාජිකයන් එනවා. අන්සාහ් අල්ලාහ්. අපේ පවුල අල්ලාහ් ආරක්ෂා කරනවා.

මුහම්මදු උමර් රියාස් (ප්‍රතීප්)
ජාතික තව්හිද් ජමාත් සංවිධානය – යාපනය දිස්ත්‍රික්කය

අදාළ ලිපිය එවූ පුද්ගලයන් මෙතෙක් හෙළි වී නොමැති අතර එම පිරිස් සොයා පරීක්‍ෂණ අරඹා ඇති බව යාපනය පොලිසිය පවසයි.

මුලතිව් – ශෂිකුමාර්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *