අහිංසක මුස්ලිම් ජනතාව රිදවන්න එපා.. – උදය ගම්මන්පිල

(07.05.2019 – 03:22 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය :

‘‘පසුගිය සතියේ මුස්ලිම් නායකයින් පිරිසක් මාව හමු වෙන්න ආවා. හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මැතිතුමාගේ පුතා නකීබ් මවුලානා එතැන සිටියා. ඔහු දුක හිතෙන කතාවක් කිව්වා. අපේ තාත්තා ඥාණසාර හාමුදුරුවන් වගේම ඔබතුමාත් සමීපව ඇසුරු කළා. මුස්ලිම් අන්තවාදින් පිළිබඳ අපි ආරක්ෂක අංශ දැනුම්වත් කරමින් සිංහල සමාජය සමග හැමදාමත් සුහදව කටයුතු කළා. දැන් අපි දිහා බලන්නෙත් ත්‍රස්තවාදින් දිහා බලනවා වගේ. මම ඊයේ සුපිරි වෙළඳසැලකට බඩු ගන්න ගියා. මුදල් ගෙවන්න පෝලිමේ හිටියා. මගේ වාරය ආවා විතරයි කැෂියර් එකේ හිටිය ගෑණු ලමයා නැගිටලා ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක කතා කරමින් ඉඳලා විනාඩි දහයක් විතර මාව ඕනෑ කමින්ම රස්තියාදු කළා. ඇයි මට එහෙම කලේ? එහෙම අසන විට නකීබ්ගේ ඇස් දෙකේ කඳුළු පිරිලා.

ඒ පිරිස මගෙන් ඉල්ලීමක් කළා. ඒ සිංහල ජාතියෙන් ඉල්ලීමක් කරන ලෙසට. බෞද්ධ ක්‍රිස්තියානි සියළුම ආගම් අදහන සිංහලයින්ට තිබෙන එකම දේශපාලන පක්ෂය ලෙස පිවිතුරු හෙළ උරුමය සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සමස්ත මුස්ලිම් ජනතාවම ත්‍රස්තවාදින් ලෙස නොසලකන ලෙසයි. විමසිල්ල හරිම වැදගත්. හැම මොහොතේම පරික්ෂාවෙන් ඉන්න. ඒත් අනිසි ලෙස මුස්ලිම් ජනතාවට හිරිහැර කරලා හිත් රිදවන්න එපා. මොකද එය අතිශ්‍යයින්ම නරක ප්‍රථිපල ගෙන ඒමට ඉඩ තියෙනවා.

1983 ජූලි කලබලය දෙමළ ත්‍රස්තවාදය පෝෂණය වීමට ලොකු රුකුලක් වුණා. අපි ඒවායෙන් පාඩම් ඉගෙන ගෙන මුස්ලිම් අන්තවාදය පිළිබඳ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. දෙමළ බෙදුම්වාදි ත්‍රස්තවාදයට දෙමළ සමාජයෙන් සැලකිය යුතු සහයෝගයක් තිබුණා. නමුත් මුස්ලිම් අන්තවාදයට දේශපාලන රැකවරණය තිබුණත් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බහුතරයක් විරුද්ධයි. ආරක්ෂක අංශ කියන විධියට මෙතරම් වේගයෙන් අපට ත්‍රස්තවාදින් අවි ආයුද බුරුතු පිටින් අල්ලා ගන්න ලැබුණේ මුස්ලිම් සමාජයෙන්ම ලැබුණු ඔත්තු නිසා. කබීර් හසීම් ඇමතිතුමාගේ ලේකම් වෙඩි කෑවේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ඔත්තු දුන්නු නිසා. මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි. අපි සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා. සිංහල ජනතාව අතරමං කරන්න දෙන්නේ නෑ. මේ සටන අද සාර්ථකව ඉදිරියට යනවා. ඒ නිසා ඉතාම ඉවසීමෙන් සාමකාමීව කටයුතු කරන්න කියන ඉල්ලීම අප සිංහල ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම සාමාන්‍ය මුස්ලිම් ජනතාව අපේ පැත්තේ තබා ගන්න කටයුතු කරන්න කියලා අපි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මට මුස්ලිම් සමාජයෙන් කරන්න ඉල්ලීමක් තිබෙනවා. ඇවිලෙන ගින්නට පිදුරු දාන අසාත් සාලි සහ රිෂාඩ් බදුරුදීන් වැනි අන්තවාදි දේශපාලකයින් මේ දිනවල පුළුවන් තරම් මාධ්‍ය වලින් ඈත් කරලා තබන්න. ඒ වෙනුවට සිංහල සමාජය ගරු කරන ජනාධිපති නීතිඥ අලි සබ්රි වැනි නායකයින් ඉදිරියට ගේන්න. ඒ වගේම මේ අන්තවාදීන් ‘ලූලා නැති වලේ කණයා පන්ඩිතයා’ ලෙස හැසිරෙද්දී මුස්ලිම් සමාජයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වන ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අන්තවාදියෙක් කියලා කවුරුවත් චෝදනා කරන්නේ නෑ. ඔහු මේ අවස්ථාවේ ඉදිරියට පැමිණිලා මුස්ලිම් සමාජයට නායකත්වය දිය යුතුයි. කතෝලික සමාජයට කාදිනල්තුමන් ලබාදෙන නායකත්වය වගේ අපි බලාපොරොත්තු වෙනවා මුස්ලිම් සමාජයට රාවුෆ් හකීම් මහතා නායකත්වය ලබාදෙයි කියලා. ඔහු ඉදිරියට එන්නේ නැති වුනාම තමයි මේ කනයෝ ඇවිල්ලා මේ ප්‍රශ්න අවුල් කරන්නේ. ඒ වගේම මුස්ලිම් කටයුතු ඇමතිට කියන්න මෝඩ කතා කියලා මිනිස්සු අවුස්සන්න එපා කියලා. මුස්ලිම් කටයුතු ඇමති කියනවා පල්ලියේ කඩු තිබෙන්නේ පල්ලිය වටේ තිබෙන කෑලේ කපන්නලු. කොම්පඤ්ඤ වීදියේ පල්ලිය අවට ආසාවට තණකොල ගහක් නෑ. එතකොට ඒ පල්ලියෙන් හමු වුණු කඩු වලින් කපන්නේ කෙස් ගස් ද? එතකොට ඩෙටනේටර තියාගෙන ඉඳලා තිබෙන්නේ හපන්න බැරි පරණ අග්ගලා පුපුරවන්නද? ඒ නිසා මේ සමාජය කම්පනයට පත්වෙලා ඉන්න අවස්ථාවේ මෙවැනි මෝඩ කතා කියලා ජනතාවට අනවශ්‍ය උසිගැන්වීම් කරන්න එපා කියලා අපි මුස්ලිම් කටයුතු ඇමතිතුමන්ටත් අනතුරු අඟවනවා.’’

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++++


රනිල් , මෛත්‍රීපාල , මහින්ද , චන්ද්‍රිකා රටම පාවල දුන්නා – තීනියාවල පාලිත හිමි (06.05.2019)

+++++++++++++++++++++++++++++++++++++

ත්‍රස්තවාදී ප්‍රහාර ගැන නාගානන්ද ගෙන් ප්‍රභල හෙළිදරව්වක් (05.05.2019) :

https://www.youtube.com/watch?v=11e4vy00H14

+++++++++++++++++++++++++++++++++++++

07.05.2019

++++++++++++++++++++++++

Hiru TV > Salakuna – Episode 183 – Wijeyadasa Rajapakshe – 2019-05-06 ( 94 Min.s )

+++++++++++++++++++++++++++++++++++++

චෙන්නායි නුවරදී භික්ෂූන් වහසේ නමකට පහරදීම ශ්‍රී ලංකාවේ තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලීමකට කරපු වැඩක් – විජේදාස රාජපක්ෂ හෙළිකරන කතාව

(07.05.2019 – nethgossip.lk)

2013 වසරේදී චෙන්නායි නුවර දුම්රිය ස්ථානයේදී ශ්‍රී ලංක භික්ෂූන් වහන්සේ නමකට පහරදීමේ සිදුවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව සිදුකළ බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තව්හීද් ජමාත් සංවිධානයේ ඉල්ලිමක් අනුව තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයක් විසින් එම පහරදීම සිදුකළ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටක් කරුණු පැහැදිළි කළ හිටපු අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා :

“තව්හීද් ජමාත් එක ඇතිවුණේ තමිල්නාඩුවේදී. අබ්දුල් රසාක් කියන තැනැත්තා ලංකාවේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් එක හැදුවේ. පසසේ මේක කොටස්වලට කැඩුණා. තමින්නාඩු තව්හීච් ජමාත් එක හදලා කරපු පළමු වැනි සිද්ධිය තමයි චෙන්නායි වලිදී දඹදිව වන්දනාවේ ගිය අපේ භික්ෂූන් වහන්සේ නමකට එලව එලවා පහර දුන්නා.

ඒක තමයි තව්හීද් ජමාත් ගේ ඉල්ලීම මත තමිල්නාඩු තව්හීද් ජමාත් කරපු පළමු සිදුවීම. ඊට පස්සේ ලංකාව තුළ තව්හීද් ජමාත් ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මුස්ලිම් ජනතාවට පාලනය කරන ගන්න බැරි තරමට මේ ත්‍රස්තවාදයට ඉදිරියට ගියා.”

+++++++++++++++++++++++++++++++++++++

රට පුරා පුපුරන ද්‍රව්‍ය බෙදා හැරීම මුස්ලිම් පවුල් හතරක් අතේ

(05.05.2019 – epaper.aruna.lk)

  • මාතලේ නියෝජිතයාගේ පුතා ත්‍රි’මලේ හා මඩකලපුවටත් බෙදයි
  • මහනුවර, නුවරඑළිය, ගම්පහට එක ව්‍යාපාරිකයෙක්
  • ගල්වළවලට බෙදන පුපුරන ද්‍රව්‍ය ගැන පසුවිපරමක් නෑ

පුපුරන ද්‍රව්‍ය ​බෙදාහැරීමේ වගකීම මුස්ලිම් ජාතිකයින්ගේ එකම පවුල් තුන හතරකට සීමාවී තිබීම සහ ඒ පිළිබඳ පසුවිපරම් නොකිරීම නිසා පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍යතාවන්ගෙන් පරිබාහිර කටයුතුවලට යොදවා ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තාවේ.

ආරක්ෂක අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳවා පුපුරන ද්‍රව්‍ය දිස්ත්‍රික් ගබඩා නියෝජිත තනතුර ලබා දෙන අතර ගල්වළවල් සඳහා පුපුරන ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ අධීකෂණය යටතේ ය. ඒවා දිස්ත්‍රික් නියෝජිතයින්ගේ ගබඩාවලට ලබාදීම සිදුකරන්නේ දිස්ත්‍රික් සහකාර පුපුරන ද්‍රව්‍ය පාලකගේ අධීක්ෂණය යටතේ ය.

මහනුවර, නුවරඑළිය හා ගම්පහ යන දිස්ත්‍රික්කවල නියෝජිතයා එකම පුද්ගලයකු වන අතර ඔහුගේ සහෝදරයා මාතලේ දිස්ත්‍රික් නියෝජිත ලෙසත් ඔහුගේ පුත්‍රයා ත්‍රිකුණාමලය හා මඩකළපුව දිස්ත්‍රික් නියෝජිත ලෙසත් කටයුතු කරයි. ඊට අමතරව ඔවුන්ගේ තවත් ඥාතියෙක් අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික් නියෝජිත ලෙස කටයුතු කරයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජිත වන්නේද ඔවුන්ගේ තවත් ඥාතියෙකි.

බලපත් සහිත ගල්වළවල් සඳහා පුපුරන ද්‍රව්‍ය අවසර පත්‍ර ලබාගත් පසු දිස්ත්‍රික් සහකාර පුපුරන ද්‍රව්‍ය පාලකගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරයා පුපුරණ ද්‍රව්‍ය නිකුත් කරයි. මීට පෙර සතියකට පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් ¤¤ (?) නිකුත් කළ අතර පසුගිය කාලයේ එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 25 දක්වා වැඩි කර ඇත.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට රටපුරා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේදී මුදල් ගෙවා ලබා ගත් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඒවා ප්‍රවාහනය කරන අතර එයද නිසි ක්‍රමවේදයක් මත සිදු නොවන බවට තොරතුරු වාර්තාවේ. එසේ පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විට අතරමගදී ඒවා වෙනත් පුද්ගලයන් අතට පත්වීමේ ඉඩකඩ ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබේ. මීට අමතරව ගල්වළවල් සඳහා නිකුත් කරනු ලබන වෙඩි බෙහෙත් අධීක්ෂණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවද වාර්තා වෙයි. මේ නිසා චයිනා කරල්, වෝටර් ජෙල්, ඇමෝනියම් නයිට්​ට්‍රේට්, සේවා නුල්, කඵ වෙඩි බෙහෙත්, ඉලෙක්ට්‍රික් හා සාමාන්‍ය කැප් ලෙස හඳුන්වනු ලබන පුපුරන ද්‍රව්‍ය ඉතා අඩු මුදලකට එම ස්ථානවලින් ලබා ගැනීමේ හැකියාව පවතින බව ආරක්ෂක අංශ වෙත වාර්තාවී ඇත.

නිතී විරෝධීව මසුන් මැරීම සඳහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය කරලක් රුපියල් දහසක මිලකට අලෙවි කෙරෙන බව අනාවරණය වෙයි. පසුගිය දින කිහිපයේ රටපුරා සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් හා අක්කරේපත්තුව, සමන්තුරේ ආදී ප්‍රදේශවලින් සොයාගත් පුපරන ද්‍රව්‍ය බොහොමයක් ගල්වළවල්වලට නිකුත් කරනු ලබන පුපරන ද්‍රව්‍යවලට සමාන බවද කියයි.

රටපුරා ගල්වළවල් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර ඉන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාකාරිත්වයේ පවතියි. වැඩිම ගල්වළවල් ප්‍රමාණයක් පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක ආමාත්‍යංශයේ පුපුරන ද්‍රව්‍ය පාලන අංශයෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියකු පැවසුවේ ගල්වළවල්වලට පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමට පෙර ප්‍රවාහනයේදී, බෙදාහැරීමේදී සියලු අංශයන් අධීක්ෂණය වුවත් ගල්වළවල්වලට නිකුත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු නොවීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇති බවයි.

– චමින්ද සේනාරත්න

+++++++++++++++++++++++++++++++++++++

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘති ලොක්කෙක් අයි.එස්. ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට පොලීසියෙන් සීල් තබයි

(07.05.2019 – aruna.lk)

අයි.එස්. මතවාදී පෝෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් සහකාර අධ්‍යක්ෂකවරයෙකුගේ ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලේ කාර්යාලයකට පොලීසිය සීල් තබා ඇත.

පොලිස්පති කාර්යාලයෙන් ලබාදුන් අයි.එස්. ත්‍රස්තයන්ට උදව් දුන් පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනයකට අනුව නොරොච්චෝලේ පදිංචි මරික්කාර් දිල්ශාන් මුහම්මද් නමැති සහකාර අධ්‍යක්ෂවරයා නොරොච්චෝලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙගන ඇත්තේ සෙනසුරාදා (04) ය.

මොහු සමාජජාල වෙබ් අඩවි ඔස්සේ අයි.එස්.අයි.එස් මතවාද පෝෂණය කිරීමේ චෝදනාවට ජංගම දුරකථනයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දන්වා එවා ඇත. මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂවරයා සමග ගන්දර පදිංචි ෂේෂාත් මොහොමඩ් නමැති අයකුද අත්අඩංගුවට ගෙන ඇත.

සහකාර අධ්‍යක්ෂවරයා යටතේ අධ්‍යාපන අමාත්‍යංශයේ හත්වැනි මහලේ ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතියට අයත් කාර්යාලය තුළ නිලධාරීන් දසදෙනෙකු පමණ සේවය කරන අතර, ඒම කාර්යාලයට ඊයේ (06) පොලීසිය පැමිණ සීල් තබා ඇත.

මෙම සැකකාර සහකාර අධ්‍යක්ෂකවරයා තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේය.

– තිස්ස රවින්ද්‍ර පෙරේරා

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *